counter hit xanga
October 18, 2021

X-Press Pearl සහ කොළඹ වරාය අතර සංවාද ගැන පරික්ෂණයක්!

Xcomunication lankaecast

Last Updated on June 16, 2021 by Panduka Herath

ගිනිගත් X-Press Pearl නෞකාවේ කපිතාන්වරයා රේඩියෝ සංවාද සිදුකළ බව කියන කොළඹ වරායේ රේඩියෝ දත්ත සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) නියෝග කළා.

නෞකාවේ Voyage Data Recorder (VDR) යන්ත්‍රයේ පරීක්ෂණ සිදුකරනවා සේම වරාය අධිකාරිය සතු රේඩියෝ දත්ත සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන ලෙස රහස් පොලිසියට නියම කරන්නැයි නෞකාවේ සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.

අධිකරණයෙන් ලබාදෙන නියෝග උල්ලංඝනය කරන පාර්ශ්ව සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත විමර්ශන ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් නියෝගයක් නිකුත් කර සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ විමර්ශන කටයුතු සඳහා අදාළ නෞකාවේ දේශීය නියෝජිත වන Sea Consortium Lanka (Pvt) Ltd සමාගමේ ඊමේල් දත්ත ගබඩාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම පැහැර හැර ඇති බවයි. Email පිටපත ලබාදෙන ලෙස ඉකුත් නඩු දිනයේදී අධිකරණය නියෝගයක් නිකුත් කළ අතර, අදාළ සමාගම ඒවා ලබාදීම පැහැර හැර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදි සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ සමාගමේ සමස්ත දත්ත ගබඩාවම තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවය.විමර්ශනවලට අදාළ Email දත්ත පමණක් ලබාදෙන ලෙස වුවත්, සමස්ත දත්ත ගබඩාවම ලබාදීම කළ නොහැකි බවත්, එසේ වුවහොත් සමාගම සතු ව්‍යාපාරික රහස් ප්‍රසිද්ධියට පත්වීමේ අවදානමක් තිබෙන බවද පෙන්වා දුන්නා.

කෙසේවෙතත් අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින ලද email දත්ත ගබඩාව ගිගාබයිට් 6,000කින් පමණ යුක්ත වන හෙයින්, එය පිටපත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බවයි.

මිට අමතරව නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් 27 දෙනා සතු ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක, කැමරා ආදී ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල අන්තර්ගත දත්තවල පිටපතක් ලබාගැනීම සඳහා ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදෙන ලෙස අධිකරණය දුන් නියෝගයද මේ දක්වා ඉටුවි නොමැති බවද අධිකරණය හමුවේ අනාවරණය වුනා. ඊට හේතුව ලෙස අධිකරණය හමුවේ අනාවරණය වි ඇත්තේ නෞකාවේ කර්ය මණ්ඩලයේ සිටින සාමාජිකයන් 13 දෙනකුම චීන ජාතිකයන් බවත්, ඔවුන්ට සිංහල භාෂාවෙන් මුද්‍රණය කළ අධිකරණ නියෝගයක් පෙන්වා භාණ්ඩ ඉල්ලා ඇති බැවින් ඒවා ලබාදීමට හැකියාවක් නොතිබූ බවය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිනි ගිරියාගම මෙනවිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රෝහාන් ප්‍රේමරත්න, සහකාර පොලිස් අධිකාරි රොෂාන් අබේසිංහ, සාගර විෂයයට අදාළ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.