counter hit xanga
March 26, 2023

ඇවන්ගාඩි නිදොස් කොට නිදහස්!

Last Updated on May 21, 2021 by Desman Chathuranga

නීතිවිරෝධි ලෙස ලංකාවට ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා 19 යටතේ පවරා තිබූ නඩුවෙන් ඇවන්ගාඩි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් නිශ්ශංක සේනාධිපති ඇතුළු වගඋත්තරකරුවන් 8 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කළා.

ඇවන්ගාඩ් නඩුව ලෙස ප්‍රසිද්ධියට පත් ව තිබු මෙම නඩුවේදි ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ප්‍රධාන කොට ගනිමින්, 2014 අප්‍රේල් 07 වෙනි දා සිට 2015 ඔක්තෝබර් මස 06 වෙනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද, හික්කඩුව සහ කොළඹදි නීත්‍යානුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රිය ගිනිඅවි සහ උණ්ඩ ලඟ තබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව ටී- 56, 84 එස් සහ එල්. එම්. ජී වර්ගයේ ගිනිඅවි 816 සහ උණ්ඩ 2,02,935 ක් නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව ලඟ තබා ගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 දා සිට 2015 ඔක්තෝබර් 06 වෙනි දින දක්වා ඉන්දියන් සාගරය, රතු මුහුද, හික්කඩුව සහ කොළඹදි නීත්‍යානුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රිය ගිනිඅවි සහ උණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුමණ්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා 19 ගොනු කොට තිබුණා.

මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ සභාපතිත්වයෙන්, ආදිත්‍ය පටබැඳිගේ හා මංජුල තිලකරත්න යන අනෙකුත් මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලය සමන්විත වූ අතර 2020 වර්ෂයේ සැප්තැම්බර් මස 02 වෙනි දින සිට විභාගයට ගනු ලැබීය.