counter hit xanga
October 22, 2021

මාධ්‍යවේදීනියන්ට වෙන ලිංගික අපයෝජන කියන්න ස්වාධීන අංශයක්!

Last Updated on June 26, 2021 by Panduka Herath

මාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන් යම් ලිංගික අපයෝජනයකට මුහුණ දුනහොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙනම ස්වාධීන අංශයක් ස්ථාපිත කිරීමටකටයුතු කල යුතු බව ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම අංශය හරහා කාන්තාවන්ට ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසන නතර කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදුකිරීමද අවශ්‍ය බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඇතැම් ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසනයන් ක්‍රම කිහිපයක් අනුව සිදුවන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසනයන්:ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවක කාන්තාවන් (පුහුණු වන හෝ නවක) බියවද්දමින් ඔවුන් ලිංගික හිංසනයට පත්කිරීම, ප්‍රාදේශීය වශයෙන් සහ නිදහස් මාධ්‍යවේදීන් වශයෙන් රාජකාරි කරන පිරිසට මුදල් ලැබෙන්නේ ඔවුන්ගේ වාර්තා පළවන ආකාරයට වන බැවින් එම කාරණය ඉස්මතු කරමින්, ඔවුන්ගේ ලිපි පළනොකරන බවට බියවද්දමින් ලිංගික හිංසනයට ලක්කිරීම, ජනමාධ්‍යවේදිනියන්ට සහ මාධ්‍ය සේවිකාවන්ට තමන්ගේ තනතුරේ බලය භාවිත කරමින් ජනමාධ්‍ය ආයතනවල තනතුරු දරන ඇතැම් පුද්ගලයන් විසින් ලිංගික බලපෑම් කිරීම, සමාන ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් විසින් ලිංගික බලපෑම් කිරීම, පුවත්පත්වලට ලියන නවකයන්ට ඒවා පළකර දීම සඳහා බව පවසමින් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම,අගතියට පත්වූ කාන්තාවන්ට ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන බව කියමින් සහ සැකකාරියන්ට ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව පවසමින් මාධ්‍ය බලය භාවිත කර ඇතැම් අවස්ථාවල ලිංගික හිංසන සිදු කිරීම,

ඇතැම් ජනමාධ්‍යවේදිනියන් ක්ෂේත්‍ර වාර්තා කිරීම් සඳහා දුර-බැහැර ප්‍රදේශවලට ගිය අවස්ථාවලදී ඡායාරූප ශිල්පීන්ගෙන් හෝ සහෝදර ජනමාධ්‍යවේදීන්ගෙන් සිදුවන බලපෑම් ගැන ද විටින්-විට වාර්තා වේ, ලිංගික හිංසනයන් ඉවසා ගත නොහැකිව ජනමාධ්‍යවේදිනියන් ආයතනවලින් ඉවත්ව ගිය අවස්ථා කිහිපයක් ද වාර්තා වී ඇති බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

එබැවින් පහත සඳහන් යෝජනා සලකා බලා ඒවා ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම ඉල්ලීම් ජනමාධ්‍ය ආයතන වෙත යොමු කර මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පවත්වා කාන්තාවන්ට නිදහසේ සේවය කළ හැකි වටපිටාවක් නිර්මාණය කර දෙන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

යෝජනා : ලිංගික හිංසනයක් සිදුවූ වහාම ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ආයතන ප්‍රධානීන්ට පැමිණිලි කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට පැමිණිලි කිරීමටත් මාධ්‍ය ආයතනවල රාජකාරි කරන කාන්තාවන් දැනුවත් කිරීම.

කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන් ගැන කුමනාකාරයෙන් හෝ දැනුවත් වූ වහාම ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඇයව හිංසනයට පත් කළ පුද්ගලයන්ට එරෙහිව ආයතනික වශයෙන් කටයුතු කිරීම සහ ඔහුට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට හිංසනයට භාජනය වන කාන්තාවන් ධෛර්යමත් කිරීමට මාධ්‍ය ආයතනවල ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන් දැනුවත් කිරීම,

මාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන් යම් ලිංගික අපයෝජනයකට මුහුණ දුනහොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ කාන්තාවන්ට ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසන නතර කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදුකිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙනම ස්වාධීන අංශයක් ස්ථාපිත කිරීම,

කාන්තාවන්ට රාජකාරි කරන ස්ථානයේ සහ රාජකාරි නිසා ඇතිවන ලිංගික හිංසන අවම කිරීමට සහ එවැනි ගැටලු ගැන සාකච්ඡා කිරීමට මාධ්‍ය ආයතන තුළ වෙනම කාන්තා නිලධාරිනියක් පත්කිරීම, හිංසනයන්ට පත්වන කාන්තාවන් සඳහා නොමිලයේ මනෝ උපදේශන සේවා ලබාගැනීමට ස්වාධීන ආයතනයක් හෝ අංශයක් පිහිටුවීම.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ ලිපියේ පිටපත් ශ්‍රී ලංකා කර්තෘ සංසදය, විද්‍යුත් විකාශකයන්ගේ සංසදය, ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යංශය, සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ප්‍රධාන විධායක නිලධාරි, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා සභාපති, පුවත්පත් හිමිකරුවන්ගේ සංසදය වෙතත් යොමු කර තිබේ.