counter hit xanga
March 26, 2023

OUSL ප්‍රශ්ණය දුරදිග යයි!

දැනටමත් පවතින කෙටි ලැයිස්තුවෙන් වහාම ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙකු පත් කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

Last Updated on June 21, 2021 by Desman Chathuranga

විවෘත විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙකු පත්කිරීම අර්බුදයක් බවට පත්කිරීම රට තුළ අස්ථාවරභාවය තීව්‍ර කිරීමක් බව නිවේදනයක් නිකුත් කරමින් National People’s Power හෙවත් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එම නිවේදනය පහත පරිදි වේ….

නව උපකුලපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මතුවී ඇති අර්බුදය පිළිබඳව ජාතික ජන බලවේගය දැඩි අවධානයෙන් සිටී. මෙම තත්වය පැන නැගී ඇත්තේ ජුනි 23 වැනි දින පුරප්පාඩු වන උපකුලපති ධුරය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින්ගේ ලැයිස්තුව අත්තනෝමතික ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බැවිනි.

2020 මැයි 04 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චක්‍රලේඛ අංක 02/2020 හි නියම කර ඇති පරිදි පියවර දෙකක තේරීමේ ක්‍රියාවලියකින් පසුව මෙම කෙටි ලැයිස්තුව සකස් කරනු ලැබ තිබුණි. උත්ප‍්‍රාසාත්මක ලෙස, ජනාධිපතිවරයාගේ අත්තනෝමතික කි‍්‍රයාවෙන් ඇඟවෙන්නේ ඔහුගේ ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ක්‍රමයක් කෙරෙහි ඔහුටම විශ්වාසයක් නොමැති බවයි.

ඊට අමතරව, ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් විශ්වවිද්‍යාල කවුන්සිලයේ ස්වාධිපත්‍යය සහ අධිකාරයද ප්‍රශ්න කෙරේ. ආයතනය පාලනය කිරීමේ වගකීම පැවරී ඇති ඉහළම ආයතනය ලෙස අවසාන කෙටි ලැයිස්තුව තෝරාගෙන එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කරනු ලබන්නේ විශ්වවිද්‍යාල කවුන්සිලය විසිනි. මෙම අත්තනෝමතික ක්‍රියාව මගින් 1978 විශ්වවිද්‍යාල පනතේ හරය උල්ලංඝනය වන අතර එහි පැහැදිලිවම සඳහන් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තමා වෙත ඉදිරිපත් කරන ලද නම් තුනෙන් එකක් තෝරා ගැනීම ජනාධිපතිවරයාගේ යුතුකම බවයි.

නැවත තේරීමේ ක්‍රියාවලිය නැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම්වලට ජාතික ජන බලවේගය වශයෙන් අපි සහාය දෙන අතර, අත්‍යවශ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් තවදුරටත් අර්බුදයකට ඇද වැටීමට මඟ නොසලසමින්, ස්ථාපිත පාලන මූලධර්මවලට ගරු කරන ලෙසත්, දැනටමත් පවතින කෙටි ලැයිස්තුවෙන් වහාම ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙකු පත් කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය මගින් අද පැන නැගී ඇති රටේ වැදගත් තනතුරු සඳහා පත්වීම් සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීම පිළිබිඹු කරන බව ජාතික ජන බලවේගය තවදුරටත් සඳහන් කරයි. මෙය, විධායකය විසින් වැදගත් රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වයට සහ ස්වාධිපත්‍යයට මැදිහත් වෙමින් ඒවා අඩපණ කරන ආකාරය පිළිබඳ තවත් උදාහරණයක් බව අපි විශ්වාස කරමු.

රට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන මෙවැනි කාලයකදී, අපගේ රාජ්‍ය ආයතන මෙහෙයවිය යුත්තේ දක්ෂ, ඉහළ සුදුසුකම් ඇති සහ දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී නොවන පුද්ගලයින් විසිනි. කෙසේ වෙතත්, මෙම අත්තනෝමතික ප්‍රතික්ෂේප කිරීම මගින් උද්ගත වන පණිවිඩය දැඩි බලපෑමක් ඇති කරනු ඇත. එය සුදුසුකම් ලත් සහ දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ අපේක්ෂකයින් වැදගත් රාජ්‍ය තනතුරු සඳහා ඉල්ලුම් කිරීම අධෛර්යමත් කරනු ඇත. මෙබඳු ක්‍රියාවන් රට තුළ දැනට පවතින විවිධ අර්බුද විසඳීමට කිසිසේත්ම හිතකර නොවන අතර, රට තුළ අස්ථාවරත්වය සහ අවුල් සහගත හැඟීම උග්‍ර කරවයි. රජයේ ආයතන කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙන හා දුර්වල කරන ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අපි ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ අනෙකුත් වගකිවයුතු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමු.