counter hit xanga
March 26, 2023

කුසට අහරක් දිය නොහැකිව දරුවන් පරිවාසයට භාර කරන උතුරේ දෙමාපියෝ

Last Updated on September 29, 2022 by Lankae Cast

ඔහොම ගියාම දකුණටත් කන්න වෙයි කියූ උතුරු-නැගෙනහිර ජනතාව සමග දැන්වත් සිහිබුද්ධියෙන් අනාගතය ගැන කතා කළ යුතුයි.

සිංහල මාධ්‍යයන්හි නොදුටු සැප්. 27 ඉංග්‍රීසි පුවත් පතක පමණක් දුටු ඉතාම සංවේදී පුවතක් වූයේ උතුරේ දෙමාපියන් තම දරුවන්ට කෑම වේලක් දෙන්නට නොහැකි හෙයින් දරුවන් පරිවාස කටයුතු බලධාරීන්ට බාර දෙන පුවත ය. එම පුවත් පත් වාර්තාවට අනුව උතුරේ ළමා ආරක්ෂක හා පරිවාස කටයුතු දෙපාර්තමේන්තුවේ ඉකුත් ජුනි මස දත්ත වලට අනුව ඒ මාසයේ දරුවන් 246 ක් අනාථ නිවාස වෙත ඔවුන් බාර දී ඇත්තේ දෙමාපියන්ට ආදායමක් නොමැති හෙයින් ය.

උතුරේ මේ සාගතය 1983 ජුලි දෙමළ සංහාරයට දෙසතියකට පෙර ජුලි 11 වන දින රටේ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන එංගලන්තයේ පුවත් පතක් වන “ඩේලි ටෙලිග්‍රාෆ්”සමග කළ සාකච්ඡාවේදී “ඇත්තටම, මම දෙමළ ජනතාව සාගින්දරේ තැබුවහොත් සිංහල ජනතාව ඉතාමත් සතුටු වේවි” යැයි කියු කතාවේ දිගුවක් නොවේ. මෙය උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව ඔවුන්ගේ නුරුස්නාව පිට කරන්නට “සිංහල ජනතාවටත් අඩු නැතිව කන්න වෙයි ඔහොම ගියාම” කියන කතාව සනාථ කරන්නකි.

“ද මෝනිං” පුවත් පතට අදහස් ප්‍රකාශකර ඇති උතුරේ ළමා ආරක්ෂක හා පරිවාස කටයුතු කොමසාරිස් ගුරුපරන් රාජේන්ද්‍රන් කියා ඇත්තේ රටම ගොදුරුව ඇති බරපතල ආර්ථික බිඳ වැටීම නිසා දෙමාපියන්ට දරුවන් නඩත්තු කළ නොහැකි හෙයින් ඔවුන් වෙනත් විකල්ප විසඳුම් සොයන අතර පරිවාස මධ්‍යස්ථාන වලට දරුවන් බාරදීම විසඳුමක් කරගෙන ඇති බවය. එහෙත් උතුරේ ළමා ආරක්ෂක හා පරිවාස කටයුතු සඳහා මහ භාණ්ඩාගාරයෙන් වෙන් කරනු ලැබූ මුදලවත් මෙතෙක් ඔවුන්ට ලැබී නැති හෙයින් ළමුන් අනාථ නිවාස වලට බාර දීමට ඔවුන්ට සිදුව ඇති බවය. අනාථ නිවාසයකට ළමයෙකු බාරදීම තෝරා ගත යුතු අවසාන විසඳුම වූවත් එය දැන් පළමු තේරීම වී ඇත්තේ රජය මුහුණ දෙන ආර්ථික අර්බුදය නිසා යැයි ඔහුගේ පැහැදිලි කිරීමකි. එයම ඛේදවාචකයක් බැව් කිව යුත්තක් නොවේ.

සිංහල-බෞද්ධ ඒකීය රාජ්‍ය හා කොළඹ කේන්ද්‍රීය සිංහල-බෞද්ධ ආණ්ඩු සමග කවමදාවත් දියුණුවක් ලැබිය නොහැකි යැයි දෙමළ දේශපාලනය තේරුම් ගෙන තිබූයේ අද ඊයේ නොවේ. එනිසා ඔවුහු ඔවුන්ගේ ප්‍රදේශ දියුණුකර ගැනීම වෙනුවෙන් වඩා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලන ව්‍යුහයක් පිහිටුවා ගැනීමට 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අක්සන් කළහ. එය බණ්ඩාරනායක ආණ්ඩුව ක්‍රියාත්මක නොකළේය. එවැනි ගිවිසුම් ඊට පසුවත් අත්සන් කළ අතර, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්වල මූලික හරය වූයේ උතුරු-නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කර ගැනීමේ අයිතිය ප්‍රදේශයේ ජනතාවට තිබිය යුතුය යන්නය. ඔවුන්ට එවැනි සම්මුති ගැසීමට සිදුවීමම සිංහල-බෞද්ධ දේශපාලන නායකයින් මේ රටේ ආණ්ඩු පාලනයේ අයිතිකාරයින් යැයි ඔප්පු කෙරුවකි.

ඒකීය රාජ්‍යයක් සමග වන අවුරුදු 74 ක ආණ්ඩු පාලනයේ ඒ සිංහල-බෞද්ධ අයිතිය විසින් දකුණේ බහුතර සිංහල-බෞද්ධ ග්‍රාමීය සමාජයට ලබා දුන් සෙතක් නැත. කොළඹ සිංහල-බෞද්ධ ආණ්ඩුවට එරෙහි ‘71 සිංහල-බෞද්ධ ග්‍රාමීය තරුණ කැරැල්ල දෙමළ දේශපාලනය නිවැරදි යැයි ඔප්පු කෙරුවකි. ඒ සිංහල-බෞද්ධ කැරැල්ලට ආර්ථික වශයෙන් උත්තර දීමට 1977 බලයට පත් වූ එ.ජා.ප නායක ජයවර්ධන මාරු වූයේ විවෘත වෙළඳපල ආර්ථිකයකට ය. එය වගා කෙරුවේ අන්ත දූෂිත, සදාචාරයක් විනයක් නැති සමාජයකි. මහ නගර කේන්ද්‍රීය වෙළඳපල ආර්ථිකයක් වූයෙන් එය කොළඹට සියලු ආදායම් හා වත්කම් එකතු කළේ ය. අත හැරුණු සිංහල-බෞද්ධ ගම ඔවුන්ගේ බලය වෙනුවෙන් ගැට ගසා ගත්තේ සිංහල-බෞද්ධ අන්තවාදය දෙමළ ජනතාවට එරෙහිව ඉදිරිපත් කිරීමෙනි.

එනිසා දකුණේ සිංහල-බෞද්ධ ජනතාව තමන්ගේ අනාගතය සුරක්ෂිත කරගත හැකි යැයි වඩාත් බලවත්, වඩාත් අධිකාරවාදී නායකයෙකු ඉල්ලා පසුගිය 2019 නොවැම්බර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ තෝරා පත්කර ගත්හ. එහෙත් දෙවසරක් ඉක්ම යත්ම ඔහුට සහ ඔහුගේ ආණ්ඩුව ඉවත්කර ගැනීමට සිංහල-බෞද්ධ තරුණයින්ටම පාරට බහින්නට සිදුවිය. උතුරේ ජන විඥාණයේ කියවෙන දකුණටත් කන්න වෙයි ඔහොම ගියාම යන්නට එය මුලපිරුමක් වැනි විය.

“රෙජීම් චේන්ජ්”යැයි රාජපක්ෂලාගේ මුහුණු මාරු කළ “අරගලය”විසින් රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමේ පුදුමාකාර ලොතරැයි දිනුමක් ලබා දී දැන් සිදුව ඇත්තේ බරපතල මර්දනයකට මුහුණ දෙන්නට ය. ඒ හේතුවෙන් දසක දෙක තුනකට වැඩි කාලයක සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉල්ලා අස්කර ගත යුතු යැයි වන උතුරු-නැගෙනහිර ඉල්ලීම පිළිගැනීමට සිංහල-බෞද්ධ දේශපාලනයටද සිදුවිය. දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් කොන්ග්‍රසය මාස ගණනාවකට පෙර ආරම්භ කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉල්ලා අස්කර ගැනීමට බල කෙරෙන ජාතික පෙත්සමට ඔවුන්ටද අත්සන් තැබීමට සිදුවිය.

මෙවැනි ජාතිවාදී අවස්ථාවාදී දේශපාලනයක් කර පින්නා ගෙන, අනාගතය සඳහා කිසිදු සැළසුමක් නොමැතිව මේ රටට මෙලෙස පැවතිය නොහැකි යැයි මා කියන්නේ වසර දහයකට දොළහකට පෙර සිටය. මීට දෙවසරකුත් මාස තුනකට ඉහතින් 2020 ජුනි මස 02 වන දින “දැන්වත් සිහිබුද්ධියෙන් අනාගතය ගැන කතා කරමු” යැයි සාකච්ඡාවක් සඳහා සවිස්තරාත්මක ලිපියක් මම මගේ බ්ලොග් අඩවියෙහි පළ කළෙමි.

එහි එක් සඳහනක් වන්නේ, “විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දුප්පත්කම තීන්දු කෙරෙන්නේ විවෘත වෙළඳපල සාර්ථක යැයි කීමට අවශ්‍ය ලෙස සංඛ්‍යා ලේඛන හා දත්ත පෙළ ගැස්වීමෙනි. එබැවින් දුප්පත්කමට විසඳුම් කතා කිරීමක් නැත. ඇත්තේ එයද මැතිවරණ සඳහා අලෙවි කරගන්නේ කෙසේද යන්න පමණි. ඉතිහාසය පුරා සමාජ-ආර්ථික ‘විෂමතාව’නඩත්තු කෙරුණේ ඒ වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණු ‘මතවාද’සමගින් යැයි ප්‍රංශ ආර්ථික විද්‍යාඥ තොමස් පිකෙටි පවසන්නේ එනිසාවෙනි.” යනුවෙන් ය.

අපට පැහැදිලිව හා නිරවුල්ව සකසා ගන්නා විකල්ප සංවර්ධන මාවතක් අවශ්‍ය බැව් මගේ තේරුම් ගැනීම වන හෙයින්, “සාර්ථක දියුණු අනාගතයක් සඳහා සංවර්ධන ක්‍රියාවලියක් සකසා ගැනීමට නම්, මේ සමාජය ඒ වෙනුවෙන් බරපතල කැප කිරීමක් කළ යුතුව ඇත. එය යන එන ගමන් කළ හැක්කක් හෝ අනුන්ට කොන්තරාත් දීමට හැකි කාර්යභාරයක් හෝ නොවන බවද තේරුම්ගත යුතුය”කියා මම එහි ලියූවෙමි.

එසේ ලියූවේ “පුළුල් ජාතික සංවර්ධන සැළසුමකින් තොරව අනාගතයක් නොමැති බැව් මේ සමාජය තේරුම්ගත යුතුය. එය අති දූෂිත පක්ෂවල ජාවාරම්කාර දේශපාලන නායකයින්ට බාරදිය හැකි කාර්යභාරයක් නොවන බවත් තේරුම්ගත යුතුය. ජාතික සංවර්ධනය යනු සියලු රටවැසියන්ට සමානව සළකන්නාවූත් සමාන සමාජ ආර්ථික අවස්ථා සැමට ලබා දෙන්නාවූත් සියල්ලන්ගේ ජීවන පැවැත්ම හා ජීවන තත්ත්වය ක්‍රමානුකූලව දියුණු කෙරෙන ජාතික ආර්ථික ක්‍රියාවලියකි. එය සමාජ කතිකාවක් ඔස්සේ සැකසිය යුත්තකි.” යැයි අවධාරණය කරනු පිණිස ය.

සැමට පොදු දියුණු අනාගතයක් ගැන තැකීමක් නැති, සංවර්ධනයක් ගැන සිතන්නටවත් කිසිදු මහන්සියක් නොගන්නා නමුත් ආණ්ඩු පාලනය තම අයිතිය ලෙස කොළඹට සීමාකර තබා ගන්නා සිංහල-බෞද්ධ බහුතරය විසින් දැන් මේ රට තල්ලුකර ඇත්තේ මකර කටකට ය. මේ විනාසයට වගකිව යුත්තේ අර පක්ෂයද මේ පක්ෂයද, අර නායකයින්ද මේ නායකයින්ද යැයි වාද කිරීම රටේ බහුතර ජනතාව මුහුණ දෙන අර්බුදයට විසඳුම් සෙවීමක් නොවේ. මේ විනාසයට දේශපාලකයින් වාගේම රාජ්‍ය පාලනයේ ඉහළ නිලධාරීන් සහ වෘත්තිකයින්ද, හඩු ජාවාරම්කාරයින්ද එකසේ වගකිව යුතු බැව් සිංහල-බෞද්ධ දකුණ දැන්වත් පිළිගත යුතුය.

දෙමාපියන්ට කුඩා දරුවන් අතහැරීමට සිදුව ඇතැයි උතුරෙන් ලැබෙන අනතුරු ඇඟවීම මේ විනාසය දකුණේ සිංහල සමාජයට කඩා වැදීම නතර කර ගත හැක්කේ වැඩිවන මන්දපෝෂණයත් දරුවන් පාසල් හැර යාමත් දේශපාලන වාසි වෙනුවෙන් යොදා ගැනීමෙන් නොවේ. දකුණේ දෙමාපියන්ට දරුවන් අත හැරීමට සිදු වුවහොත් සිය ගණනින් දරුවන් හමුවනු ඇත්තේ අනාථ නිවාසවල නොව, මහ මග ය. හන්දි ගණනේ කඩ මණ්ඩි වලය. මේ ආර්ථික අර්බුදය සඳහා සිංහල-බෞද්ධ දකුණට පමණක් විසඳුම් නොමැති බැව් බඩගින්නේ ඉන්නා උතුරේ හා දකුණේ දරුවන්ගෙන්වත් දකුණ ඉගෙන ගත යුතුය.

තව දුරටත් හුදු විවේචන සමගින් දකුණේ සිංහල-බෞද්ධයින්ට නතර විය නොහැක. “දැන්වත් සිහිබුද්ධියෙන් අනාගතය ගැන කතා කරමු” යැයි නැවත කියන්නට එනිසා සිදුව ඇත. ඒ වෙනුවෙන් සංකච්ඡාවක් ආරම්භ කරන්නට සූදානම් අයට, මෙම ලිපිය මෙතැනින් http://kusalperera.blogspot.com/2020/06/blog-post.html කියවන්නට යැයි මම ඇරයුම් කරමි.

අවසන් වශයෙන් කිව යුත්තේ අනාගතය ගැන මේ කතා වහා ආරම්භ කළ යුත්තේ ගරා වැටුණු ආර්ථිකයෙන් අතහැරුණු උතුරේ සහ දකුණේ අති බහුතර අසරණූන්ට අවම සය මසකට හෝ මේ මොහොතේ සිට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුළත් ක්ෂණික සහන මල්ලක් ලබා දීමට සැළසුම් කිරීමෙන් බවය.

කුසල් පෙර්රා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක