counter hit xanga
March 26, 2023

වසංගතය පිටුදැකීමට දිවා, රෑ වැඩකරන සියලු ජනතාවට අගමැතිගේ ප්‍රණාමය…

Last Updated on April 30, 2021 by Desman Chathuranga

කොවිඩ් වසංගතය හමුවේ වුවද සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ඔබගේ කැපවීම අගය කරන අතර වසංගත තත්ත්වය පාලනය කිරීමට දක්වන දායකත්වය වෙනුවෙන් ප්‍රණාමය පුද කරන බව මැයි දින පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරනවා.

කොතරම් දුෂ්කර තත්ත්වයන් හමුවේ වුවත් අපගේ රජයන් කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරවය ලබා දුන් බවද අග්‍රාමාත්‍යවරයා එන නිවේදනය මගින් පෙන්වා දි තිබේ.

2021 මැයි 01

මැයි දින පණිවුඩය

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද දිනයේ සමස්ත වැඩ කරන ජනතාවට මා සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.

කම්කරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ආරම්භ වූ ලෝක කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ ශ්‍රේෂ්ඨතම දිනයයි.

පොදුවේ තම රටට පමණක් නොව සමස්ත ලෝකයේම අභිවෘද්ධිය උදෙසා කම්කරු ජනතාව කරනු ලබන කැපවීම සෑම කල්හිම ඉතා ප්‍රශංසනීය වේ.

වැඩබිම්වල දහඩිය වගුරවමින් සියලු දෙනාගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔබ කරනු ලබන මෙහෙවර ඇගයීමට මම මෙය අවස්ථාවක් කරගනිමි.

අප සියලු දෙනා දන්නා පරිදි ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ ශක්තිය සහ එකමුතු බව ලොවට විදහපාන දිනයයි.

එසේ වුවද ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙවරද පෙළපාලි හා රැස්වීම්වලින් තොරව ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට සිදුව තිබේ.

මෙවන් ව්‍යවසන අවස්ථාවක දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් ශ්‍රී ලාංකේය කම්කරු ජනතාව මැයි දිනය අලුත් මුහුණුවරකින් සමරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

කොතරම් දුෂ්කර තත්ත්වයන් හමුවේ වුවත් අපගේ රජයන් කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරවය ලබා දුන් බව සිහි පත්කරමි. එමෙන්ම කම්කරු අයිතිවාසිකම් සුරකීම වෙනුවෙන් අප ඇප කැප වුණෙමු.

දෙදහස් විසි එක වර්ෂය සඳහා මා විසින් ඉදිරිපත් කළ අය-වැය ලේඛනයෙන් වතු කම්කරුවන් සඳහා පොරොන්දු  වු  රුපියල් දහසේ දෛනික වැටුප ලබා දීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයකි.

එමෙන්ම කම්කරු ප්‍රජාවගේ සුභසාධනය උදෙසා සේවක අර්ථසාධක අරමුදල් පනත, කාර්මික ආරවුල් පනත හා වන්දි ආඥා පනත වැනි කම්කරු පනත් ගණනාවක් යාවත්කාලීන කිරීම ඔස්සේ කම්කරු අයිතීන් සුරකීමට අප රජයට හැකි වීම ඔබට කළ ගෞරවයක් බව සිහිපත් කරමි.

ජනහිතකාමි වැඩබිමක් සුරක්ෂිත දේශයක් තේමාවෙන් මෙවර සමරනු ලබන මැයි දිනයේ දී දේශීය ආර්ථිකය නගා සිටුවීමට කම්කරු   ජනතාව එකාමෙන් අත්වැල් බැඳ ගනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

කොවිඩ් වසංගතය හමුවේ වුවද සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ඔබගේ කැපවීම අගය කරන අතර වසංගත තත්ත්වය පාලනය කිරීමට දක්වන දායකත්වය වෙනුවෙන් මාගේ ප්‍රණාමය පුද කරමි.

ලෝකවාසී වැඩකරන සියලු ජනතාවට ජයවේවා!

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ