counter hit xanga
March 26, 2023

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ආණ්ඩුකරණය පිළිබඳ අසාර්ථකත්වයේ ප්‍රතිඵලයකි – ජෙහාන් පෙරේරා

Last Updated on September 25, 2022 by Lankae Cast

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරදී ශ්‍රී ලංකා රජය මේ මොහොතේ මුහුණදෙමින් සිටින්නේ, එම කවුන්සිලය හමුවට මෙතෙක් ඉදිරිපත් කළ ප්‍රබලම යෝජනාවටය. 2009 වසරේ අවසන් වූ, ලොව පුරා අවධානයට ලක්වුණු ලේ වැකි යුද්ධයකින් අනතුරුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන 9 වැනි යෝජනාව මෙය වේ. ඒ සෑම අවස්ථාවකදීම, අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩු, රටේ අන්තර්ජාතික කීර්ති නාමයට හානියක් වන පරිදි, රටේ මානව හිමිකම් වාර්තාව පරීක්ෂාවට ලක් කරන තවත් යෝජනා ඉදිරිපත් නොවන ලෙසට වගබලාගන්නා බව සහතික කිරීමට උත්සාහ කර ඇත. එහෙත් පලක් වී නැත. ඊට හේතු වී ඇත්තේ බලයට පත් වූ ආණ්ඩු විසින් පොරොන්දු වූ දේ ඔවුන් හෝ ඔවුන්ගේ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ඉටු නොකිරීමයි.

තවමත් කෙටුම්පත් අදියරේ පවතින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව සෘජුවම සම්බාධක පැනවීමට උත්සාහ කර නැත. ඒ වෙනුවට, ඒ නිසා රට සහ ජනතාව මුහුණ දෙන දරුණු ආර්ථික ගැටලු පිළිබඳ පිළිගැනීමක් ලබාදීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට අන්තරජාතික ප්‍රජාවගේ සහයෝගය ලබා දෙන ලෙසට කරන ලද ආයාචනයක් ද එහි අන්තර්ගතව ඇත. අනෙක් අතට, යෝජනාවේ යටි තේමාව වන්නේ, පසුගිය දශක දෙක හෝ ඊට වැඩි කාලය තුළ රජයේ ක්‍රියාකාරීන් විසින් නිදහසේ සිදු කර ඇති මිනීමැරුම් සහ මංකොල්ලකෑම් වලින් ඔවුන් ගලවාගැනීමේ වරප්‍රසාදය ලබා දෙන මුක්තියේ, අවසානයක් සෙවීමයි. 2021 අංක 46/1 යෝජනාව ප්‍රකාරව පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම යෝජනාවේ අරමුණයි.

46/1 යෝජනාවේද සඳහන් කර ඇති, 51/1 යෝජනාවේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වන අධීක්ෂණ යාන්ත්‍රණය විසින්, ජනතාවගේ ජීවන තත්ත්වය සමස්තයක් හෝ කොටසක් ලෙස ඛාදනයට ලක්කර ඇති, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ අතීත සහ වර්තමාන සාක්ෂි රැස්කිරීමට උත්සාහ කරනු ලබයි. එවැනි අන්තර්ජාතික අධීක්ෂණ යාන්ත්‍රණයක්, රටේ ජාතික ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවට රජයේ නියෝජිතයන් ඉදිරිපත් කරන ආවේගශීලී තර්ක හමුවේ යෝජනාව කෙටුම්පත් කළ පාර්ශව නොසැලී සිටියි. ඒ වෙනුවට, ඔවුන් වර්තමාන යෝජනාවට නව විශේෂාංග එකතු කර ඇත. එලෙස ඉදිරිපත් කළ නව ක්ෂේත්‍ර දෙකක් වන්නේ ආර්ථික අපරාධ මෙන්ම සොරකම් කළ වත්කම් අයකර ගැනීම සහ භාවිත නොකළ යුතු ස්ථානවලදී නීතිමය ප්‍රතිපාදන භාවිත කරමින් විරෝධතා ව්‍යාපාර මර්දනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමයි.

රජයේ වගකීම

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමත් සමඟම, එසේ රැස් කරන ලද සාක්ෂි විශ්වීය අධිකරණ බලය පිළිබඳ නෛතික සංකල්පය භාවිත කිරීමට අදහස් කරන විදේශීය රජයන්ට සහ සංවිධානවලට ලබා දීමට සැලසුම් කර ඇත. විශ්වීය අධිකරණ බලය යනු, චූදිත පුද්ගලයාගේ ජාතිකත්වය හෝ පදිංචි රට කුමක් වුවත්, එම අපරාධය සිදු වූ ස්ථානය කුමක් වුවත්, රාජ්‍යයන්ට හෝ අන්තර්ජාතික සංවිධානවලට, අපරාධ අධිකරණ බලය ඉල්ලා සිටීමට ඉඩ සලසන නීතිමය මූලධර්මයකි. එල්ටීටීඊයට සහාය දුන් හෝ ඒ වෙනුවෙන් ක්‍රියා කළ පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේදී ඔවුන් සිදුකළ ක්‍රියා හේතුවෙන්, විදේශ රටවලදී නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදීමට සිදු වූ අවස්ථා කිහිපයක් තිබේ. කෙසේවෙතත්, මෙතෙක් රජය වෙනුවෙන් ක්‍රියා කළ පුද්ගලයන්ට එවැනි නඩු පැවරීමක් සිදුවී නැත. එහෙත් රජයේ නියෝජිතයින්ට එරෙහිව නීතිමය චෝදනා ගොනු කිරීමට ඇති ඉඩකඩ නිසා ඔවුන් කඩිනමින් ඇතැම් රටවලින් ඉවත් කරන ලද අවස්ථා කිහිපයක්ම තිබේ.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කෙටුම්පත් වාර්තාව මගින්, අනාගතයේදී පැනවිය හැකි නෛතික හා ආර්ථික සම්බාධක පිළිබඳ ඇඟවීමක් ලබාදෙනු ලැබේ. එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සීමාකිරීම් හෝ ආර්ථිකයේ පුනර්ජීවනයට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාවය සඳහන් කරමින්, අන්තර්ජාතික පීඩනය මග හැරීමට රජයට අපහසු වනු ඇත. මහ කොමසාරිස්වරියගේ වාර්තාව විසින් නිර්දේශ කරන්නේ අන්තර්ජතික ප්‍රජාව විසින් “(d) ජාතික අධිකරණ බල ප්‍රදේශවල අධිකරණ ක්‍රියාදාමයන් හරහා ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්ව විසින් සිදු කරන ලද අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන්, අපරාධකරුවන් විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා, අදාළ අන්තර්ජාතික ජාල හරහා සහ වින්දිතයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම; (e) අන්තර්ජාතික මානව හිමිකම් කඩකිරීම් හෝ බරපතල මානුෂීය නීති උල්ලංඝනය කිරීම් සිදු කළ බවට පිළිගත හැකි ලෙස චෝදනා ලබන පුද්ගලයන්ට එරෙහිව, වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි තවදුරටත් පැනවිය හැකි සම්බාධක ගවේෂණය කිරීම; (f) මානව හිමිකම්වලට බලපාන ආර්ථික අපරාධ විමර්ශනය කිරීම සහ සොරකම් කළ වත්කම් සොයා ගැනීම හා අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම” සිදුකළ යුතු බවයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීම යන පදනම මත රජය විරෝධය පලකළද, 51/1 යෝජනාවේ කෙටුම්පත විසින් ආර්ථික අපරාධ පිළිබඳ සංකල්පය ඉද්රිපත්කර තිබේ.

අන්තර්ජාතික මානව හිමිකම් සම්මුතීන් දෙකක් පවතී. ශ්‍රී ලංකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සියලුම රටවල් මෙම ගිවිසුම් දෙකට ගරු කිරීමට කැපවී සිටියි. එකක් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යි. අනෙක ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියයි. මේවා සම සම ලෙස සහ අන්තර් සම්බන්ධිත ලෙස පවතී යැයි සැලකේ. එබැවින්, යුද අපරාධ සහ ආර්ථික අපරාධ යන කරුණු දෙකටම චෝදනා එල්ල වන ශ්‍රී ලාංකිකයින්ට සහ සාමාන්‍යයෙන් අන්තර්ජාතික මානව හිමිකම් කඩ කළ බවට චෝදනා එල්ල වන ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව විශ්වීය අධිකරණ බලයේ මූලධර්මය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී.

නවතම උල්ලංඝනය කිරීම්

දැන් මුහුණ දී ඇති අහිතකර යෝජනාවේ වගකීම රජය භාර ගත යුතුව ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පසුගිය සැසිවාරයේදී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇත. වත්මන් කෙටුම්පත් යෝජනාවේ අන්තර්ගතව ඇත්තේ පෙර යෝජනාවල ඉටු නොවූ පොරොන්දුවල හරයයි. පොරොන්දු දීමේ සහ ඉටු නොකිරීමේ පුරුද්ද ආරම්භ වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතාට “අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික බැඳීම්වලට අනුකූලව මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්‍ෂා කිරීම සඳහා වන සිය ප්‍රබලතම කැපවීම යළිත් අවධාරණය කිරීමත්” සමගිනි. 2011 වසරේ රජයේ අකමැත්ත සහිතව සම්මත වූ පළමු යෝජනාවේදී අවධානය යොමු වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කර තිබූ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම කෙරෙහිය. එහෙත් ජාතික කොමිෂන් සභාවක් විසින් ඉදිරිපත් කරන ලද මෙම නිර්දේශ රජය විසින් ක්‍රියාත්මක කළේ නැත. මේ අනුව, ජාතික මට්ටමේ පරීක්ෂණයක් හෝ ජාතික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දුව ජාතික ස්වෛරීභාවය පිළිබඳ සැබෑ ප්‍රකාශයකට වඩා මිරිඟුවක් සහ මිථ්‍යාවක් බව දැකගත හැකිය.

2022 ජූනි මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසිවාරයේදී, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි අදාළ නීතිය සංශෝධනය කරන තුරු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන බවට රජය පොරොන්දු විය. රටේ උද්ගතවූ විරෝධතා ව්‍යාපාරයෙන් පසුව සහ එය මැඩපැවැත්වීම සඳහා රජය විසින් ශිෂ්‍ය නායකයන් ත්‍රස්තවාදීන්සේ සළකමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගනිමින්, මෙම පොරොන්දුව කඩ කළේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවී ඇතැයි යන පදනම මත එම අත්අඩංගුවට ගැනීම් සාධාරණීකරණය කිරීමට රජය උත්සාහ කළේය. එම ශිෂ්‍ය නායකයන් මාසයකට අධික කාලයක් තිස්සේ මානසික වධ හිංසාවලට ලක්කිරීමකට හා සමාන කොන්දේසි යටතේ සිරගත කර ඇතත්, ඔවුන් ත්‍රස්තවාදයට සමාන ඕනෑම ක්‍රියාවක නිරත වූ බවට සාක්ෂි තවමත් රජය විසින් ඉදිරිපත් කර නොමැත. ඔවුන්ට එරෙහිව තවමත් චෝදනා ගොනු කර නොමැති අතර, අධිකරණයට ඉදිරිපත් නොකර හුදකලා සිරකඳවුරක රඳවා ඇත. මෙම සන්දර්භය තුළ, රජය විවේචනය කරන තවත් යෝජනාවක් සම්මත කිරීම මගින්, වර්තමානය වන විට රටට අවශ්‍ය සම්පූර්ණ ආර්ථික සහාය ලබාගැනීමේ රජයේ අපේක්ෂාවන් අඩපණ කෙරෙනු ඇත.

රජය මෙම යෝජනාවට විරුද්ධ වුවහොත් සහ එය පරාජය කිරීමට දරන උත්සාහයන් අසාර්ථක වුවහොත් සිදුවන්නේ, ශ්‍රී ලංකා රජය ලබාදෙන පොරොන්දු ඉටු කිරීම විශ්වාස කළ නොහැකි බවට ලෝකයට පණිවිඩයක් ලබාදීමයි. එවැනි පණිවිඩයක් විසින් අන්තර්ජාතික ආර්ථික සම්පත් රට තුළට ගෙන ඒමට රජය දරන උත්සාහය යටපත් කරනු ඇත. විදේශීය ආයෝජකයන් තම අරමුදල් ආයෝජනය කිරීමට කැමති නොවනු ඇති අතර, විදේශීය රජයන් තම බදු ගෙවන්නන්ගේ මුදල් විශ්වාස කළ නොහැකි රජයකට ලබාදීමට මැලිවනු ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාව ඡන්දයකින් සම්මත කිරීම ජාතික අවශ්‍යතාවන්ට හානිදායක වනු ඇත. එමනිසා ආණ්ඩුව විසින් සම්මුතියකට එළඹිය හැකි යෝජනාවක් පිළිබඳව සාකච්ඡා කර, එය ක්‍රියාත්මක කරන්නේ නම් වඩාත් යහපත්වේ.

ජෙහාන් පෙරේරා, විධායක අධ්‍යක්ෂ, ජාතික සාම මණ්ඩලය