counter hit xanga
March 28, 2023

මහින්දගේ ටොක්ක

Last Updated on October 9, 2022 by Lankae Cast

මහින්ද රාජපක්ෂ ඉස්සරහින් තියාගෙන පොහොට්ටුව කළුතර දී පැවැත්වූ රැස්වීම ලංකාවේ දේශපාලන යථාර්ථය ගැන වැදගත් පාඩමක් කියාදෙනවා.

තවමත් ලංකාවේ දේශපාලන පරිවර්තනයක් හෙවත් සිස්ටම් චේන්ජ් එකක් ගැන සිහිනය දකින්නේ බොහෝ විට අවුරුදු 35ට අඩු වයස් කාණ්ඩයේ නිශ්චිත සමාජ තීරුවකට අයිති පිරිසක් විතරයි.

උපරිමයට ම ගණන් හැදුවත් මේ සමස්ත පිරිස ලංකාවේ සමස්ත ඡන්ද දායක සංඛ්‍යාවෙන් සියයට 30ක් ඉක්මවා යන්නේ නැහැ.

ඉතිරි සියයට 70න් ග්‍රාමීය ඡන්ද පදනමට අයිති සැළකිය යුතු ප්‍රතිශතයක් තවමත් පොහොට්ටුවේ දේශපාලන යන්ත්‍රණයට පහසුවෙන් ගොදුරු කර ගත හැකි තැනක ඉන්නවා. මම හිතන්නේ පොහොට්ටුව මහින්ද ගේ මූලිකත්වයෙන් මෙහෙම දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් තියන්නේ තමන් ගේ ඒ ශක්තිය උරගාලා බලන්නයි.

ඒ කියන්නේ සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, දේශපාලන පත්වීම් ලබාදුන් ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වැනි ආයතනවලට පත් කළ දේශපාලන හෙංචයියන් වැනි පිරිස හරහා ගොඩනැගුණු දේශපාලන යාන්ත්‍රණය පාවිච්චි කරලා පොහොට්ටුවට තමවත් අර කියපු සියයට 70ක් වූ ඡන්ද දායකයන්ට සැළකිය යුතු බලපෑමක් එල්ල කරන්න පුළුවන්.

ඒ පිරිස තවමත් බොහොම ලේසියෙන් ඡන්ද පොරොන්දුවලින්, සිල් රෙදිවලින්, නාග ධාතු ප්‍රදර්ශනවලින්, වශී බෝලවලින්, සෙවිලි තහඩු සහ වැසිකිළි පෝච්චිවලින් නම්මවා ගත හැකියි.

බොහෝ විට ඉස්සරහට මේ විදියේ රැස්වීම් තියමින් මහින්ද තමන් ගේ කණ්ඩායම එක්ක දිස්ත්‍රික් මට්ටමට යයි. දුර්මුඛ වෙල තිබුණ පොහොට්ටුවේ දේශපාලන යන්ත්‍රණය සවිබල ගන්වන්න උත්සාහ කරයි.

ලංකාවේ භූමියේ දේශපාලනය අප හිතන තරමට තවම මෝරා නැති බව මගේ පුද්ගලික තක්සේරුවයි.

හෙට මහ මැතිවරණයක් තිබ්බත් රෝහිත අබේගුණවර්ධන ලා, ජොන්ස්ටන් ලා, නාමල් රාජපක්ෂ ලා, සනත් නිශාන්ත ලා, නිමල් ලන්සා ලා ඡන්ද ලක්ෂ ගණනින් අරගෙන, ඒ දිස්ත්‍රික්වල මනාප ලැයිස්තුවල පළමු වැන්නන් විදියට පාර්ලිමේන්තුවට එනවා.

ඔවුන්ට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් ගන්න බැරි වුණත් ඔවුන් තවමත් පාර්ලිමෙන්තුවේ ඔළුගෙඩි සෙල්ලමක් හරහා බලය පිහිටුවන්නට පුළුවන් තැනක ඉන්නවා.

අරගලය වෙනුවෙන් කොළඹට ආපු මිලියනයක විතර පිරිසක් දැකලා චූන් වෙලා හදිසි මැතිවර‍ණයක් ඉල්ලන එකත්, ඒ මැතිවරණයෙන් පස්සේ මහා ප්‍රාතිහාර්‍යයක් බලාපොරොත්තු වෙන එකත් දේශපාලන ළදරු වලිප්පුවක් කියලා මා මුල ඉඳලම කිව්වේ ඒ නිසයි.

හුඟක් වෙලාවට මේ වගේ ‘ළඟ චූන්’ නිසා සිදුවන්නේ ලංකාවේ දිගුකාලීන දේශපාලන පරිවර්තනයක් සඳහා යන්තමට හෝ ඇති ඉඩකඩ ඇහිරීමයි.

මේකෙන් කියන්නේ ඒ සියයට 70ක පමණ ඡන්ද දායක තීරුව කවදාවත් ම වෙනස් කරන්න බැහැ කියන සෘණාත්මක අදහස නෙවෙයි.

ඒත් ලංකාවේ භූමියේ දේශපාලනය වෙනස් වෙන්නේ ඉතා ම හෙමින්. එහෙම වෙනස් වීමක් කරන්න නම් ලොකු homework එකක් කළ යුතු වෙනවා. හුඟක් මහන්සි වෙලා වැඩ කළ යුතු වෙනවා.

අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය විදියට අනෙක් අලුත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක්ක මේ homework එකට ලෑස්ති වෙනවා. මා හිතන්නේ අපට වඩා විශාල, භූමියේ ස්ථාවර වූ දේශපාලන පක්ෂත් දේශපාලන පරිවර්තනයක් අවංකව බලාපොරොත්තු වෙනවා නම් තරමක් මහන්සි වෙලා මේ වෙනුවෙන් වැඩ කළ යුතුයි.

මේ homework එක කරන්නේ නැතිව ෂෝට් කට්වලින් කාටවත් විභාගය පාස් වෙන්න බැරි බව පැහැදිලියි.

එහෙම හිතන හැමෝටම අන්තිමේ දී විභාග ප්‍රතිඵලය ලැබුණු දාට අඬන්නට සිදුවෙනවා.

මම හිතන්නේ මහින්ද ඊයේ කළේ ලංකාවේ දේශපාලන යථාර්ථය ගැඹුරින් තේරුම් ගන්නේ නැතිව ඉක්මනට මැතිවරණයක් තියලා ජයපැන් බොන්නට ලෑස්ති වෙන අයට පොඩි ටොක්කක් ඇනපු එකයි.

ඒ ටොක්ක අපට දැනට සිටින ෆැන්ටසියෙන් මිදී ඉක්මනින් අවදි වෙන්න දුන්න සංඥාවක් ලෙස තේරුම් ගත යුතුයි.

රසික ජයකොඩි, මාධ්‍යවේදී/ දේශපාලන විශ්ලේෂක