counter hit xanga
March 26, 2023

පහනට තෙල් ලීක් වෙයි! සභාපතිකම වෙනුවෙන් විපක්ෂයට යයි!

Last Updated on April 26, 2021 by Desman Chathuranga

පහනට තෙල් ජාතික ව්‍යාපාරය නමින් සංවිධානයක සභාපතිවරයා ලෙස පෙනී සිටිමින් ආණ්ඩුවේ ප්‍රධානින් අපහසුතාවට පත්වෙන අකාරයට කටයුතු කල අම්බලන්ගොඩ නගර සභාවේ පාලක පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා විපක්ෂය සමග එක්ව තිබේ.

නගර සභාවේ පාලක පක්ෂයට සහයෝගයදීම නවතා ස්වාධීනව සිටිමින් විපක්ෂය සමග ඉදිරියේදී බද්ධවීමට තමා තීරණය කළ බවයි මන්ත්‍රීවරයා ඊයේ (25දා) රාත්‍රියේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ.

ආණ්ඩුවේ ප්‍රධානින් අපහසුතාවට පත්කිරිම සදහා තමන් විපක්ෂයේ අවශ්‍යතාව ක්‍රියාත්මක වන බවට මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද සාකච්ඡාවකට අදාළව රහසීගතව පටිගත කරන ලද විඩියෝවක්ද පසුගියදා අන්තර්ජාලය තුල පලව තිබුනා. (අදාළ විඩියෝව පහලින් නරඹන්න)

ඒ අනුව මාධ්‍යවේදීන් කල ප්‍රශ්ණ කිරිම හමුවේ මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ තමා මේ තීරණය ගත්තේ හොඳට සිතා බවත් කිසිවෙකුගේ බලපෑමකට හෝ මුදල්වලට යටවී නොවන බවයි.

“හිතට එකඟව අපේ පාලක පක්ෂයට සහයෝගය දීමට බෑ. මේ සඳහා කරුණු කාරණා ගණනාවක්ම තියෙනවා. මම මේ තීරණය ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව නම් නොවෙයි.”

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ විපක්ෂයට ප්‍රාදේශිය සභාව තුල අවශ්‍ය බලය ලබාදිම සදහා මන්ත්‍රීවරයා කටයුතු කර ඇත්තේ සභාපති ධුරය බලාපොරොත්තුවෙන් බවයි.

අම්බලන්ගොඩ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්තීවරු දෙදෙනෙක් සහ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුද එක්ව සිටින අතර ග්‍රේෂන් කෙරමිණියගේ එකතු විමත් සමග විපක්ෂ මන්ත්‍රීවරු සංඛ්‍යාව 13 දක්වා ඉහල යනු ඇත.

නමුත් පාලක පක්ෂයට ඇත්තේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනෙකු පමණයි.

පහනට තෙල් ව්‍යාපාරය නමින් මන්ත්‍රීවරයා ජනාධිපති සම්බන්ධයෙන් කල ප්‍රකාශයන් හේතුවෙන් ජනාධිපතිවරයාද සමාජයේ හාස්‍යයට ලක්වුනා.