Last Updated on February 25, 2023 by Desman Chathuranga
ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන රනිල් වික්‍රමසිංහගේ වියරු ස්වභාවය පරාජයට පත් කිරිම සදහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සංවිධාන මේ පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් කටයුතු කර තිබෙන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
“ජනාධිපතිවරයා ඊයේ විකට රංගනයක යෙදෙමින් සිනාසිසී, එහෙත් රටටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් එරෙහි අතිශය භයානක කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. මේ ජනාධිපතිවරයා සිනාසෙන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට. ජනාධිපතිවරයා සමග වටේ ඉන්න කණ්ඩායම් සිනාසෙන්නේ අපේ රටේ ජනතාවගේ ඡන්ද අයිතියට. ජනාධිපතිවරයා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ජනතාවගේ ඡන්ද අයිතියත් ඉතා කැත ලෙස හෑල්ලුවට ලක්කොට ඔහුගේ බලය තහවුරු කර ගැනීම සඳහා තිබෙන මුග්ධ උවමනාව තමයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සාමාන්‍ය සිහිබුද්ධියක් තිබෙන කෙනෙක් පිළිගන්නේ නැහැ. ජනාධිපතිවරයා සිතනවා ඕනෑම විසුළු සහගත කරුණක් බොරුවක් ප්‍රකාශ කරලා මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන් කියලා. ජනාධිපතිවරයාගේ අරමුණ සහ හරය වුණේ එයයි.”
“එහිදී ඔහු කියනවා මැතිවරණයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැති බව. එය සම්පූර්ණ අසත්‍යයක්. පසුගිය ජනවාරි 05වෙනිදා ඡන්දය ප්‍රකාශයට පත්කළා. නාම යෝජනා බාර ගත්තා. ඇප මුදල් බාර ගත්තා. ඒ වගේම ජනවාරි 21දා ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට පත් කළා. තැපැල් ඡන්දවලට දින නියම කළා. මැතිවරණ කොමිසම පැත්තෙන් ඔවුන් පැහැදිලිවම ඉදිරිපත් කරනවා, ඒ සියලුම ක්‍රියාමාර්ග ව්‍යවස්ථානුකූල සහ නීත්‍යානුකූල බව. ඡන්දයත් තිබෙන බව ඒ ඒ දිසාපතිවරුන් විසින් ගැසට් කොට තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා කිසිදු වගකීමකින් තොරව, තමන්ගේ යටි අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් හිතාමතාම බොරු කිව්වා. මැතිවරණ කොමිසම ව්‍යවස්ථානුකූල සහ නීතිමය ක්‍රියාමාර්ග අරගෙන නැත්නම් එය තීරණය කිරීමේ බලයක් වත් ජනාධිපතිවරයාට නැහැ. මැතිවරණ කොමසාරිස් නීත්‍යානුකූලව කටයුතු කර නැත්නම් ඔහුට අධිකරණයට යා හැකියි. ජනාධිපතිවරයාගේ මතය රටේ නීතිය නොවෙයි. ජනාධිපතිවරයාට කිසිසේත්ම අයිතියක් නැහැ ඡන්දය නීත්‍යානුකූල නොවන බව ප්‍රකාශ කරමින් මත ඉදිරිපත් කිරීමට. කෙසේ හෝ ප්‍රශ්නයක් තිබේ නම්, එය නිරාකරණය කර ගත යුත්තේ අධිකරණයෙන්. හැබැයි රනිල් වික්‍රමසිංහ ඔහුගේ ගෝලයන් අධිකරණයට යවා තිබෙන්නේ මැතිවරණය නීත්‍යානුකූලද නැද්ද යන්න තීරණය කිරීමට නොවෙයි, මැතිවරණය වළක්වාගන්න. එක පැත්තකින් පාර්ලිමේන්තුවට ඇවිත් මැතිවරණය නිත්‍යානුකූල නැහැයි කියනවා. අනෙක් පැත්තෙන් කර්නල් කෙනෙක් උසාවියට යවනවා මැතිවරණයට සල්ලි නැහැයි කියා මැතිවරණය කල් දාන්න කියා ඉල්ලීමක් කරන්න. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා මේ රටේ ජනතාව අවසිහියෙන් ඉන්න ජනතාවක් කියලා.”
“රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා කැඳවා,ඡන්දෙට මුදල් දෙන්න එපා කියන්නේ මොකක් නිසාද? රනිල් වික්‍රමසිංහ මුද්‍රණාලයාධිපතිනිය කැඳවා, ඡන්ද පත්‍රිකා ගහන්න එපා කියන්නේ මොකක් නිසාද? ඡන්දයක් තියෙන නිසා. රනිල් වික්‍රමසිංහගේ පක්ෂය නාම යෝජනා දෙන්නේ මොකක් නිසාද? ඡන්දයක් තිබෙන නිසා. රනිල් වික්‍රමසිංහ මැතිවරණ වේදිකාවට නගින්නේ නැහැ කියා ප්‍රකාශයක් කළා. ඒ ඡන්දයක් තිබෙන නිසා. මේ රටේ ජනතාව දන්නවා ඡන්දයක් තිබෙන බවත්, ඡන්දෙට ඒ ඒ දේශපාලන ව්‍යාපාර සහ ස්වාධීන කණ්ඩායම් සහ ජනතාව සම්බන්ධවෙලා වැඩ කරන බව. හැබැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඡන්දයක් තියෙන්න එපැයි ඡන්දයක් කල්දාන්න. ඡන්දෙකුත් නැහැ, ඡන්දෙ තියන්න සල්ලිත් නැහැ, සල්ලි තිබ්බත් ඡන්දයක් නැහැයි පවසනවා. ඒ නිසා මේ ජනාධිපතිවරයා අවසිහියෙන් කටයුතු කරනවාදැයි සාධාරණ සැකයක් මතුවෙනවා.”
මූල්‍ය බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට
“අපේ රටේ මූල්‍ය බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව විසින් නිසි පරිදි, ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව කටයුතු කරන්න මිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ගේ දෙපතුළ ළඟ දමා, එය පයින් පාගලා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න නොවෙයි. ව්‍යවස්ථාවට අනුව ජනධිපති වූ රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව කඩනවා. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට තිබෙන බලය ජනාධිපතිවරයාට නැහැ. ඒ නිසා මුදල් නැති බව පවසමින් ඡන්දයක් කල්දැමීමට දරන ප්‍රයත්නය අතිශය සාහසික ක්‍රියාවක්. සල්ලි නොදීම සඳහා රනිල් වික්‍රමසිංහ මේ නිකුත් කරන නිවේදන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කරන බලපෑම, මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධියි.”
“ඔහු නැවතත් කියනවා ඡන්දය කල්දැමීම සඳහා යම් යම් පක්ෂ ඉල්ලීමක් කළා කියලා. අපි හිතමු එවැනි ඉල්ලීමක් කළත් රනිල් වික්‍රමසිංහට ඡන්දය කල් දාන්න බැහැ. ඡන්දය කල් දමන ලෙසට පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කර, ලිපියක් ඉදිරිපත් කළත් ජනාධිපතිට ඡන්දය කල් දමන්න බැහැ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත්, පළාත් පාලන නීතිය අනුවත් මේ මාර්තු 20දාට පෙර නව පළාත් පාලන ආයතන පිහිටුවිය යුතුයි. ඒ පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා සම්පූර්ණ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. මැතිවරණ ප්‍රකාශයට පත්කරන්න පුළුවන්. මැතිවරණය පැවැත්වීම සඳහා අනපේක්ෂිත තත්වයක් ඇතිවෙනවා නම් ඒ පිළිබඳ ප්‍රකාශයක් කිරීමට බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට.”
“ඊළඟට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විවිධ අයට ඇඟිල්ල දිගුකරමින් (මම 23දා පාර්ලිමේන්තුවේ සිටියේ නැහැ. වීඩියෝ හරහා මා දුටුවා) මැතිවරණය කල්දැමීම සඳහා ඔහුගෙන් ඉල්ලා සිටියේ යැයි ප්‍රකාශ කළා. මෙය අතිශය බරපතළ ක්‍රියාවක්. ඡන්දය කල්දාන ලෙස ඉල්ලූ අනෙකුත් පක්ෂවල අය කවුද? ඉල්ලුවේ කොහොමද කියන එක රනිල් වික්‍රමසිංහ රටට හෙළිකළ යුතුයි. රටේ ජනතාවට දැනගන්න පුළුවන් ඇත්තටම ඡන්දය පවත්වාගෙන යාම වෙනුවෙන් කටයුතු කරන්නේ කවුද? යටින් ඡන්දය කල්දැමීම සඳහා කටයුතු කරන්නේ කවුද? උඩින් නම් රනිල් වික්‍රමසිංහ. යටින් ඉන්නේ කවුද යන්න අපට දැනගැනීමේ අයිතියක් තිබෙනවා.”
“ඡන්දය අවලංගු කර නැහැ. උසාවියේ නඩුවක් තිබෙන නිසා ඡන්දය පවත්වන්න බැහැ යනුවෙන් බොහෝ අය කියන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කළා 23දා නඩුව තිබෙන බැවින් එතෙක් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බව. ඕනෑම ක්‍රියාමාර්ගයකදී නඩු පැවරෙන්න පුළුවන්. එහෙම නම් නඩුවෙන් පවතින මැතිවරණ ක්‍රියාවලිය (මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වීම සඳහා ගනු ලබන කටයුතු) වාරණය කිරීමේ නියෝගයක් අධිකරණයෙන් දිය යුතුයි. 23දින අධිකරණය දෙනලද එකඟතාවයම තමයි ඊට පෙර 10දා මැතිවරණ කොමිසමට දෙන ලද එකඟතාවය වුනේ. එනම් මැතිවරණ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා ඔවුන් කටයුතු කරන බව. ඊළඟ නඩු විභාගයට ගන්නා දිනය මැයි 11දා. ඒ වෙනවිට පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පවත්වලා අවසන් කර ගන්නත් පුළුවන්. අධිකරණයේ නඩු තීන්දුවයි, ඡන්දය නොපැවැත්වීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ග අතර කිසිදු සම්බන්ධයක් නැහැ. අධිකරණයට දැනට මැතිවරණ කොමිසම දෙනලද එකඟතාවය තමයි මැතිවරණය පවත්වන බව. ඒ නිසා දැනුත් කිසිදු බාධාවකින් තොරව මැතිවරණ කොමිසමට මැතිවරණය පවත්වාගෙන යාමේ බලය තිබෙනවා.”
රනිල් වික්‍රමසිංහ කරන්නේ මොකක්ද?
“මැතිවරණ කොමිසමට සල්ලි, මුද්‍රණ යන්ත්‍ර, පොලිීසිය නැහැ. එසේ නම් විය යුත්තේ කුමක්ද? මැතිවරණ කොමිසමට අනෙක් ආයතන සහාය දිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට අදාළ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන අවශ්‍ය සහාය ලබාදිය යුතුයි. භාණ්ඩාගාර ලේකම්වරයා, මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමට ඡන්දය පැවැත්වීම සඳහා සහාය ලබාදෙනවා වෙනුවට රනිල් වික්‍රමසිංහ නියෝග සහ යටිකූට්ටු වැඩ හරහා ඡන්දය පැවැත්වීමට බාධා කරනවා. දැන් ඒ බාධාවලට මැතිවරණ කොමිසම යටත් වන්නේ නැත්නම් කොමිසමට 104 වන වගන්තියේම තියෙනවා තමන් දෙන ලද නියෝග සහ ක්‍රියාමාර්ගවලට අදාළ ආයතන සහාය දක්වන්නේ නැහැ කියලා නඩු දැමිය හැකි බව. වසර තුනක් හිරේ යැවිය හැකියි. එය තමයි කොමිසමට ලබාදී තිබෙන බලතල. කොමිසමට මෙතරම් බලතල ලබාදී තිබෙන්නේ, ඡන්දය පැවැත්වීමේ වගකීම කොමිසමේ වගකීමක් නිසා. එසේ බාධා කිරීම් තිබුණද මැතිවරණ කොමිසම, බාධා කරන නලධාරීන්ට සහ ආයතනවලට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න විශාල පැකිලීමකින් කටයුතු කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහගේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට කොමිසමත් යටත් වෙලා කටයුතු කරනවා වගේ තමයි අපට පෙන්නුම් කරන්නේ. මැතිවරණ කොමිසම ඇඟබේරා ගැනීමේ න්‍යායෙන් කටයුතු නොකර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ඡන්ද අයිතිය රැකදීමට මීට වඩා කඩයුතු කළ යුතුයැයි අපි විශ්වාස කරනවා.”
“ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන රනිල් වික්‍රමසිංහගේ වියරු ස්වභාවය පරාජයට පත් කළ යුතුයි. ඒ පරාජයට පත් කිරීම සඳහා සියලු පක්ෂවලට, සියලු සංවිධානවලට, පුරවැසියන්ට අපි ආරාධනා කරනවා, ඔබ ඔබට හැකි හැමදේම මෙය පරාජයට පත්කිරීම සඳහා කළ යුතුයි. ජාතික ජන බලවේගයේ අපි දිස්ත්‍රික් ගණනාවක උද්ඝෝෂණ ක්‍රියාමාර්ග තෝරාගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව, රනිල් වික්‍රමසිංහගේ වියරු ස්වභායට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දැමීම සඳහා, ඡන්ද සිතියම් අකුලා දැමීම සඳහා රනිල් වික්‍රමසිංහ මේ දරන ප්‍රයත්නය පරාජයට පත්කිරීම සඳහා මේ එළඹෙන 26 වෙනිදා, කොළඹදී විශාල ජන විරෝධයක් ජනතාව සමඟ ඒකාබද්ධව සිදු කරන්න කටයුතු කරනවා.”
“ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සංවිධාන මේ පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් කටයුතු කර තිබෙනවා. ඉදිරියේ තවත් සංවිධාන ගණනාවක් සමග සාකච්ඡා කරන්නත්, දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඒ ඒ රටවල්වල තානාපති කාර්යාල ඉදිරිපිට, මේ වන විටත් විශාල උද්ඝෝෂණ ව්‍යාපාරවල ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටි ජිනීවාවලත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන්න සැලසුම්කර තිබෙනවා. මෑත කාලයේ අධිකරණය ජනතා අයිතීන් වෙනුවෙන්, මානව හිමිකම් වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සුවිශේෂී තීන්දු දීපු අවස්ථා කිහිපයක්ම තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ මෙම ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය පරාජය කරන්න නඩු කිහිපයක් ගොනු කරන්න ජාතික ජන බලවේගයේ අපි සූදානම් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ මේ ප්‍රජාතන්ත්‍ර විරොධී ක්‍රියාමාර්ග පරාජය කරන්න, නිසි කලට නිසි පරිදි මැතිවරණ ලබාගැනීමට අපි කටයතු කරනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන, අමිහිරි කටුක අත්දැකීම් ගණනාවකට මුහුණ දෙන ජනතාවට, සියලු පොදුජන ව්‍යාපාරවලට රනිල් වික්‍රමසිංහගේ මේ මුග්ධ, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත්කරන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.”
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?