counter hit xanga
March 26, 2023

OMP සභාපති කිව්වේ අමු බයිලාවක්!

Last Updated on October 30, 2022 by Desman Chathuranga

යුද හමුදාවට භාර වූවන් අතුරුදහන් කළ බවට කිසිදු සාක්ෂියක් නැතැයි අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්‍යාලයේ නව ප්‍රධානි මහේෂ් කටුලන්ද ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය අමු බයිලාවක් බව අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කරනවා.

ඔහු ඒ බව සඳහන් කළේ අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවක් දියත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“පනහක් ඉන්නවය පිටරට, සමහර අය එල්.ටී.ටී.ඊ එකෙන්ම මරා දාලා කියලා. මං කියනවා මේවා බයිලා. මොකද බයිලා කියන්නේ ඒ දෙමව්පියෝ ඉතා පැහැදිලිව අතින් දුන්නේ. ඉතින් අතුරුදහන් කාර්යාලයේ සභාපති ඒ වගේ ප්‍රකාශයක් කරනවා නං කොයි මිනිහද මේ කාර්යාලයට පැමිණිල්ලක් කරන්නේ විශ්වාස සහගතව.” බ්‍රිටෝ ප්‍රනාන්දු ප්‍රශ්න කර සිටියා.

ආණ්ඩුවට අවශ්‍ය ප්‍රකාශ OMP සභාපති සිදු නොකළ යුතු බව පෙන්වා දෙන මානව හිමිකම් ක්‍රියාධරයා අවධාරණය කරන්නේ බලයට පත් වු සෑම ආණ්ඩුවක්ම තමන් විසින් සිදු කරන ලද ඝාතන වසං කිරීමට  මෙවැනි ප්‍රකාශ කළ බවයි.

“මේකෙදී ඇත්ත කියන්න. ආණ්ඩුවට උවමනා දේවල් කියන්න නෙමෙයි. මේ කතාව කියන්නේ ආණ්ඩුව. ආපු හැම ආණ්ඩුවක්ම මේ මගුල තමයි කිව්වේ. ඇයි? තමන් මරා දාපු මිනිස්සු මැරුනා කියන්න මේ ආණ්ඩු වලට කොන්ද නෑ. එහෙව් උන් කියනවා මේ මේ ඕක බොරු කියලා. “

සභාපති මහේෂ් කටුලන්ද පවසන විදේශගත 50 දෙනා හෙළි කරන ලෙස බ්‍රිටෝ ප්‍රනාන්දු අභියෝගයක් එල්ල කළා.