Last Updated on September 30, 2022 by Lankae Cast
දැන් දින ගනනක්ම කිලිනොච්චියේ. මෙහේ ආවේ කෝච්චියෙන්. නතරවෙලා ඉන්නේ යාලුවෙකුට අයිති පොඩි ගෙස්ට් හවුස් එකක. යුද්ධයෙන් අවුරුදු දාහතරක් ගෙවිලත් පිලිසරණක් නොලැබූ අන්ත අසරණයින් හොයාගෙ ගිහිං ඒ අයගේ කථා අහගෙන ඉන්නවා. ඒ ගෙවල්වල ඉදෙන බතක රස බලමින් සල්ලාපයේ යෙදෙනවා. ඒ අයව සිප වැළඳගන්නවා. සිද්ධ වුනු සහ සිද්ධ වෙමින් පවතින දේ කර්මයට බාර කරලා නිස්සද්දව ඉන්නේ නැතිව මේ නාරාවලෙන් ගොඩයන හැටි ගැන සාකච්ඡා කරනවා. වෙලාවකට මට හිතෙනවා මම ඉපදිලා ඉන්නේ මේ අන්නත අසරණ මිනිස්සුන්ගේ කථා පිටපත් කරන්නම විතරද කියලා.
“මට පුත්තුම තුන්දෙනයි.
තුන් දෙනාම ඉගෙන ගන්න දක්ෂයි.
ලොකු පුතා යාපනය විශ්වවිද්‍යාලයට තේරුනා.
එයා දෙවැනි අව්රුද්දේ ඉගෙන ගන්නා කාලේ LTTEසංවිධානය නීතියක් පැනෙව්වා සෑම පවුලකින්ම එක දරුවෙක් යුද්දෙට යන්න ඕනේ කියලා. එතකොට මගේ බාලම පුතා ගොඩක් පුංචියි. මද්දුමයා සාමාන්‍ය පෙල පංතියේ. එයා නැටුමට හරිම දක්ෂයි. එයා නටනවා බලාඉන්න එක තරම් වෙන සන්තෝෂයක් මටත් මගේ බිරිඳටත් තිබුනේ නැහැ.
ලොකු පුතා කැමති වුනා මද්දුමයා වෙනුවෙන් ඒ කැපවීම කරන්න. එයා විශ්වවිද්‍යාල ජීවිතයට සමුදීලා ගමට ආවා. දරුවා මේ යන්න හදන්නේ ජීවිතයත් මරණයත් අතර ගමණක්. අපිට ආයේ කවමදාකවත් එයාගේ මූණ දකින්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපිට ඕනේ වුනා ලොකු පුතාව එක්ක ගිහිං LTTE සංවිධානයට භාරදෙන්න ඉස්සර දවස් දෙක තුනක් අපි ළඟ තියාගන්න. කොල්ලට අපේ උනුසුමේ නැලවෙන්න ඉඩහරින්න.
ඒ වුනාට ගෙදර ඇවිත් විසිහතර පැයක් යන්න ඉස්සර දරුවා මහ පාරේ ඇවිදිමින් සිටියදී බලහත්කාරයෙන් කුදලාගෙන ගියා. උන් හිතක් පපුවක් ඇති ජාතියක් නෙවෙයි. උන් අම්මා අප්පට කෙනකුට දාව උපන් එවුන් වෙන්න බැහැ.
ලොකු පුතා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නිසා LTTE සංවිධානය එයාව කවමදාකවත් ආයුධ පුහුණවට යොමු කළේ නැහැ. ඒ වෙනුවට එයා ප්‍රභාකරන්ගේ පුතා චාල්ස් ඇන්තනී යටතේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩ කළා.
මේ සිද්ධියෙන් පස්සේ මගේ බිරිඳ දරුණු ලෙස අසනීප වුනා. දවස තිස්සේම පාර දිහා බලාගෙන දරුවා එනකල් බලා හිටියා. අපිත් එක්ක කථා නොකර ඇරියා. කථා කළොත් ඒ ලොකු පුතා ගැන විතරමයි. එයාගේ මානසික ආතතිය උග්‍ර වුනා. දවසින් දවසම තත්ත්වය නරක අතට හැරුනා.
2008 ජනවාරි 31 වෙනිදා හදිසියේ හටගත් හර්දයාබාධයක් හේතුවෙන් ඇය අපිව හැර ගියා. අම්මගේ අවමංගල කටයුතුවලට සහභාගි වෙන්න ලොකු පුතා ගෙදර ආවා. නිවාඩුව ඉවර වුනාම කොල්ලා ආයිමත් සංවිධානයේ වැඩට නොගොස් ගෙදර නවතින්න මගෙන් අවසර ඉල්ලුවා. මම ඒ අදහසට තරයේම විරුද්ධ වුනා. එහෙම වුනානම් මගේ මද්දුමයා සංවිධානයට භාරවෙන්න ඕනේ. මං කැමති නැහැ එයා නටන එක නතර කරනවාට. මං ආසයි එයා නටනවා බලා ඉන්න. බිරිඳත් නැතිවුනු එකේ එයා නටනවා බලා හිඳීම තමයි මට තිබුනු එකම සැනසිල්ල.
ලොකු පුතා ආයිමත් සංවිධානයේ රාජකාරියට ගියා. අවාසනාවට 2009 මාර්තු 25 වැනිදා මෝටාර් ප්‍රහාරයකට අහුවෙලා ලොකු පුතා මිය ගියා. එයාගේ දේහයට අවසන් ගෞරව දක්වන්න කියලා අපිව නන්දිකඩාල් මහජන පොල භූමියට එක්ක ගියා. පුතා එක්ක තව එකොලොස් දෙනෙකුගේ මළ සිරුරු බහාලූ පෙට්ටි එතන තැන්පත් කර තිබුනා. පෙට්ටි සීල් කරලා තිබුනේ. තව එකම එක වතාවක් දරුවගේ මූණ බලන ආසාවෙන් මං පෙට්ටියේ පියන අරින්න උත්තසාහ කළාම එතන හිටපු යක්ෂයෝ මාව ඇදලා පැත්තකට තල්ලු කළා. අපි එකතුවෙලා උන්ට ගහන්න පැන්නම උන් අපිට වෙඩි තියනවා කියලා මරණවා කියලා තර්ජනය කළා.
දැන් ලොකු පුතා මැරිලා අව්රුදු දාහතරක්. පොඩිම පුතා කසාදයක් කරගෙන දරුවෙකුත් ඉන්නවා. අවාසනාවට දැන් මගේ ඇස් දෙක පේන්නේ නැහැ. ඒ නිසා මට දැන් මගේ මද්දුමයා නටනවා දකින්න වාසනාව නැහැ. මේක අපේ කර්මය. ඒකට කමක් නැහැ. මේ කසිකබල් යුද්දේ නිසා අපිට මොන තරම් දේවල් නැතිවුනාද? මට මගේ මදුදුමයා නටන සද්දේ ඇහුනත් ඇති. එයා නටන සද්දේ ඇහෙන හැම වෙලාවකම මගේ බිරිඳගෙයි ලොකු පුතාගෙයි මූණු මැවිලා පේනවා. ඒ වෙලාවට මං ඒ දෙන්නගේ ආත්මයන් එක්ක සංගත වෙනවා. දැන් ඒ දෙන්නම මෝක්ෂ සුව විඳිනවාට සැකයක් නැහැ”
–විෂ්ණු වාසු (Vishnu Vàsu), From Kilinochchi
More Stories
මඳ කිපුනු තනි අලියා වට කරගත් සුඳු අලි රෑන
ජගත්කරණය වූ දඹදෙනියේ බයියා
දරැවන් දෙන අමුතු කෝවිල