counter hit xanga

කොරෝනා ජයගන්න හැටි නාමල් කියයි!

Last Updated on May 24, 2021 by Desman Chathuranga

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට මේ රටේ ජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ව කටයුතු කළ යුතු බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.සංචරණ සීමා හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින ජනතාවගේ සුව දුක් සොයා බැලීමට ඊයේ (23) නිරීක්ෂණ චාරිකා කිහිපයක නිරත අමාත්‍යවරයා වනාතමුල්ල නිවාස සංකීර්ණයේ දී මෙම අදහස් පළ කළා.

මුවදොර උයන ග්‍රෑන්පාස් නිවාස සංකීර්ණය, මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණය, මෝදර සත්හිරු සෙවණ නිවාස සංකීර්ණය, මාළිගාවත්ත සත්සෙත සෙවණ නිවාස සංකීර්ණය සහ බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ අමාත්‍යවරය නිරීක්ෂණ චාරිකාවල නිරත වූනා.

අදාළ නිවාස සංකීර්ණවලට ගිය අමාත්‍යවරයා එම නිවැසියන් සමඟ සුහඳ කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු හඳුනාගත් අතර වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනක් ද සංකේතාත්මකව ආරම්භ කළේය.

මෙම මහල් නිවාස සංකීර්ණවල පවතින සනීපාරක්ෂක හා යටිතල පහසුකම් සංවර්ධනය කර දෙන ලෙසත් රැකියා සහ ආදායම් මාර්ග අඩාල වීම හේතුවෙන් රජයට මාසිකව ගෙවිය යුතු කුලී මුදල් සම්බන්ධ සහනයක් ලබා දෙන ලෙසත් නිවැසියෝ අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක්ද කර තිබේ.එම ඉල්ලිම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට ඒ සඳහා සුදුසු විසඳුමක් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එහිදි අදහස් පලකල නාමල් රාජපක්ෂ

සංචරණ සීමා තුළදී නිවෙස්වල රැඳීසිටින ජනතාව මුහුණ පාන ගැටලු සහ ඒ සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට නම් අපි ඒ ජනතාව සමඟ කතාබහ කළ යුතුයි. ඔවුන් සමඟ සම්බන්ධවී පවතින තත්ත්වය පිළීබඳ ඔවුන් දැනුවත් කිරීමත් කළ යුතු වෙනවා.

කොරෝනා වසංගතය ලෝකයම මුහුණදෙන වසංගත තත්ත්වයක් මිස අපේ රටට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. කුඩා ආර්ථීකයක් තිබෙන රටවල් සමඟ එක්ව මෙම වසංගතය පාලනය කිරීමට එක්වන්නැයි ආසියාතික රටවලට සහ ලෝක බලවතුන්ට අතිගරු ජනාධිපතිතුමා පසුගියදා ආරාධනා කරනු ලැබුවා.

රටක් ලෙස අපි ඉතාමත් සාර්ථකව මෙම කොරෝනා තත්ත්වය පාලනය කර තිබෙනවා. කොරෝනා යුද්ධය පාලනය කිරීම හා ආර්ථීක යුද්ධය ජයග්‍රහණය කිරීම සම්බන්ධව රටක් ලෙස අපි පැහැදිලි ස්ථාවරයක සිටිනවා.

කොවිඩ් -19 එන්නත්කරණය අතින් ද ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස අපේ රට හඳුන්වාදිය හැකියැයි ද අමාත්‍යවරයා පැවසීය.