counter hit xanga
March 28, 2023

චීනයෙන් ඇමරිකාවට දැනුම් දීමක්

Last Updated on February 16, 2023 by Dheerasinghe

ඒකපාර්ශ්වික සම්බාධක අයුතු ලෙස ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(16) පැවති මාධ්‍ය හමුවේදී මේ ඉල්ලීම ඉදිරිපත් කළේය. පසුගිය 14වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල වෙබ් අඩවියේ විශේෂඥයන්ගේ ප්‍රකාශයක් නිකුත් කර ඇත. එම ප්‍රකාශයට අනුව, ඇමරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් ඉරානයේ තැලසීමියා රෝගීන්ට ආනයන ඖෂධ ලබා ගත නොහැකි වූ අතර ඉන් විවිධ සංකූලතා හා මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා විය. ජාත්‍යන්තර නීතියට අනුව, ඇමරිකාව පනවා ඇති එම ඒකපාර්ශ්වික සම්බාධක ඇමරිකාවෙන් පිට ක්‍රියාත්මක කිරීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ සැකයක් තිබේ.

මේ සම්බන්ධයෙන් වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක සිට ජාත්‍යන්තර නීතියේ පදනමින් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව, ඇමරිකාව ඉරානය ඇතුළු රටවල් වලට අයුතු ලෙස නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක පනවා ඇති බවයි. වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට දරුණු ලෙස මැදිහත් වී අදාළ රටවල මානව හිමිකම් විනාශ කර ඇත.ඉන් දරුණු මානුෂීය ව්‍යසන මතු වූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය , මූලධර්ම සහ ජාත්‍යන්තර නීතියට දැඩි ලෙස අනුගත වන ලෙසත්, නීතිවිරෝධීව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.