counter hit xanga
March 28, 2023

22ට සහය නොදීම ජාතික යුතුකමක් පැහැර හැරීමක් – කරු

Last Updated on October 6, 2022 by Lankae Cast

පාලක පොදුජන පෙරමුණේ හෝ විරුද්ධ පක්ෂයේ හෝ මන්ත්‍රීවරුන් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදීම ජාතික යුතුකමක් පැහැර හැරීමක් බව හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරන හිටපු කතානායකවරයා, “Sandeshaya by Saroj” (සරෝජ් සමග සංදේශය) YouTube නාලිකාව සමගද අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබිණ.

හිටපු කතානායකවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

රටේ අනාගත යහපත උදෙසා 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම අත්‍යවශ්‍යය.
 
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්ම හා ජනතාවගේ යහපත් අභිලාශයන් මුදුන්පත් කරගැනීම උදෙසා  මේ වන විට ඒක පුද්ගල අධිකාරීත්වයකට ඉඩ ලබා දී ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම අත්‍යවශ්‍යවෙන්ම කලයුතු බව අප සංවිධානයේ දැඩි ස්ථාවරයයි. එය මේ රටේ සිවිල් සමාජය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන ප්‍රවාහයන්හිද  පොදු මතය වේ.

ඒ සදහා පියවර ගැනීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු මහජන නියෝජිතයන්ගේ වගකීම වන බව අප අඛණ්ඩවම අවධාරණ කර ඇත්තෙමු. මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඒ සදහා ප්‍රවේශයක් කරගත හැකි බව අපගේ  බලවත් විශ්වාසයයි.
 
එහිදී අප අවධාරණය කරන කරුණ වන්නේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මෙන්ම මේ රටේ අනාගත යහපත අපේක්ෂා කරන සිවිල් හා දේශපාලන ව්‍යාපාර අපේක්ෂා කළ ආකාරයට යෝජිත 22 වැනි සංශෝධනය පරිපූර්ණ නැතත් අවම වශයෙන් පොදු එකගත්වකට එළඹිය හැකි කරුණු හෝ පදනම් කරගනිමින් අත්තනෝමතික ඒක පුද්ගල බල අධිකාරියක් ස්ථාපිත කර ඇති 20 වැනි සංශෝධනය බලරහිත කල යුතුව ඇති බවය. එය රටේ අනාගත යහ පැවැත්ම වෙනුවෙන් ගතයුතුව ඇති අත්‍යවශ්‍යම පියවරකි.
 
ඒ අනුව අප මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පටු බල අරමුණු ඉලක්ක කරගනිමින් මෙම වැදගත් අවස්ථාව මග නොහරින ලෙසය. එමෙන්ම තම සාධනීය දේශපාලන ප්‍රතිසංස්කරණ ඉලක්කයන් අත නොහැර ඒ උදෙසා අධිශ්ඨානශීලීව කටයුතු කරන අතරතුර මෙම අවස්ථාව ඒ සදහා තීරණාත්මක පියවරක් කරගන්නා ලෙසය.
 
මෙයට සහාය නොදීම ජාතික යුතුකමක් පැහැර හැරීමක් ලෙස අපි දකිමු.
කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය