counter hit xanga
June 14, 2021

තත්ත්වය හොදයි! එන්නත් මිශ්‍ර කිරීමේ ගැටලුවක් නැහැ!

දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවලින් සාර්ථක ප්‍රතිඵල පෙනෙන්නට තිබෙන බවත්, පරීක්ෂණ සඳහා ලැබෙන නියැදිවලින් ආසාදිතයන් හමුවීම ද අඩු වී ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

රටේ පැතිර ඇති නව කොරෝනා වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණ ගැන තොරතුරු හෙළි කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කළේ ඉදිරි මාස කිහිපයේදී මෙරටින් ආසාදිතයන් හමුවීම සහ COVID මරණ අඩු වේ යැයි බලාපොරොත්තු තැබිය හැකි බවයි.

“නව පරීක්ෂණවලින් අලු‍ත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. නව සැර කොරෝනා වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ ගණනාවකින් හමු වුණා. ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයා හමු වී ඇත්තේ සමාජයෙන් නොවෙයි. ඔහු හමුවෙලා තියෙන්නෙ වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින්. ඒ නිසා ඔහුගෙන් සමාජයට බලපෑමක් නැහැ. මීට පෙරත් ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයකු හමු වුණා. ශ්‍රී ලංකාවේ රෝගය දැනට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ ප්‍රභේදය පදනම් කරගෙනයි.

මෙරට රෝගීන් ගැන ජාන විශ්ලේෂණ පරීක්ෂණ වැඩි කරල තියෙනවා. ඒ සඳහා අපට එංගලන්තයෙන් විශේෂ ආධාරයක් ලැබුණා. ඒක ජාන විශ්ලේෂණ විශේෂ උපකරණයක්. දැන් අපට අපේ ධාරිතාව විශාල ලෙස වැඩි කරන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අපට අවශ්‍ය සියලු ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. ජාන විශ්ලේෂණ පරීක්ෂණ ඉදිරියේදී දෙතුන් ගුණයකින් වැඩි කරන්න පුළුවන් වේවි.

නව විකෘති ඇති වෙනවා ද නව ප්‍රභේද ඇති වෙනවා ද කියලා ඒවායින් සොයාගත හැකි වේවි. ඒක තමයි දැනට තිබෙන නවතම වාර්තාව. එංගලන්ත ප්‍රභේදය අප අධ්‍යයනය කරපු එකක්. මේකෙ පැතිරීම සියයට 50කින් පමණ වැඩියි. දරුණුභාවයත් සියයට 50කින් පමණ වැඩියි.

ශ්‍රී ලංකාවේ ප්‍රභේදය යටපත් කරගෙන දැන් මේ එංගලන්ත ඇල්ෆා ප්‍රභේදය මතුවෙලා තියෙනවා. මේ ප්‍රභේදය තමයි දැන් ලංකාවේ හැමතැනම පැතිරිලා තියෙන්නේ. ඒක තමයි ප්‍රමුඛ වී තිබෙන්නේ. දැනට ලංකාවේ ප්‍රධාන එන්නත් තුනක් පාවිච්චි වෙනවා. සයිනොෆාම්, ස්පුට්නික්, ඇස්ට්‍රාසෙනිකා එම එන්නත් තුනයි. මේ එන්නත් තුනම ඇල්ෆා ප්‍රභේදයට එරෙහිව ක්‍රියාත්මක වනවා. ප්‍රතිශක්තිය ලබාදෙනවා.

එන්නත් මිශ්‍ර කිරීම ගැන ලෝකයේ විවිධ රටවල පරීක්ෂණ කෙරෙනවා. දැනට ලැබිලා තියෙන්නෙ ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් මිශ්‍ර කිරීම පිළිබඳ වාර්තා පමණයි. ඒ මිශ්‍ර කිරීම්වලින් හොඳ ප්‍රතිශක්තියක් ඇති වෙන බව, ප්‍රතිදේහ ගුණයක් ඇති වෙන බව සොයාගෙන තිබෙනවා. එලෙස මිශ්‍ර කිරීමේ ගැටලුවක් නැහැ. මිශ්‍ර කිරීමේ ක්‍රමවේදය COVID එන්නත් සඳහාපමණක් නොව වෙනත් එන්නත් සඳහාත් භාවිත කෙරෙනවා. ඉබෝලා සහ එච්.අයි.වී. සඳහා භාවිත කරන එන්නත් දැනටමත් මිශ්‍ර කරනවා.

ඕස්ට්‍රේලියාවට ඉන්දීය ප්‍රභේදය රැගෙන ගිය පුද්ගලයා ලංකාවට පැමිණි පුද්ගලයකු නොවෙයි. ලංකාව හරහා ගිය පුද්ගලයකු පමණයි. අප ඒ ගැන සොයා බැලුවා. ලංකාව තුළට කිසිම විටෙකත් ඇතුළු වී නැහැ. ඒක ඉතාම පැහැදිලියි. ඒ ගැන කිසිම බියක් ඇති කරගන්න එපා. ඒ පුද්ගලයා ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ වෙනත් රටක ඉඳලයි.