counter hit xanga
March 26, 2023

උතුරේ ජනයා ඝාතනය කරමින් දකුණ සැමරු තෛපොංගල්!

“1985 ජනවාරි16 වෙනි දා ශ්‍රී ලංකා හමුදාවෙන් මගේ සැමියා සහ මගේ පුතා ඇතුළු 17 දෙනෙකු අත්අඩංගුවට අරගෙන වනාන්තරය දිහාවට අරගෙන ගියා. හමුදාව ගෙවල් රාශියක් ගිනි තියලා අපේ දේපළ මංකොල්ලකෑවා.”

Last Updated on February 3, 2023 by Desman Chathuranga

දකුණ විටින් විට ශ්‍රී ලංකාවේ රජයන්ට එරෙහිව විරෝධතා දක්වමින් සිටියි. උතුර දිගින් දිගට ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව අරගල කරමින් සිටියි. පසුගිය දා ශ්‍රී ලංකා රාජ්‍යය විසින් නිර්ලජ්ජී ලෙස යාපනයේදී පවත්වන ලද ‘ජාතික’ තෛපොංගල් උත්සවයට උතුර එරෙහි වීම, දකුණ මෙන් රජයට දැක්වූ පටු විරෝධයක් නොවන බව ද, ඔවුන් සෑම විටම අරගල කරනු ලබන්නේ සිංහල අධිපතිවාදී රාජ්‍යයට එරෙහිව බව ද, දකුණ අවබෝධ කරගත යුතුව ඇත. මෙවර තෛපොංගල් උත්සව දිනයේ දී ද රාජ්‍ය ආරක්ෂක අංශ විසින් දෙමළ ජනතාවට පහර දෙද්දී, මීට වසර 38 කට පෙර සිදු වූ තෛපොංගල් දින ඛේදවාචකයක් අපි ආවර්ජනය කර සිටිමු.

මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් – වවුනියාව මාර්ගයේ පිහිටා ඇති මුල්ලියාවලෙයි ගම්මානය සාරවත් භූමියක් සහිත පුරාණ දෙමළ ගම්මානයක් වූ අතර එහි පැරණි ජන සංස්කෘතික ලක්ෂණ කාලයක් තිස්සේ සුරැකී පැවතුණි. 1985.01.16 වෙනිදා තෛපොංගල් දිනට පසු දිනය වූ අතර එදින උත්සව දිනයක් විය. තෛපොංගල් යනු සූර්යයාට ස්තුතිය පුද කිරීමේ උත්සවයක් වන අතර ඊට පසු දින දී ගොවි ජන ජීවිතයට උපකාරී වන ගොවිපල සතුන්ට ගෞරව කිරීම සිදු කරනු ලබයි. එදින අලුයම 4ට ශ්‍රී ලංකා හමුදාව විසින් මුල්ලියාවලෙයි ගම්මානය වටලන ලදී.

හමුදාව විසින් ගම්වැසියන් 17 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් එක් අයෙක් ගැබිණි කාන්තාවක් වූවාය. තවත් අයෙක් දරුවන් තිදෙනෙකුගේ තරුණ මවකි. ගම්මානයෙන් පිටත්ව යාමට පෙර හමුදාව විසින් නිවාස රාශියක් ගිනිබත් කරන ලදී. විනාඩි 30කට පමණ පසු ගම්වාසීන්ට වෙඩි හඬවල් කිහිපයක් ඇසිණි. අත්අඩංගුවට ගත් 17 දෙනාම ඝාතනය කර ඇති බවට ආරංචි පැතිර යන්නට විය. අත්අඩංගුවට ගත්තවුන්ගේ ඥාතීන්ට, ගම්වැසියන් මෙම ආරංචිය සැලවීම පමා කරන්නට උත්සාහ කළහ.

මද වෙලාවකින් හමුදා රථ මුලතිව් නගරය දෙසට ගමන් කරන්නට විය. තම ආදරණීයයන් සොයමින් සිටි ඥාතීන් හමුදා රථ දෙස බලා සිටියහ. පසුදින වනතුරුත් තම ආදරණීයයන් ආපසු නොපැමිණි බැවින් ප්‍රාදේශීය සාම විනිසුරුවරයෙකු වූ ත්‍යාගරාජා ද කැටුව එම ඥාතීන් මුලතිව් හමුදා කඳවුරට ගියහ.

එහිදී තම සමීපතමයන්ගේ සිරුරු බිම තිබෙන ආකාරය එම පවුල්වල ඥාතීන් විසින් දක්නා ලදී. මෘත සිරුරුවල ඇඳුම් තිබුණේ නැත. අත්, කකුල් සහ හිස් කපා දමා තිබුණි. බොහෝ වධ හිංසා පමුණුවන ලද බවට සලකුණු, නිරුවත් මළ සිරුරු මත විය. එක් කාන්තාවකගේ සිරුරේ සිගරැට් පිළිස්සුම් තුවාළ රැසක් තිබුණි. තම සමීපතමයන්ගේ සිරුරු රැගෙන යාමට ලබා දෙන ලෙස ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ඉල්ලා සිටි විට, මියගිය අය ත්‍රස්තවාදීන් බවට ප්‍රකාශයක් අත්සන් කරන ලෙස හමුදාව ඔවුන්ට අණ කළහ. ඥාතීන් එය ප්‍රතික්ෂේප කළ විට හමුදාව ඔවුන්ට මළ සිරුරු භාරදීම ප්‍රතික්ෂේප කරන ලදී.

මුල්ලියාවලෙයි ග්‍රාමයේ තවරත්නම් තිලකාවතී වසර ගණනාවකට පසු මෙසේ පවසයි. “1985 ජනවාරි16 වෙනි දා ශ්‍රී ලංකා හමුදාවෙන් මගේ සැමියා සහ මගේ පුතා ඇතුළු 17 දෙනෙකු අත්අඩංගුවට අරගෙන වනාන්තරය දිහාවට අරගෙන ගියා. හමුදාව ගෙවල් රාශියක් ගිනි තියලා අපේ දේපළ මංකොල්ලකෑවා.”

එම ග්‍රාමයේ පුෂ්පරාණී පවසන්නේ, “ශ්‍රී ලංකා හමුදාව අපේ ගෙදරට ඇතුළු වෙලා මගේ මල්ලිවයි අම්මවයි අත්අඩංගුවට අරන් දෙන්නවම මැරුවා. හමුදාව කිව්වේ එයාලව මැරුවෙ ඒ අය කොටි නිසයි කියලා. කුමාරසාමි විජයකුමාරි නමැති හත් මසක ගැබිණි කාන්තාවකුත් මැරුවා. මෙතන ඉන්න අපි ගොඩක් දෙනෙක් මේ සිද්දියෙන් බොහෝ පීඩා වින්දා. තෛපොංගල් උත්සවයට පස්සෙ දවසෙ මෙය සිද්ද වුණු නිසා අපි තවමත් තෛපොංගල් සමරන්නේ නැහැ” යනුවෙනි.

ශ්‍රී ලංකා හමුදාව විසින් මෙසේ සමූහ ඝාතනයට ලක් කළ නාගරත්නම් ශ්‍රීකාන්තරාසා (35), තම්බයියා විවේකානන්දම් (17), සින්නප්පන් අන්නලක්ෂ්මි (35), සුප්පන් සින්නන් (40), පිලිප්පයියා යෝගරාසා (17), සෙල්ලදුරෙයි කුමාරසාමි (35), සෙල්ලදුරෙයි නවරත්නම් (38) කුමාරසාමි විජයකුමාරි (27) මාර්ක්කණ්ඩු තද්සනමූර්ති (19), තම්බයියා බාලසුබ්රමනියම් (30), නවරත්නම් තයාපරන් (15) ඇතුළු සහෝදර ජනතාව මෙම අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කරනු ලබන අතර, ඔවුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනතාවකගේ දිවි පිදීම්වලට යුක්තිය ඉටුකිරීම පිණිස, නිමා නොවූ දෙමල ජාතික අරගලයේ දේශපාලන අභිලාශයන් අවම වශයෙන් හෝ ඉටු කරගැනීම උදෙසා සිංහල සමාජය සහයෝගය පළ කළයුතුව ඇත.

  • තක්ෂිලා ස්වර්ණමාලි
    North-East Secretariat On Human Rights විසින් ප්‍රකාශිත Massacres of Tamils 1956 – 2008 කෘතිය ඇසුරෙනි.