counter hit xanga
June 26, 2022

අපේක්ෂකයන් තිදෙනෙක් නිසා අර්බුදයක්! පළාත් මැතිවරණය ගැන ඉන්දීයාව අවධානයෙන්!

Last Updated on April 25, 2021 by Panduka Herath

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය පැවැත්විම කල් යැම ගැන ඉන්දීය රජය යලි සිය අවධානය යොමුකර තිබේ. ඉන්දීය AIADMK පක්ෂයේ එම්. තම්බි දුරෙයි M. Thambi Durai මන්ත්‍රීවරයා යොමුකර තිබු ලිපියකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් එස්. ජයශංකර් S. Jaishankar පසුගියදා සදහන් කර තිබුනේ ශ්‍රී ලංකාවේ 13 වැනි ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව සියලු පළාත් සභා ක්‍රියාත්මක විය යුතු බවයි.

“ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාවේ දී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් ඉන්දියාව ප්‍රබල ප්‍රකාශයක් සිදුකළා. එය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සමානාත්මතාව සහ ගෞරවය වෙනුවෙන් ඉන්දියාවේ කැපවීමක්” යැයි ද ජයශංකර්ගේ ලිපියේ සඳහන් කර ඇත.

පළාත් සභා ඡන්දයට එකම පක්ෂයෙන් එක් කොට්ඨාසයකට අපේක්ෂකයන් තිදෙනකු බැගින් ඉදිරිපත් කිරීමේ යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ දිගින් දිගටම විරෝධය පළ කිරිම හේතුවෙන් මැතිවරණය පැවැත්විමේ කාලසීමාව සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන තිබේන බව ecast දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

අපේක්ෂකයන් තිදෙනෙක් නම් කිරීමේ යෝජනාව අහෝසි කරන්නැයි සුළු පක්ෂ නායකයෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින අතර විමල්, උදය, වාසුලාගේ ගැටුම හටගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙනි. ආණ්ඩුවට සහය දක්වන ලංකා කම්කරු කොංග්‍රසය ද අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත් කිරීමට විරෝධය දක්වා ඇත. කෙසේවෙතත් පසුගිය දිනකිහිපය තුල සිදු කෙරුණු සාකච්ඡා හරහා මේ වනවිට එම ප්‍රශ්ණය විසඳුමක් දිශාවට යොමුව ඇති බවයි දේශපාලන වාර්තාකරු සදහන් කළෙ.

ශ්‍රිලනිප අර්බුදය බැසිල් හමුවට!

මේ අතර ආණ්ඩුව අභ්‍යන්තරයේ සාමාජික පක්ෂ අතර පවතින දේශපාලන ප්‍රශ්න හා පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය ඇතුලු ගැටලු සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පසුගිය 21 වැනිදා පැවැති අතර ශ්‍රී ලනිප නායක මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්දානන්ද අමරවීර මෙන්ම සුළු පක්ෂ කිහිපයක නායකයන්ද ඊට එක්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයකු වශයෙන් තමා කිසිසේත් අඩු සැලකීමත් නොදක්වන බව තරයේ ප්‍රකාශ කොට ඇති බැසිල් රාජපක්ෂ මහතා රජයේ කැබිනට් ඇමැතිවරයකු ලෙස කටයුතු කරන නිමල් සිරිපාල ද සිල්වා මහතාට ඔහු දරන අමාත්‍යාංශය යටතේ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමේ අපහසුතාවක් පවතින බැවින් පරිසර ඇමැතිවරයා ලෙස සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙසටද යෝජනා කර තිබේ.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ ප්‍රදේශවල ශ්‍රී ලනිප ආසන සංවිධායකවරුන්ගේ සහාය ලබා ගැනීමට මෙන්ම එමඟින් ඔවුන්ට ප්‍රදේශයේ ජනතාවට සේවයක් කිරීමට අවස්ථාව සැලසෙන බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.