counter hit xanga
February 3, 2023

IMF: කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගසාගෙන ගියා වගේ!

Last Updated on September 6, 2022 by Lankae Cast

ආණ්ඩුව කන්දක් විළිලා මී පැටියෙක් වැදුවා වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) සමග මාස පහක් පමණ සාකච්ඡා කොට අවසානයේ ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකමක් (Extended Fund Facility (EFF) ) ලබා ගෙන තිබෙනවා. මම එය අගය කරන අතර මේ ලිපි මාලාවේ අරමුණ එම IMF විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධව කෙටියෙන් සාකච්ඡා කිරීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකා රජයට ලබා දී ඇති කොන්දේසි 7න් පළමු කොන්දේසිය මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට ලබා දෙන්නේ SDR (Special Drawing Rights හෙවත් විශේෂ විනිමය හිමිකම්) නැමැති හුවමාරු විනිමය ඒකකයක්. ඒ අනුව ලංකාවට SDR බිලියන 2.2 (අමෙරිකානු ඩොලර් බිලියන 2.9 කට සමාන මුදලක්) විශේෂ හිමිකම් අයිතියක් ලබා දී තිබෙනවා. (https://www.ft.lk>front-page>44-739476)
SDR ණය පොලිය ඉතා නාමික අගයක් ගන්නා අතර එය අදාල හුවමාරු මුදල් ඒකකය මත දෛනිකව තීරණය වෙනවා. එය සාමාන්‍යයෙන් 1.6% වැනි අගයක් ගත හැකියි. (https://www.imf.org>external>fin>data>sdr_ir.aspx)

බොහෝ මැති ඇමැති වරු පසුගියදා අයවැය කතාවේදී අදහස් දැක්වූ ආකාරයට ඔවුන් හිතාගෙන ඉන්නේ IMF එකෙන් අපිට ඩොලර් මිටි ලබා දේවි කියලයි. එසේ වන්නේ නැහැ. SDR කියන්නේ විනිමය සංචිතයක් කිව්වොත් නිවැරැදියි. SDR වලින් වාහන මිල දී ගන්න, ණය ගෙවීමට, මහාමාර්ග හදන්න පාවිච්චි කල නොහැකියි. SDR ඒකකයක වටිනාකම ගණනය කිරීම සාමාජික රටවල් සමග ගනුදෙනු කිරීමේදී ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක 5 ක් වන අමෙරිකානු ඩොලරය, යූරෝ, යුආන්, යෙන්, සහ බ්‍රිතාන්‍ය පවුමේ (Basket of world’s five leading currencies ) දෛනික අගය මත තීරණය කරණු ලබනවා. රටේ SDR සංචිතයක් තිබීමේ වැදගත් කම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවල් සමග ගනුදෙනු කිරීමේදී අප මූල්‍යමය අතින් ශක්තිමත් (Financially Resilient) බව හැඟවීම පමණයි. (https://www.imf.org>Topics>special-drawing-right)

මෙම ඩොලර් බිලියන 2.9 ලංකාවට ලැබෙන්නේ අවුරුදු 4 ක කාල සීමාවකට වන අතර සෑම මාස 6 කට වරක් (වාරික 8ක්) ලංකා රජය විසින් IMF නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු ලබා දෙනු ලබනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි වසර 4 තුල රජය විසින් ක්‍රියාත්මක කල යුතු නිර්දේශ 7ක් ලබා දී තිබෙනවා. මින් සමහරක් ඉතා ජනප්‍රිය නොවන තීරණ බවද කිව යුතුයි.

මීට පෙර ලංකා රජය 16 වතාවක් IMF ගොස් තිබෙනවා. ඉන් ඔවුන්ගේ සියළු කොන්දේසි සම්පූර්ණ කොට ඇත්තේ 6 වතාවක් පමණයි. ඉන් ඔබට පැහැදිලි වනවා ඇති ඒවා කෙතරම් ජනප්‍රිය නොවන තීරණද බව. එකල ලංකාවේ ආර්ථිකය මෙතරම් පිරිහී තිබුණේ නැහැ. එහෙත් මෙවර , රට බංකොලොත් තත්ත්වයක සිටින විට ලැබෙන කොන්දේසි කෙතරම් අප්‍රසන්න වේවිද?

කෙසේ වෙතත්, මේ ආකාරයට අපිට ලැබෙන එක් වාරිකයක් ඩොලර් මිලියන 363 ක් පමණ වෙයි. සාමාන්‍යයෙන් විදේශ ශ්‍රමිකයන් ලංකාවට මාසයකට ඩොලර් මිලියන 500 ක මුදලක් එවපු කාලයක් 2020/21 වර්ෂය පමණ වනතෙක් තිබුණා. මේ වන විට පවතින රජය කෙරෙහි විදේශ ශ්‍රමිකයන් විශ්වාස නොකළත් පසුගිය ජුලි මාසයේදී පවා ඩොලර් මිලියන 279.5 ක් ලංකාවේ බැංකු පද්ධතිය හරහා ඔවුන් එවා තිබෙනවා (https://www.cbsl.gov.lk>workers-remittances>statistics)
එසේනම්, IMF මාස 6 කට වරක් ලැබෙන වාරිකයට වඩා ලංකාවට මාස 6කදී ලැබෙන විදේශ ප්‍රේශන වැඩි බව ඔබට පේනවා ඇති. ඒ වගේම, ලංකාවට ඉන්ධන ආනයනයට පමණක් මසකට ඩොලර් මිලියන 350-400 අවශ්‍ය වෙනවා.

එසේනම්, ඔබ කල්පනා කරනවා ඇති කුමකට අපි IMF යන්නේද කියලා ?

IMF මූල්‍ය පහසුකම මේ අවස්ථාවේ වැදගත් වන්නේ එක්තරා ආකාරයකට අපගේ ණය හිමියන් අතර අප කෙරෙහී කිසියම් විශ්වාසයක් ගොඩනැගීමට යි. මෙම IMF ණය ඉතා සුළු මුදලක් වුවත් (ලංකාවේ සමස්ත දේශීය හා ව්දේශීය ණය ඩොලර් බිලියන 100.9) එය හරියට බැංකුවක ස්ථාවර තැන්පතුවක් තිබෙනවා වගෙයි. ඒ තුල භාහිර පාර්ශවයන්ට ලංකාව යම් තරමකට financially resilient (මූල්‍ය අතින් ස්ථාවර ) බව සහ ඔවුන්ට යම් විශ්වාසයක් ඇති වීමට ඉඩ තිබෙන අතර අපගේ නොමනා හැසිරීම් පාලනය කිරීමට IMF අප දිහා බලා සිටින බව ඔවුන් මේ හරහා දකිනවා. ඊට අමතරව ලැබී තිබෙන බිලියන 2.9 ණය යම් ආකාරයකට ආරක්ෂිත තැන්පතුවක් (Reserve ) ලෙස තිබෙන අතර එය හරියට ඇපකරයක් හා සමාන මූල්‍ය උපකරණයක් ලෙස හැඳින්විය හැකියි. එය සාමාජික රටවල් අතර හුවමාරු ඒකකයක් ලෙස යොදා ගත හැකිවීම තුල කිසියම් වටිනාකමක් ආරෝපණය වෙනවා.

කෙසේ වෙතත්, IMF මෙම බිලියන 2.9 ලබා දීමට ලංකාවේ රජයට නිර්දේශ 7 ක් ලබා දී තිබෙනවා. මේවා අභියෝග කිව්වොත් නිවැරැදියි. මේ නිර්දේශ බොහෝමයක් සීනි තැවරූ (Sugar Coated) තිත්ත කසාය බව බොහෝ අයට ඉදිරියේදී තේරේවි. ඔවුන්ගේ පළමු නිර්දේශය පිළිබඳ පැහැදිලි කරගනිමු.

  1. රජයේ ආදායම වැඩි කර ගැනීමට කටයුතු කල යුතු අතර 2025 වන විට ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2.3% මට්ටමට ලඟා විය යුතුයි. ඒ අනුව බදු පදනම පුළුල් කිරීමට නිර්දේශ කරන අතර රජයේ වියදම් සීමා කල යුතු වෙනවා.

ඒ අනුව පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කල අයවැය මගින් (අයවැය කතාව පිටුව 6 ඡේද අංක 7.1) විදුලි සංදේශ බදු වැඩි කිරීමට යෝජනා කරනවා. මේ වන විටත් 20%-25% අතර ප්‍රතිශත වලින් වැඩි කොට තිබෙනවා. ඒ වගේම, VAT බද්ද 15% දක්වා වැඩි කරනවා (7.2). තවත් 2/5% ක වෙළෙඳ පිරුවැටුම් බද්දක් අයවැයට පිටින් යෝජනා කොට තිබුණා. මේවා සියල්ල වක්‍ර බදු වන අතර ඔබ මිල දී ගන්නා සෑම භාණ්ඩ හා සේවාවක් සඳහා මෙම බදු ගෙවිය යුතු වෙනවා.

රටක ජනයා බදු ගෙවිය යුතුයි. එය සාධාරණත්වයේ මූලධර්මය (Fairness in Application) අනුව සිදුකල යුතුයි. (https://accountingtools.com>articles>taxation-principles.html) ඒ අනුව, රටේ එක් කණ්ඩායමකට විශේෂ සැලකීමක් නොකළ යුතු වන අතරම පාලකයන් විසින් එක් කණ්ඩායමක් ආරක්ෂා කිරීමට තවත් කණ්ඩායමක් බිලි දීම නොකළ යුතු බව බදු කරණයේ පිළිගත් සිද්ධාන්තයක්.

එහෙත්, මෙම අයවැයේ බදු යෝජනා එම සිද්ධාන්තය උල්ලංඝනය කොට තිබෙනවා . එය ලංකාවේ දිගටම පැවති තත්ත්වයක්. අයවැයේ ඔබගේ ආදායම් වැඩි කිරීම සඳහා කිසිදු යෝජනාවක් ඇතුළත් වන්නේ නැහැ.

ඊට අමතරව, කුඩා හා මධ්‍ය පරිමාණ (SME) කර්මාන්ත සෘජු රැකියා ලක්ෂ 45 අහිමි වීමට නියමිත අතර වක්‍ර රැකියාත් එපමණ ප්‍රමාණයක් අහිමි වනු ඇති. මේ වන විටත් එය සෑහෙන දුරට සිදුවී අවසන්. මේ තුල ආර්ථිකය බොහෝ දුරට 8.5% සංකෝචනයකට ලක්වන බව IMF පුරෝකථනය කොට තිබුණත් මා විශ්වාස කරන අන්දමට එය 9.3% දක්වා සංකෝචනය විය හැකියි. මෙයින් ඇති වන බලපෑම තුල, රජයේ බලාපොරොත්තු කෙසේ වෙතත් රටේ ජනයා හාමතේ මිය යෑම වැලැක්විය නොහැකියි.

ලංකාවේ මේ වන විට සාමාන්‍ය උද්ධමනය 64.3% ක් වෙනවා. https://www.economynext.com>sri-lanka-inflation-rises-to-64-3-pct-in-august-99291/ ඒ වගේම, ජූලි මාසයේ ලංකාවේ ආහාර උද්ධමනය 90.9% ක් වී තිබුණා. https://www.tradingeconomics.com>Sri Lanka>food-inflation ඔබ සමහර විට දැක ඇති උදේ තිබු භාණ්ඩ මිල දහවල් වන විට වෙනස් වෙනවා. මුදලේ කිසිදු වටිනාකමක් නොමැති තත්ත්වයට (Galloping Inflation ) පත්වෙනවා. මෙය එතරම් හොඳ තත්ත්වයක් නොවන වග කිව යුතුයි.

එමෙන්ම, මෙවර අයවැය හිඟය රුපියල් බිලියන 2,333 ක් (අයවැය කතාව ඇමුණුම i). අයවැය හිඟය පියවීමට දේශීය මූල්‍යන අවශ්‍යතාව රුපියල් බිලියන 1991 වන අතර එහිදී රජයට සැලකිය යුතු රුපියල් බිලියන ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම අච්චු ගැසීමට සිදුවෙනවා. ඒ හේතුවෙන්, බොහෝ විට නොවැම්බර් මස වන විට උද්ධමනය 100% මට්ටමින් එහාට යෑමේ අවදානමක් තිබෙනවා. මේ සම්බන්ධව කිසියම් ඉඟියක් මහබැංකු අධිපති වරයා පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා කල දේශනයේදි ප්‍රකාශ කලා. ඔහු එහිදී එක්තරා ආකාරයකට මෙහි බැරෑරුම් කම පෙන්වා දෙමින් ප්‍රකාශ කලේ ලංකාවේ ඉදිරියේදී ඇති විය හැකි මහජන නැගිටීම ලේ වැගිරීමකින් කෙලවර වීමට ඉඩ ඇති බවයි. එය කිසිවෙකුට පාලනය කිරීමට නොහැකි වන බවත් ඔහු ප්‍රකාශ කලා. එම අනතුරු හැඟවීම කොතෙක් දුරට රටේ ජනයා හෝ පාලකයන් අවබෝධ කරගෙන තිබෙනවාද කියා මට නම් සැක සහිතයි.

මෙම අතුරු අයවැයේ කිසිදු ආකාරයක සෘජු බදු වැඩි කිරීමක් පිළිබඳ යෝජනාවක් නොකරන අතර ඉන් පැහැදිලි වන්නේ ඉහළ ආදායම් ලබන්නන් ආරක්ෂා කිරීමට පාලකයන් කටයුතු කොට තිබෙන බවකි. රජයේ අපේක්ෂිත සෘජු බදු ආදායම රුපියල් බිලියන 558 වන විට වක්‍ර බදු ආදායම රුපියල් බිලියන 972 ක් වනවා. (අයවැය කතාව ඇමුණුම i) ඉන් ඔබට පැහැදිලි වෙනවා ඇති ලංකාවේ බදු ප්‍රතිපත්තිය කෙතරම් අවිධිමත්ද යන වග.

ලංකාවේ බදු ආදායමෙන් 82% වක්‍ර බදු වලින් එකතු කරගන්නවා. මේ බදු ගෙවන්නේ රටේ නැති බැරි අහිංසක මිනිසුන්. එහෙත්, රටේ ඉහළම ආදායම් ලබන ඇති හැකි පිරිස් ගෙවා තිබෙන්නේ බදු ආදායමෙන් 18% කි. (https://www.ft.lk>columns>Mangala-s-economics) එම නිසා, තවදුරටත් දිගු කාලීනව මෙය පැවතීම තුල සමාජ අසහනය වර්ධනය වී කිසියම් මොහොතක පුපුරා ගියහොත් විශාල ඛේදවාචකයකින් කෙලවර විය හැකි බව අවසන් වශයෙන් ලියා තබමි.

– ශාන්ත ජයරත්න, ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු), ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, SLIDA