counter hit xanga
March 26, 2023

ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි

Last Updated on February 3, 2023 by Lankae Cast

ශ්‍රී ලංකාව දරුණු සුළි කුණාටුවකට මැදිව සිටින අවස්තාවක ඔරුව තමන්ට පවරා ගැනීමකින් පමණක් එහි ගමන් කරන්නවුන්ගේ ජීවිත බේරාගන්නට හැකි නොවනු ඇති බව හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.

එවැනි අර්බුදකාරී ත්ත්වයකදී එයින් ගැලවීමට ගත යුතු මග ගැන උණුසුම් වාද විවාද ඇතිවිය හැකි වුවත් අවසන් ජයග්‍රහණය රැදී ඇත්තේ ඔරුව ගිලෙන්නට පෙර සාමුහික ප්‍රයත්නයකින් කෙම් බිමක් කරා නිරුපද්‍රිතව ගමන් කල හොත් පමණක් බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් කොටුව ජනාධිපති මන්දිරයේදී “ශ්‍රී ලංකාභිමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඒ බව කියා සිටි හිටපු කතානායකවරයා, එහිදී විශේෂයෙන්ම පාලකයින්ට හෝ දේශපාලකයින්ට පමණක් වගකීම පවරා නිහඬව සිටීම සිව්ල් සමාජ සංවිධානවල කාර්යභාරය නොවන බව ද පෙන්වා දුන්නේය.

ජීවිත කාලය තුළ එක්වරක් පමණක් හිමි වන “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානය ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයෙකුට ලබා දෙන ඉහළම ජාතික සම්මානයයි.

මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට පමණක් වන අතර එනම් එම සම්මානය ලබා සිටින පස් දෙනෙකු ජීවතුන් අතර සිටී නම් එම සම්මානය සයවෙන්නෙකුට ලබාදිය නොහැකිය.

අවසන් වරට 2017 වසරේ දී ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනුවෙන් සිදුකරන ලද අනභිබවනීය මෙහෙවර උදෙසා ඩබ්.ඩී. අමරදේව ශූරීන් ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ අතර රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිවරුන් ද, ආතර් සී. ක්ලාක්, ලක්ෂ්මන් කදිරගාමර්, ඒ.ටී. ආරියරත්න, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රි ද “ශ්‍රී ලංකාභිමාන්‍ය” සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

සම්මානයෙන් පුද ලද හිටපු කතානායක කරු ජයසූරිය කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

මම ඉතාමත් නිහතමානීව මෙසේ ප්‍රකාශ කරමි.

මගේ මාතෘ භූමියෙන් මා වෙත පිරිනමන ලද ශ්‍රී ලංකාභිමානි සම්මානය ඉතාමත්ම නිහතමානී ලෙස පිළිගනිමි. එය මට සතුටක් මෙන්ම මගේ හිසට මහත් වූ බරක් ද එක් කර තිබේ.  මෙම සම්මානයට ලබා දිය යුතු ගෞරවය සුනිසි ආකාරයට ලබාදීමට මා කල යුත්තේ කුමක් ද යන ප්‍රශ්නාර්ථය දැවැන්ත ලෙස මා ඉදිරියේ පෙනෙන්නට වීම ඊට හේතුවයි. එහෙත් ඒ සමගම අවධාරණයෙන් යුතුව මම මෙසේ ද කියන්නෙමි.

මගේ අතීත දේශපාලන ජීවිතය තුළ මවිසින් ගනු ලැබූ සෑම පියවරකටම හෘද සාක්ෂියේ අණ තීරණාත්මක ලෙස හේතු වූ බව සැබෑවක් වන නමුත් මගේ හදවත කිසිවිටක බලකාමය වෙනුවෙන් ස්පන්දනය වී නැත. මා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේ මට කිසිම ලාභයක් ලබාගැනීමට පැවැති අපේක්ෂාවකින් නොවේ. රටේ යහපත වෙනුවෙන් මගේ යුතුකම් කොටස ඉටු කරන්න යැයි ලද ආරාධනයන් ඊට හේතු විය.

මා එයට තව දුරටත් අවනත වෙමින් මේ රටේ බල දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී මේ වන විට වසර දෙකක කාලයක් ගත වී තිබේ. දේශපාලන කඳවුරක හෝ පක්ෂයක සිටින විට අනිවාර්යයෙන් මුහුණ දිය යුතු තියුණු ඊතල වලින් දැන් මා ගැලවී සිටිමි. එසේ වුවත් බුදුන් වහන්සේ පෙන්වා දුන් පරම සුවය සොයා යන්නෙක් ලෙස එය සාක්ෂාත් කරගන්නා තෙක් සමාජ වගකීම නම් වූ  ඔලොගුව මා කරමතින් බිම තබන්නට මගේ හදවත මට ඉඩක් ලබාදෙන්නේ නැත.

ඒ අනුව මේ උසස් සම්මානයේ වටිනාකමට මා වෙතින් ලබාදිය යුතුව ඇති සාධාරණත්වය හැකි උපරිම අයුරින් ලබාදෙන්නට මම උත්සහ කරමි. ඒ පුරවැසියෙක් ලෙස මිසක පක්ෂයක කොටස්කරුවෙක් ලෙස නොවන බව  මා ඔබ ඉදිරියේ අවධාරණය කරනු කැමැත්තෙමි. එහිදී ලාංකේය පුරවැසියෙක් ලෙස අප ගැඹුරින් කල්පනා කල යුතු කරුණු කිහිපයක් ම තිබේ.

රටක් ලෙස අද අප ගතකරමින් සිටින්නේ දරුණු සුළි කුණාටුවකට මැදිවය.

එවැනි කුණාටුවකදී ඔරුව තමන්ට පවරා ගැනීමකින් පමණක් එහි ගමන් කරන්නවුන්ගේ ජීවිත බේරාගන්නට හැකිවන්නේ නැත.

එවැනි අර්බුදකාරී ත්ත්වයකදී එයින් ගැලවීමට ගත යුතු මග ගැන නොයෙකුත් මතවාද මතු වීම ස්වාභාවිකය, එහිදී උණුසුම් වාද විවාද ඇතිවිය හැකිය. ඇතැම් විට ගැටුම්කාරී තත්වයන් ද ඇතිවිය හැකිය.

එහෙත් අවසන් ජයග්‍රහණය රැදී ඇත්තේ ඔරුව ගිලෙන්නට පෙර සාමුහික ප්‍රයත්නයකින් කෙම් බිමක් කරා නිරුපද්‍රිතව ගමන් කල හොත් පමණකි.

අපගේ මාතෘ භූමිය වඩා යහපත් රටක් ලෙස අප අපගේ අනාගත පරපුරට භාර දෙන්නට නම් අප අගතීන් කිහිපයකින් ගැලවී සිටීමට අවශ්‍ය ය. එහිදී,

පටු වාර්ගික හා ආගමික ස්වෝත්තමවාදය අප ප්‍රථමයෙන්ම බැහැර කල යුතුය.

පොදු ජාතික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු නොකරමින් පටු ආකාරයට බලය ලබාගැනීමෙන් පමණක් ජයග්‍රහණය ලැබෙනු ඇතැයි සිතන්නේ නම් එය මුලාවකි.

නීතියේ ආධිපත්‍යය අපට ඇති රැකවරණයේ උල්පතයි.

එහිදී ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට අදාළ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ තවදුරත් පමා කල යුතු නැත.

එමෙන්ම කලාපීය අප මිත්‍ර රාජ්‍යයන්ට නිසි ගරුත්වය ලබාදෙමින් සමබර හා උණුසුම් විදේශ ප්‍රතිපත්තියකට යොමුවීම අතිශයින්ම වැදගත්ය.

ඒ සඳහා වන වගකීම දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයන් වෙතම පවරා නිහඩව සිටීම සිවිල් සමාජයේ කාර්යය නොවේ.

වගකීමකින් යුතුව කටයුතු කරන සිවිල් සමාජ ව්‍යාපාරයක කොටස්කරුවෙකු ලෙස අප හමුවේ දැවන්ත වගකීමක් ඇතැයි මම  දැඩි ලෙස විශ්වාස කරමි.

ඒ උදෙසා පෙනී සිටීම මගින් අප වෙත ලබා දුන් මෙම සම්මානයට සාධාරණයක් ඉටු කිරීමට මම මගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන්නෙමි.

-කරු ජයසූරිය