counter hit xanga
October 22, 2021

රණවිරු ගාය හැදු අයට ජනපති දුන්න බෙහෙත!

Last Updated on May 9, 2021 by Panduka Herath

කලක් තිස්සේ උඩු දුවමින් පවතින ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධ අර්බුදය සම්පූර්ණයෙන්ම විසදීම සදහා අවශ්‍ය පියවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගෙන තිබේ.ඒ අනුව ත්‍රස්තවාදී හේතු නිසා මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගෙන තිබේ.

රණවිරුවන් ඔවුන්ගේ ජීවිත කැප කළේ සහ ආබාධිත තත්ත්වයට පත්වූයේ සියලු ජාතීන්ට නිදහස් සහ නිවහල් දේශයක් උදාකර දීම වෙනුවෙනි. ඒ නිසාම රජයක වගකීම හා යුතුකම වන්නේ ඔවුන් වෙනුවෙන් සැපයිය හැකි සියලු පහසුකම් ලබාදීම බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබිනි.

එය ක්‍රියාවට නංවමින් රණවිරුවන් වෙත සහන සැලසීම සඳහා වූ යෝජනා 07ක් සහිතව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකට අප්‍රේල් 27 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වි තිබේ. ඒ අනුව යෝජිත සහන අනුමැතිය ලද දින සිටම ගෙවීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රණවිරුවන් පාරට ආවේ තමන්ට ජිවත් විමට ඇති අයිතිය වෙනුවෙන් අවශ්‍ය වැටුප ඉල්ලාගෙනය.ඒම අවස්ථාව විවිධ දේශපාලඥයන් හාස්‍යට ලක්කිරිමට කටයුතු කල අතර ඒ නිසාම රණවිරුවන් ගාය නමින් අලුත් නිර්මාණයක්ද රටතුල බිහිවිය. විපක්ෂයේ ඇතැම් කුහකයන් රණවිරු ගාය ගැන කියමින් විවිධ අවස්ථාවල රණවිරුවන්ද හාස්‍යයට ලක්කිරිම නිසාම අවසානයේ විපක්ෂයට අත්වු ඉරණමක අමුතුවෙන් කිවයුතු නැත.

රට වෙනුවෙන් ජීවිත පූජා කළා වූ විසිහත්දහසක් පමණ වන වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් මෙන්ම පහළොස් දහසක් පමණ රණවිරුවන් රට වෙනුවෙන් සටනට ගොස් සදාකාලික අබාධිතයන් වී සිටින්නේද උපන් බිමට විමුක්තිය දිනා දීම සදහා ඔවුන් තුළ තිබූ නොපසුබට ගාය නිසා බව රටේ මිනිසුන්ට කිසි දිනක අමතක නොවනු ඇත.

එසේම ඒ ගායට නිසි අරුතක් දෙමින් උපන් බිම බේරා ගන්නට තිස් වසරක් ඇවෑමේ රණවිරුවාට ශක්තිය දුන්, යලිත් ශක්තිය දුන් එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබිම එක් අතකට දෛවයෝපගතය.

දැන් රණවිරුවන්ට සෞභාග්‍යය උදාවි තිබේ. එනිසා පත අට එකට නොව භාගෙට සිදුවා ගෙන ආවද කිසි විටෙකත් ඒ රණවිරු ගායට බෙහෙත් දෙන්නට දැන් කිසිවකුටත් නොහැකිය.

මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන

01- ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මිය ගිය විවාහක ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන්ගේ වැන්දඹුවන් වෙත, මිය ගිය සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනට හිමිගන්වන ලද වැටුප් හා දීමනාවල එකතුව නොවනස්ව වැන්දඹුවන් ජීවත්ව සිටින තෙක් ගෙවීම.

02- ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මිය ගිය විවාහක/ අවිවාහක ත්‍රිවිධ හමුදා/පොලිස් සාමාජිකයන්ගේ දෙමාපියන් වෙත සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දින සිට දෙමාපියන් ජීවත්ව සිටින තෙක් රුපියල් 25,000ක මාසික දීමනාවක් හිමි ගැන්වීම.

03- ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වෙත මේ වන විටත් ජීවිතාන්තය දක්වා ගෙවන වැටුප් හා දීමනා ඔවුන් මිය ගිය විට ඔවුන්ගේ යැපෙන්නන් වෙත ගෙවීම.

04- ත්‍රස්ත ක්‍රියා නොවන වෙනත් මෙහෙයුම් රාජකාරීවල යෙදී සිටියදීත් ආබාධිත ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වෙත සහ මිය ගිය සාමාජිකයන්ගේ යැපෙන්නන් වෙත අදාළ සිදුවීම් පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂා කර බලා එම අයවලුන් සහ යැපෙන්නන් වෙතද වයස 55 සම්පූර්ණ වූ දිනට හිමි වූ වැටුප් හා දීමනා නොවෙනස්ව හිමි ගැන්වීම.

05- පැවති යුදමය වාතාවරණයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ පශ්චාත් යුද ක්‍රියාකාරකම් (පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම වැනි ) කාර්යයක නිරත වීමේදී ආබාධිත වූ/ මිය ගිය ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වෙත අදාළ සිදුවීම පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂා කර බලා එම අයවලුන් හා යැපෙන්නන් වෙත ජීවිතාන්තය දක්වා වයස 55 සම්පූර්ණ වූ දිනට හිමි වූ වැටුප් හා දිමනා නොවෙනස්ව හිමි ගැන්වීම.

06- ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වයස අවුරුදු 55 සම්පූර්ණවීමට පෙර මිය ගියහොත් ඔවුන් අවුරුදු 55 තෙක් ජීවත්ව සිටින්නේ යැයි සලකමින් ඒ දක්වා වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත හිමි ගැන්වීම.

07- ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව එම ආබාධිත බවින් ඇති වූ මානසික ව්‍යාකූලතාවයක් නිසා සියදිවි නසාගත් සාමාජිකයෙකුට (වයස 55 තෙක්) අයත් වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත හිමි ගැන්වීම.