counter hit xanga
March 28, 2023

ආණ්ඩුව දණ ගහන කාලයට වැඩි ඈතක් නෑ!

Last Updated on October 24, 2022 by Desman Chathuranga

වර්තමාන ආණ්ඩුවේ බලලෝභි ලැජ්ජා නැතිකම කෙතරම් යන්න මහින්ද රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහට චරිත සහතික දීමෙන් පැහැදිලි වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරනවා.

ප්‍රධාන පෙලේ ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“දැන් මේ ආණ්ඩුව වැඩ කරන්නේ කම්මලේ බල්ල වගේ. දැවැන්ත විරෝධයන්ට මුහුණ දීලා ඒවයින් බැණුම් අහල රටේ ජනතාව දිනපතා දෙස් දෙවොල් තියද්දිත් කිසිම ලජ්ජාවක් නැතුව පුරසාරම් කිය කිය ඉන්න ආණ්ඩුවක්නෙ මේක. බලයට තියෙන කෑදරකම නිසාම බැණුම් අහ අහ ඇදගෙන යනවා. මේ ගොල්ලො විරෝධයන් ආවා කියල ලේසියෙන් බලය අත අරින්න සුදානම් පිරිසක් නෙවෙයි. ඒ තරම් බලයට කෑදරයි. කොච්චර ලජ්ජ නැද්ද කියනව නම් අද වෙනකොට මහින්ද රාජපක්ෂට පුළුවන් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ දැන් හොඳයි කියල චරිත සහතික දෙන්න.

ආණ්ඩුව ජනතාවගේ විරෝධයන්ට ඇහුම්කන් නොදී හිතුවක්කාරී විදියට ආණ්ඩුව කරගෙන ගියත් ඒකෙ සීමාවක් තියෙනවා. කලින් වතාවෙත් පොඩි පොඩි උද්ඝෝෂණ කර කර ඉඳලා තමයි දැවැන්ත අරගලයක් කරලා හිටපු ජනාධිපතිල අගමැතිල පුටු වලින් බැස්සුවේ. දැන් මේ ආණ්ඩුවත් ජනතාවගේ උද්ඝෝෂණ නොසලකා ඉන්න එකෙන් සිද්ධ වෙන්නෙ කිසියම් වෙලාවක ආණ්ඩුව පරාජය කරන මට්ටමේ ජනතා රැල්ලක් මතුවෙන එක. ආණ්ඩුවට එදාට දණ ගහන්න වෙනවා. ඒ ජනතා පෙළගැහීම දැන් සිදුවෙමින් පවතිනවා.

වෙලාව කියන්නේ නැකැත් බලල කරන එකක් නෙවෙයි. මේක ජනතාවගේ පොදු වුවමනාව. පහුගිය මැයි මාසෙ ජූනි මාසේ හිටපු පාලකයෝ පුටුවලින් බැස්සුවෙ කලින් දින දාගෙන නෙවෙයිනේ. ජනතා නැගිටීම් එහෙම තමයි. ස්වාභාවික ජනතා නැගිටීම් සිද්ධවෙන වෙලාව කලින් තීරණය කරන්න බැහැ. දැන් ඒ විරෝධයට ඕනෑ කරන සියල්ල සූදානම් මොහොතක්. ඒකට පසුබිම සැකසිලා තියෙන්නේ. ලොකු රැල්ලක් ඇවිත් හිටපු පාලකයෝ ගහගෙන ගියා. ඊළඟ රැල්ලට පොඩි කාලයක් යනවා. මේ ගෙවෙන්නේ ඒ කාලය. ඊළඟ රැල්ල ඉතාම නුදුරේ එනවා. අපි දන්නෑ ඒ රැල්ලට කවුරු කවුරු ගහගෙන යාවිද කියලා.

පොහොට්ටුවට මහින්ද එක්ක නම් ආපහු නැගිටින්න බැරිවෙයි. පොහොට්ටුවට නැගිටින්නත් බැහැ. මහින්දට නැගිටින්නත් බැහැනේ. 2015 මහින්ද රාජපක්ෂ පරාද වෙලා ගිනින් මැදමුලන ජනේලෙ එල්ලුණා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා මහින්ද සුළගත් එක්ක මහින්ද නැගිට්ටෙව්වා. හැබැයි දැන් රට පුරාම විශාල මහින්ද විරෝධයක් තියෙන වෙලාව. මහින්දලා නැතුව දේශපාලන පැවැත්මක් නැති කීප දෙනෙක් එකතුවෙලා මහින්ද සමග නැගිටිමු කියල කියනවා. ඒත් ඒක හරි යන කෙරුවාවක් නෙවෙයි. කළුතරදි අපි දැක්ක පිරිසක් හෝල් එකක දාගෙන රැස්වීමක් තිබ්බා. ඒකෙදි අපි දැක්කා මහින්ද රාජපක්ෂගෙ ස්වාභාවය. එයාට හරි සිහි කල්පනාව පවා නෑ කියල පෙනුණා. දැන් රටේ ජනාධිපති ගෝඨාභය කියලා එයා තාම හිතාගෙන ඉන්නේ. ඊට පස්සෙ කට්ටිය නාවලපිටියට ගියා. ඒකෙදි මහින්දට ලොකු විරෝධයක් එල්ල වුණා. ඒ පැත්තෙ මිනිස්සු තණකොළයි පුන්නක්කුයි පවා පාරවල් දෙපැත්තෙ තියලා තිබුණා. හට් එකක් ගහලා වටේට බට ගහලා මිනිස්සු ඒකට ගාල් කරලා හිටියේ හරියට සත්තුගාල් කරනවා වගේ. අතරමගදි නැගිටලා යන්න හදන මිනිස්සු බලෙන් සද්දෙ දාල නතර කරගන්නවා දැක්කා. ඔක තමයි පොහොට්ටුවේ රැස්වීම් වල තත්ත්වය මේකෙන් පේනවනේ එයාලට නැගිටින්නම බෑ කියලා. මහින්දටවත් මහින්ද එක්ක අනිත් අයටවත් නැගිටින්න හම්බවෙන්නෙ නැහැ. හැබැයි මහින්දලට රනිල්ලට විරුද්ධව නම් රටේම මිනිස්සු නැගිටිනවා.” ඔහු මෙහිදි සඳහන් කර සිටියා.