counter hit xanga
October 26, 2021

අගමැති සිල් ගනී!

මෙම උතුම් පොසොන් පොහොය දිනය ධර්මාවබෝධය පිණිස සිත් පහන් දැල්වූ අර්ථාන්විත දිනයක් බවට පත් වේවා! යි මම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණින් සැමට නිරෝගී සම්පත වේවා!

Last Updated on June 24, 2021 by Panduka Herath

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදේශය අනුව යමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණ අද (24) දින උදෑසන තංගල්ල කාල්ටන් නිවසේ දී පෙහෙවත් සමාදන් විය.

තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද ස්වාමීන් වහන්සේ විසින් අග්‍රාමාත්‍යතුමා පෙහෙවත් සමාදන් කරනු ලැබූහ.බුදු දහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගනිමින් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවෙත සැලසුම් කර ගැනීමට මෙම කාලය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යතුමා සිය පොසොන් දින පණිවුඩයෙන් ද අවධාරණය කර තිබිණි.

මේ අතර පොසොන් පොහොය දින පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ බුදුදහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගැනීමටත් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවත සැලසුම්කර ගැනීමටත් දුෂ්කරව ගෙවා දමන මෙම කාලය ඉතා වැදගත් බවයි.

පොසොන් පොහොය දින පණිවුඩය

අදීන ජාතියක් ලෙස නිර්මල බුදුදහම අනුගමනය කරමින් සහජීවනයෙන් කටයුතු කිරීමට මග පෙන්වා දුන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය අද වැනි උතුම් පොසොන් පොහොය දිනයක දී ගෞරවයෙන් යුතු ව සිහිපත් වේ.

ධර්මාශෝක රජු හා දේවානම් පියතිස්ස නිරිඳුන් අතර පැවති රාජ්‍යතාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ මහඟු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී පමණ බුදුදහම ලක්දිවට දායාද විය. මෙමගින් අපගේ ජාතිය, ආගම මෙන් ම සංස්කෘතියේ නව යුගය ඇරඹිණි.

සීලය, මෛත්‍රිය, ගිලානෝපස්ථානය, ආගන්තුක සත්කාරය වැනි උතුම් ගුණාංග සපිරි ශිෂ්ට සම්පන්න ජාතියක් මෙරටෙහි බිහි වූයේ ද ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංස්කෘතික පදනම මත ධර්ම ද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය ලෙස සිරිලක විරුදාවලියට පත් වූයේ ද මිහිඳු මාහිමියන් අප වෙත දායාද කළ බුදුදහමේ ආලෝකයෙනි.

බෞද්ධ සංස්කෘතිය තුළ කලාව, අධ්‍යාපනය, තර්ක බුද්ධිය, කෘෂිකර්මාන්තය ආදී සැම අංශයක් ම දියුණු විය. මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් බුදුදහමේ ජීව ශක්තිය නිසා ශ්‍රී ලාංකිකයන් ලොව කිසිදු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස පෙරට ආ බව මම සිහිපත් කරමි.

වෙනදා පොසොන් පොහොයට බැතිමතුන්ගෙන් පිරී යන මිහින්තලා පුද බිම අද එසේ නොවන්නේ මිනිස් ජීවිත බිලි ගනිමින් ලොව පුරා පැතිර යන කොවිඩ්-19 වසංගතයෙන් අප සියලු දෙනා ආරක්ෂා විය යුතු නිසා ය.

බුදුදහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගැනීමටත් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවත සැලසුම්කර ගැනීමටත් දුෂ්කරව ගෙවා දමන මෙම කාලය ඉතා වැදගත් බව මාගේ විශ්වාසයයි.

මෙම උතුම් පොසොන් පොහොය දිනය ධර්මාවබෝධය පිණිස සිත් පහන් දැල්වූ අර්ථාන්විත දිනයක් බවට පත් වේවා! යි මම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණින් සැමට නිරෝගී සම්පත වේවා!

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය