counter hit xanga
March 26, 2023

පාර්ලිමේන්තුව විසුරුවා හැර සම්පූර්ණ ජයග්‍රහණයක් ගන්නවා!

Last Updated on October 27, 2022 by Desman Chathuranga

හොරු පන්නමු…. හොරුන්ට දඬුවම් දෙමු….. හොරාකාපු දේපොළ නැවත අත්පත් කර ගැනිම සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැර සම්පූර්ණ ජයග‍්‍රහණ ලබාගැනීමට හැකි බව ස්ථීරය යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත පවසයි.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත සදහන් කළේ අරගලයේදී ප‍්‍රගතිශීලී කාර්යභාරයක් ඉටුකළ සියලුම බලවේග එකට එක්වී ඊළඟ පියවර අද (27) දිනයේ ආරම්භ කර තිබෙනවා යැයි

“වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පටන් ගත් මේ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කරන බව ඉතාම පැහැදිලියි. ගෝල්ෆේස් අරගලය, රට පුරාම පැවති ගොවි අරගලය, ධීවර අරගලය ඇතුළු සෑම අරගලයක්මත් ඒකාබද්ධ කරන හර්තාල් අරගලයේ නියමුවන්ද ඇතුළුව පිරිපුන් වේදිකාවක් අද ගොඩනඟා තිබෙනවා.

කොරෝනා ප‍්‍රශ්නයෙන් ජනතාව මිය යන්න හැර පාලකයෝ නිහඬව සිටියදී රට ලොක්ඩවුන් කරන්න කීවේ වෘත්තීය සමිතිවලින්. පාලකයන් රට වහන්නේ නැත්නම් රට වැසීමට අවශ්‍ය පියවර ගන්නා බවට අනතුරු අඟවා පාලකයන් දණ ගැස්වූවා. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒ අරමුණු ජයග‍්‍රහණය කළා. ගෝල්ෆේස් අරගලයෙන් ගෝඨා ගෝ හෝම් සටන් පාඨය සාර්ථක කර ගන්න එක්දින මහා වැඩවර්ජනයක් අප්‍රේල් මාසෙ 28 වෙනිදා දියත් කළා. මේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඒවගේ සටන් ජයග‍්‍රහණය කර පෙන්වා තිබෙනවා. 1953 හර්තාලයෙන් පස්සේ එක්දින මහා හර්තාල් ව්‍යාපාරයක් දියත් කර, මුළු ‍රටම වහලා දැවැන්ත ජයග‍්‍රහණයක් අත්කරමින් පාලකයන් දණ ගැස්වූ වෘත්තීය සමිති මේ වේදිකාව මත එකතු වී සිටිනවා. මේ අරගලය ජයග‍්‍රහණයෙන් කෙළවර කරන බවට මෑත අතීතයේ වෘත්තීය සමිති නායකත්වය තහවුරු කර තිබෙනවා.

අරගලයේ ප‍්‍රධාන සටන් පාඨ කිහිපයක් තිබුණා. හොරු පන්නමු. කියන සටන් පාඨය රට පුරාම ගෙනගියත් තාමත් හොරු ඉන්නවා. හොරුන්ට දඬුවම් දෙමු, හොරාකාපු දේපොළ නැවත අත්පත් කර ගනිමු කියන සටන් පාඨ තුන සම්බන්ධ කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර සම්පූර්ණ ජයග‍්‍රහණ ලබාගැනීමට මේ මධ්‍යස්ථානයට හැකි බව ස්ථීරයි. නිශ්චිත තීරණ අරගෙන නිශ්චිත දින දීලා පාලකයෝ දණ ගස්වන්න වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විදිහට අපට හැකිවුණා. අද එතනින් ඔබ්බට ගොස් අරගලයේදී ප‍්‍රගතිශීලී කාර්යභාරයක් ඉටුකළ සියලුම බලවේග එකට එක්වී ඊළඟ පියවර අද දිනයේ ආරම්භ කර තිබෙනවා. ඒ විශ්වාසයත් සමග අලුත් අරගලයකට ජනතාව පෙරට ආ යුතුයි.”