Last Updated on January 2, 2023 by Lankae Cast
2023 අලුත් අවුරුද්ද අලුත් අධිශ්ඨානයකින් පොදු යහපත වෙනුවෙන් ආරම්භ කරන්න මෙන්න වැඩක්.
පසුගිය මාස කිහිපයේ මා සහ තවත් දෙතුන් දෙනකු විදුලිය ගාස්තු ඉහළ දැමීමට පෙර විදුලිය හා බලශක්ති ඇමති කාන්චන විජේසේකරගෙන් ඉල්ලා සිටි ලංවිම වැටුප් ගෙවීම් ඇතුළු පූර්ණ වියදම් විස්තරය වෙනුවට ඔහු ඉකුත් සැප්තැම්බර, ඔක්තෝම්බර හා නොවැම්බර මාස තුනෙහි ලංවිම වැටුප් ලේඛනයක් ඔහුගේ පෞද්ගලික ට්විට ගිණුමෙහි දින දෙක තුනකට පෙර පළ කර තිබුණා.
අපි මේ අලුත් අවුරුද්ද එතැනින් පටන් ගනිමු.
ඒක සවිස්තර හා පූර්ණ ලේඛනයක් නෙවෙයි. නමුත් ඒ ලේඛනයෙන් මේ වගේ ඉතා වැදගත් කරුණු කාරණා එළියට ගන්න පුළුවන්.

01. මේ 2023 වසරේදී ලංවිම සේවකයින් 1,100 ක් විශ්‍රාම යන බව ඇමතිවරයා කියලා තියෙනවා. එම තනතුරු කිසිවක් සඳහා නැවත පත්වීම් නොකරන බවත් ඇමතිවරයා මාධ්‍යයට කියලා තියෙනවා. සේවක පුරප්පාඩු 1,100 ක් පිරවීමකින් තොරව ලංවිම සේවාවන් පවත්වාගත හැකි නම්, මෙතෙක් නඩත්තු කළ ඒ 1,100 ක සේවක පිරිස අනවශ්‍ය සේවක පිරිසක්. ඔවුන්ගේ වැටුප්, දීමනා, අතිකාල ගෙවීම් ගැන මේ වැටුප් ලේඛනයේ නැහැ.
02. අතිරික්ත 1,100 ක සේවක පිරිසට අමතරව සාමාන්‍ය වැටුප් ගෙවීම් මත “සෘජුව ලබා ගත් ශ්‍රමිකයින්” වෙනුවෙන් රුපියල් මිලියන 1,751.6 ක් වැය කර තියෙනවා. ඊට අමතරව “සෘජු ශ්‍රමික දීමනා” ලෙස සඳහන් කෙරෙන තවත් රුපියල් මිලියන 155.12 ක් තියෙනවා.
03. දියුණු ආයතන කලමනාකරණයට අනුව කලමනාකරණ සේවක වැටුප් හා දීමනා වෙනුවෙන් වැය කරන ප්‍රතිශතය සමස්ථ සේවක වැටුප් ප්‍රමාණයෙන් සියයට 20 ක් හෝ ඊට අඩුයි. වැටුප් ලේඛනයට අනුව කලමනාකරණ සේවක වැටුප් හා දීමනා එකතුව රුපියල් මිලියන 1,429 ක්. එය සේවක වැටුපෙන් සියයට 52 ක් පමණ වෙනවා. ඒ කියන්නේ කලමනාකරණ සේවකයින් සඳහා මණඩලයට ඔරොත්තු දිය නොහැකි වැටුප් හා දීමනා ගෙවන බවයි. එය උපරිමයෙන් රුපියල් මිලියන 650 ක් පමණ විය යුතුව තිබුණා.
04. කලමනාකරණ සේවකයින්ට ගෙවන දීමනා ඔවුන්ගේ වැටුප මෙන් සියයට 50 ට වැඩියි. එසේ දීමනා ගෙවන්නේ ඔවුන්ගේ වැටුප නිල වශයෙන් වැඩි නොකර, මාසිකව අතට ගන්නා මුදල වැඩි කිරීමටයි.
05. පසුගිය මාස 03 හි ලංවිම ගෙවූ දීමනා එකතුව රුපියල් මිලියන 942.6 කි. ඒ දීමනා ගෙවූයේ මොනවටද කියලා සඳහන් වන්නේ නැහැ.
06. අතිකාල ගෙවීම රුපියල් මිලියන 2001.4 ක්. එහෙම යෝධ අතිකාල ගෙවීමක් ගෙවලා, 1,100 ක අතිරික්ත සේවක පිරිසක්ද තියා ගෙන, “සෘජු ශ්‍රමය” ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 1,751.6 ක්ද වැය කරලා. ඒ සියල්ලට අමතරව ලංවිම සේවා කටයුතු ඉටු කිරීමට පෞද්ගලික ආයතන කිහිපයකටම මුදල් ගෙවලා. නමුත් ඒ වියදම වැටුප් ලේඛනයේ නැහැ.
07. ව්‍යවස්ථාපිත ගෙවීම් කියන්නේ අනිවාර්ය නිශ්චිත ගෙවීමක්. එහෙම ගෙවූ මුදල රුපියල් මිලියන 1,522 කි. එය කාට මොනවට ගෙවූ වැටුපක්ද කියලා දන්නේ නැහැ.
ප්‍රවාහනය, ප්‍රාදේශීය ව්‍යාපෘති කාර්යාල කුලී, කාර්යාල ආලෝකකරණය හා වායු සමීකරණය කිරීම්, දුරකතන ගාස්තු, කාර්යාල ලිපි ද්‍රව්‍ය, අධ්‍යක්ෂ මණ්ලයේ නඩත්තුව වැනි අනෙක් පුණරාවර්තන වියදම් වැටුප් ලේඛනයේ සමස්ථ එකතුවට අමතර වියදම්. ඊට අමතරව ප්‍රාග්ධන වියදම්ද තියෙනවා. වැටුප් ලේඛනයේ ඇති අනවශ්‍ය වියදම් දෙස බැලූවම, අනෙක් වියදම් ගැන කියන්නට තියෙන්නේ ඒවායේද ලොකු දූෂණ තියෙන්න පුළුවන් බවයි.
වැටුප් ලේඛනයේ ගෙවීම් බැලුවම,
1. සාමාන්‍ය වැටුප් ගෙවීම් මත ලබා ගත් “සෘජු ශ්‍රමය” වෙනුවෙන් රු.මි. 1,751.6
2. “සෘජු ශ්‍රමික දීමනා” ලෙස ගෙවා ඇති රු.මි. 155.12
3. 1,100 ක අතිරික්ත සේවක පිරිසක් සිටියදී අතිකාල ගෙවීම් රු.මි. 2001.4
4. පිළිගත් කලමනාකරණ රීතියට අනුව දළ වශයෙන් ඉතිරිකර ගත හැකි රු.මි.750
5. ව්‍යවස්ථාපිත ගෙවීම් ලෙස ඇති රු.මි. 1,522
6. අතිරික්ත 1,100 ක සේවක වැටුප්, දීමනා (අතිකාල ?) වැය බර එකතු කරන්න ඒ විස්තර නැහැ
ඒ අනුව, මාස 03 ක අනිසි ගෙවීම් එකතුව රුපියල් බිලියන 06.2 ක් වෙනවා.
අනුමාන වශයෙන් 2022 වසරේ වැටුප්, දීමනා, අතිකාල ගෙවීම් වැනි වියදම් හා අදාල ලංවිම අනිසි ගෙවීම්වල එකතුව රුපියල් බිලියන 25 ක් පමණ විය යුතුයි.
විදුලිය පාරිභෝගිකයින් හැටියට මේ අලුත් අවුරුද්දට දැන් වැඩක් තියෙනවා.
ලංවිම සියලු වියදම් සවිස්තරව මේ ජනවාරි මාසය ඇතුළත ලබා දෙන්න කියලා ඇමතිවරයාට බල කරමු. ගාස්තු වැඩි කරන්නේ නැතිනම් පැය 08 ක් ලයිට් කපනවා කියුව ඇමතිවරයට කියමු, මෙතෙක් අපි ගෙවූ මුදල් වැයකර ඇති ආකාරය ගැන කිසිම පැහැදීමක් නැති නිසා ලංවිම සියලු වියදම් හේතු දැක්වීම් සමග සවිස්තරව ලබා දෙනකම් බිල් ගෙවන්නේ නැහැ කියලා.
මේ තමයි 2023 අලුත් අවුරුද්ද ආරම්භ කරන්න ඇමතිවරයාට දෙන්න පුළුවන් පළමු ජනතා වගකීම.
–කුසල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී/ දේශපාලන විශ්ලේෂක
More Stories
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි