counter hit xanga
March 26, 2023

ජාතික ගැටළු විසඳීමට සහායවීම සඳහා සාමාන්‍ය තත්වය ඉක්මවන මහත්මාභාවයක් අවශ්‍යවේ – ජෙහාන් පෙරේරා

Last Updated on November 1, 2022 by Lankae Cast

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවා සිටි එල්.ටී.ටී.ඊ සිරකරුවන් අට දෙනකු රජය විසින් නිදහස් කිරීම අනපේක්ෂිත ලෙස සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් 4000ක් පමණ අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇතත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට ඇප ලබාදීමට අවසර දී ඇත. එහෙත් තවත් සිය ගණනක්, මාස කිහිපයක් රැඳවුම් භාරයේ දිගටම රඳවා සිටිති. ජාතික සහ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන විසින් ඔවුන් නිදහස් කරන ලෙස හෝ පොදු සමා කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියත්, රජය එම ඉල්ලීම මෙතෙක් පිළිගෙන නැත. විශේෂයෙන්ම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වූ ශිෂ්‍ය නායකයකු වන වසන්ත මුදුලිගේ සහ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයේ ක්‍රියාකාරීව කටයුතු කළ තරුණ බෞද්ධ භික්ෂුවක් වන පූජ්‍ය ගල්වැවේ සිරිධම්ම හිමියන් අත්අඩංගුවට ගැනීම, ස්වාධීනත්වය දැඩි ලෙස ප්‍රදර්ශනය කරමින් සිටින රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෑතක දී පුලුල් ලෙස හෙළාදැක ඇත.

දෙමළ ප්‍රජාවගේ සහ ඩයස්පෝරාවේ දීර්ඝ කාලීන ඉල්ලීමක් සහ ජාතික සංහිඳියාව සඳහා වාතාවරණයක් නිර්මාණය කිරීමට ඉවහල් වන්නක් බැවින්, රජය විසින් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අට දෙනා නිදහස් කිරීම අගය කළ යුතුය. ඔවුන්ගේ පවුල්වල සහ ජාතික හා අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානවල විරෝධතා සහ ආයාචනා නොතකා, අවම වශයෙන් පෙර පැවති ආණ්ඩු හතරක්වත් මෙම පියවර ගැනීමෙන් වැළකී සිටියේය. මෙලෙස නිදහස් වූවන්ගෙන් තිදෙනෙකු, බෝම්බ ප්‍රහාරයෙන් ඇසක් අන්ධව සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත්කිරීමේ චෝදනාවට වරදකරුවන් වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් ජනාධිපති සමාවක් මගින් ඔවුන් නිදහස් කිරීමට ප්‍රථම, රජය හිටපු ජනපතිනියගේ හැඟීම් විමසා බලා, ඇයගේ කැමැත්ත ලබාගෙන ඇත. තමන් ඝාතනය කිරීමට තැත් කළ කොටි සාමාජිකයකුට සමාව දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමාන අයුරින්, වධ හිංසාවට ලක් වූ සහ බේදභින්න වූ අපේගේ රටටත්, ජනතාවටත් සුවයක් ගෙන ඒමට අවශ්‍ය උදාරත්වය හිටපු ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය එහිදී ප්‍රදර්ශනය කර තිබේ.

මෙම සිරකරුවන් අට දෙනාගෙන් හතර දෙනකු අධිකරණයෙන් නියම කළ සිරදඬුවම්වලට වඩා වැඩි කාලයක් සිරදඬුවම් විඳ ඇති බව, ජනාධිපති ලේකම් කාර්යාලය විස්මය දනවන ආකාරයෙන් පිළිගනිමින් ප්‍රකාශ කළේය. “මේ අතරින් සිරකරුවන් තිදෙනෙකු වසර 30ක සිරදඬුවමකට නියම වී වසර 22ක් සිරදඬුවම් විඳ ඇති අතර, එක් සිරකරුවෙක් වසර 11ක සිරදඬුවමක් නියම වී වසර 14ක් බන්ධනාගාරයේ ගතකර ඇත. එසේම වසර 10ක සිර දඬුවමක් නියම වී වසර 14ක් බන්ධනාගාරගතව සිටි සිරකරුවෙක් සහ වසර පහක සිරදඬුවමක් නියම වූ නමුත් වසර 14ක් බන්ධනාගාරගතව සිටි සිරකරුවන් දෙදෙනකුද ජනාධිපති සමාව ලැබූවන් අතර වේ.” මෙය බරපතල මානව හිමිකම් කඩකිරීමක් සහ ඔවුන්ව මේ ආකාරයෙන් සිරකර තබාගත් අය විසින් දරාගත නොහැකි ලෙස බලය අයුතු ලෙස භාවිත කිරීමක් ලෙස පෙනී යයි. මෙය සිදුවූයේ කෙසේදැයි පරීක්ෂණයක් පවත්වා, වින්දිතයින්ට මෙන්ම ජාතික හා අන්තර්ජාතික ප්‍රජාවටද පැහැදිලි කිරීමක් සිදුකිරීමට රජයට සිදුවනු ඇත. මෙලෙස අතිරේක කාලයක් ඔවුන් මත අධිකරණ බලය ක්‍රියාත්මක කර, රඳවා තබා ගැනීම ජිනීවා වැනි අන්තර්ජාතික සංසදවලදී කෙරුණු ප්‍රකාශයන් සාධාරණීකරණය කිරීමට හේතුවනු ඇති අතර, තවත් කීදෙනකු කිසිදු අධිකරණ බලයක් නොමැතිව සිරගත කර තිබේද යන ප්‍රශ්නය ද මතු කරනු ලබයි.

ඇවිළෙන සුළුයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත රජය විසින් අනිසි ලෙස භාවිත කිරීම හමුවේ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල බල රහිතභාවය මෙන්ම ඔවුන් පත්ව සිටින ශෝචනීය තත්ත්වය මෙම එල්.ටී.ටී.ඊ සිරකරුවන් සම්බන්ධ කාරණයේදී දැකිය හැකිය. මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දී ඇති ආකාරයට, “සංශෝධිත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 9 (l) වගන්තිය යටතේ අමාත්‍යවරයාට කිසියම් පුද්ගලයකු යම් නීතිවිරෝධී ක්‍රියාකාරකමක් සඳහා සම්බන්ධ වී ඇති බවට විශ්වාස කිරීමට හෝ සැක කිරීමට හේතුවක් හඳුනාගත හැකිය. එසේම යම් නීතිවිරෝධී ක්‍රියාකාරකමක් සිදු වූ විට, අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන ස්ථානයක සහ කොන්දේසිවලට යටත්ව, පළමු අවස්ථාවේ දී මාස තුනකට නොවැඩි කාලයක් රඳවා තබා ගැනීමට අමාත්‍යවරයාට නියෝග කළ හැකිය. එවැනි ඕනෑම නියෝගයක් වරින්වර මාස තුනකට නොවැඩි කාලයක් සඳහා දීර්ඝ කළ හැකි අතර, රඳවා තබා ගැනීමේ සමස්ථ කාලය මාස දොළහකට නොවැඩි විය යුතුය.” ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 43ක් තිස්සේ මේ ආකාරයෙන් භාවිත කරමින් අපයෝජනය කර ඇති අතර, අධිකරණ නියෝගයකින් තොරව මිනිසුන් සිරගත කිරීමට ඉඩ සලසන බැවින් එය කුරිරු නීතියක් ලෙස හැඳින්විය හැකිය.

මේ වසරේ ජූලි මාසයේදී පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තේරී පත් වූ විගස ආණ්ඩුව ආරක්ෂක අංශ හරහා විරෝධතා ව්‍යාපාරයට දැඩි ලෙස පහර දුන්නේය. මහජනතාවගේ අවිහිංසාවාදයේ බලය පිළිබඳ සාක්ෂියක් ලෙස, ලොව පුරා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කරන ලද, මාස තුනකට අධික කාලයක් පුරා පැවති විරෝධතා ස්ථාන විනාශකර දැමූ අතර වීදිවල විරෝධතාකරුවන්ට, ඔවුන් පලායන තුරු බැටන් ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. සංවිධානය වීමේ නිදහසට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතීන් උල්ලංඝනය කරමින්, මෙම දැඩි බාධාකාරී ක්‍රියාවන් මගින් මහජන විරෝධතා ඉක්මනින්ම නතර කිරීමට පියවර ගැනිණි. ඊටත් වඩා නරකම දෙය නම්, ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු බව හෝ ඊට කුමන්ත්‍රණය කළ බව අනාවරණය නොවූ පුද්ගලයන් සිරගත කිරීමට රජය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන තිබීමයි.

විරෝධතා බලහත්කාරයෙන් මර්දනය කිරීම හේතුවෙන්, සංචාරකයන් සහ ඔවුන්ගේ ඩොලර් ආර්ථිකයේ පැවැත්මට නැවත ගෙන ඒමට උපකාරී කෙරෙමින් අද රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත. එහෙත් යථාර්ථයේ දී, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ මහජනතාව අත්විඳින ආර්ථික අර්බුද සහ අසාධාරණය පිළිබඳ හැඟීම් සහිත භයානක වටපිටාවකටය. විරෝධතා ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයෝ තම සහෝදර විරෝධතාකරුවන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගෙන සිරගතව සිටින බව හොඳින් දනිති. සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රහාර සඳහා උසිගැන්වීම් සිදුකරන ලද සහ ඒවාට සහභාගී වූ රජයට සම්බන්ධ දාමරිකයන් නිදහස දිගටම භුක්ති විඳිමින්, තවදුරටත් දූෂිත ක්‍රියාවන්හි නිරත වන ආකාරය දකින විට අසාධාරණය පිළිබඳව ඔවුන් තුළ මතුවන හැඟීම් අතිමහත් වේ. ක්‍රියාත්මක වන දෙබිඩි පිළිවෙත දිගින් දිගටම ආණ්ඩුවේ සහ එහි නායකත්වයේ විශ්වසනීයත්වය පළුදු කරන අතර අනාගත විරෝධතා බලමුලු ගැන්වීම සඳහා විදුලි සැරයක් ලෙස ක්‍රියා කළ හැකිය.

උදාසීන නැගිටීම

විරෝධතා ව්‍යාපාරය සමන්විත වන්නේ ප්‍රසිද්ධියේ මහමගට බැස සටන් පාඨ කියමින් වාහන ගමනාගමනයට බාධා කරමින් ශක්තිය ප්‍රදර්ශනය කරන අයගෙන් පමණක් නොවේ. ආර්ථිකය කඩාවැටීම නිසා දුක් විඳිමින් සිටින සහ තම පවුල වෙනුවෙන් මුදල් ඉපැයීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු ඊට වඩා විශාල පිරිසකගේ විරෝධයක් දැනට නිද්‍රාශීලීව පවතී. සියයට 70 සිට සියයට 100 ඉක්මවන උද්ධමනය නිසා ජනතාවගේ සැබෑ ආදායම අඩුම තරමින් අඩකින් හෝ හැකිලී ඇති අවස්ථාවක රජය අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ‘ආර්ථික කඩාවැටීමට හේතු වූ පුද්ගලයන් නිදහස්ව බලයේ සිටින නමුත්, නව ජනාධිපතිවරයකු සහ නව රජයක් පත්කර ගතයුතු යැයි විරෝධය පළ කළ සහ අවධාරණය කළ අය දඬුවම් විඳින්නේ යැයි’ යන අසාධාරණය පිළිබඳ හැඟීම සමනය කිරීම අවශ්‍ය වේ.

වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියෝ ආණ්ඩුව විසින් බලයක් නොමැති පුද්ගලයන් මත සිදුකරන අසාධාරණයේ සංකේත බවට පත්ව සිටිති. ඔවුන් දෙදෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ත්‍රස්තවාදයට සම්බන්ධ වන අතර, එය ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා භාවිත කළ යුතු යැයි අදහස් කෙරේ. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ත්‍රස්තවාදය යන්න නිර්වචනය කර ඇත්තේ “ඕනෑම පුද්ගලයෙක් තර්ජනය කිරීම හෝ බලය භාවිත කිරීම සහ සිවිල් ජනතාව හෝ සිවිල් ජනගහනයෙන් කොටසක් නීති විරෝධී ලෙස ඉලක්ක කර දේශපාලන, මතවාදී හෝ ආගමික අරමුණක් ඉදිරියට ගෙන යෑම සඳහා භීතිය පැතිරවීමේ චේතනාවෙන් ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම ත්‍රස්තවාදය වේ” යනුවෙනි.

මෙම ප්‍රමිතිය ක්‍රියාත්මක කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර ඇත්තේ අගෝස්තු 18 වැනිදා සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ අඛණ්ඩව සිරගත කිරීම “අසාධාරණ සහ යුක්ති සහගත නොවන” බවයි. ඔවුන් දෙදෙනාම අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඉතා ශෝකජනක තත්ත්වයක පසුවන බවත් වාර්තා වන අතර, විශේෂයෙන් සිරිධම්ම හිමියන් මාරාන්තික විය හැකි ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ. ඔවුන්ට තවමත් කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති අතර, අන්තර්ජාතික ප්‍රජාව හමුවේ සම්පූර්ණයෙන්ම අවලංගු කරන බවට රජය විසින් ප්‍රතිඥා ලබා දී ඇති, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කුරිරු ප්‍රතිපාදන යටතේ ඔවුන්ව රඳවා තබා ඇත. එල්.ටී.ටී.ඊ සිරකරුවන්ට ලබා දී ඇති සමාව මගින් වාර්ගික සංහිඳියාව සම්බන්ධයෙන් අදහස් කරන ආකාරයටම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔවුන්ටද සමාව දීම ඔස්සේ, සුවදායක බලපෑමක් ඇති කළ හැකිය.

ජෙහාන් පෙරේරා, විධායක අධ්‍යක්ෂ, ජාතික සාම මණ්ඩලය