counter hit xanga
February 3, 2023

ආර්ථික ස්ථායීකරණ අනුකමිටුවේ පළමු වාර්තාවෙන් රටේ ප්‍රමුඛ ක්ෂේත්‍රයන්ගේ ගැටළු විසඳීමට යෝජනා මාලාවක්!

Last Updated on November 18, 2022 by Lankae Cast

ජාතික සභාව යටතේ ක්‍රියාත්මක වන ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු අනු කමිටුවේ පළමු වාර්තාව නොවැම්බර් 15 වෙනිදා පාර්ලිමේන්තුවට භාර දුන් අතර, ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණ. එහිදී ආර්ථික ස්ථායීකරණය සඳහා වූ අනු කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් මෙසේ අදහස් දක්වන ලදී.

“අපි පසුගිය ඔක්තෝම්බර් 7 වෙනිදායින් පටන්ගෙන සැසිවාර 7 ක් පවත්වා ලබාගත් කරුණු කෙටි කාලීන යෝජනා හැටියට ඉදිරිපත් කළා. ඉදිරි කාලයේ තවත් සැසිවාර 10 ක් පමණ පවත්වා  මධ්‍යකාලීන යෝජනාවලියක් ද ඉදිරිපත් කිරීමට  අපි බලාපොරොත්තු වෙනවා.”

කෙටිකාලීන යෝජනාවලට හසුවූ ක්ෂේත්‍රයන් මෙසේ වෙයි.

 1.  ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය.

ඒ පිළිබඳව මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ඒ පිළිබඳව සිටින විශේෂඥයින්ගේ අදහස් අනුකමිටුව විසින් ලබාගන්නා ලදී. 

2. රෝහල්වල ඖෂධ හිඟය සම්බන්ධ ගැටළුව

– ඊට බලපා තිබෙන හේතු, ඒවා වැළැක්වීමේ ක්‍රියාමාර්ග යෝජනා කරන ලදී.

3. රටේ ආහාර මිල ඉහළ යාම සහ ආහාර හිඟය, ගොවි ද්‍රව්‍ය, විශේෂයෙන්ම පොහොර, බීජ වල හිඟය සහ ඒවා මඟහරවා ගන්නා ක්‍රමවේදය

– ඒ හා සමගාමීව පෝෂණය පිළිබඳ කාරණය සම්බන්ධයෙන්, පෝෂණ විශේෂඥයන් සමග සාකච්ඡා කරන ලදී.

4. බලශක්තිය – ඉන්ධන, විදුලිය පිළිබඳ විශේෂඥයන්, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනවලට සම්බන්ධ නිලධාරීන් සමග සාකච්ඡාවක් සිදුකොට කෙටි කාලීන යෝජනාවලියක් ඉදිරිපත් කොට තිබේ.

5. ප්‍රවාහනය – ප්‍රවාහන ගැටලුව පිළිබඳවත් කෙටි කාලීන යෝජනාවලියක් අපි ඉදිරිපත් කොට තිබෙන අතර විස්තරාත්මක යෝජනාවලියක් දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට අනු කමිටුව බලාපොරොත්තු වේ.

6.  ආර්ථික අර්බුදය හා ආර්ථික කඩා වැටීමත් සමග සිදුවන ආර්ථිකය සංකෝචනය වීම හේතුවෙන් විශාල පිරිසකට අහිමි වීම, ආදායම් අහිමි වීම හේතුවෙන් බිහිව තිබෙන නව දුගී පරපුරට අවශ්‍ය සමාජ ආරක්ෂණ  ක්‍රියාවලිය කුමක්ද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා  ලෝක බැංකුවේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.  බලශක්ති ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත විසඳුම් පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවත් සමග තමන් පෞද්ගලිකව සාකච්ඡා කළ බවත්, පොදු සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට කටයුතු කරන බවත්, අනුකමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී සඳහන් කළේය.

“ඒ ඇසුරෙන් ලබාගත්ත තොරතුරු පදනම් කරගෙන තමයි අපේ අනුකමිටුව මේ යෝජනාවලිය සකස් කරලා තියෙන්නේ. සරලවම ගත්තොත් අපි ආරම්භයේ සිට මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යම් විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. කොපමණ ණය තියෙනවද? ඒ වගේම ඒවා කොයි විදිහටද සිද්ධ කරන්නේ කියන ගැටලුව, දැනට ලංකාව තමන් මූල්‍යමය වශයෙන් බංකොලොත්, එහෙම නැත්නම් බුන්වත් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම අපි පිළිගන්න රේටින් ඒජන්සිස් එහෙම නැත්නම් ශ්‍රේණිගත කිරීම් සමාගම් අපිව බුන්වත් තත්ත්වයට පත්කරලා තියෙනවා. ඒ නිසා අපිට කිසිම විදේශ රටක් විදේශ මූල්‍ය වෙළෙඳපොළක් සමග ගනුදෙනු කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම රජය පසුගිය ජූලි මාසයේදී මේ ණය හිමියන් සමඟ සාකච්ඡා කරන්න කටයුතු කරනවා කියා ප්‍රකාශ කොට ඒ සඳහා සමාගම් දෙකක් නම් කරලා තියෙනවා. ලසාඩ් සමාගම මූල්‍ය උපදේශකයා ලෙස. ඒ වගේම ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම නීති උපදේශකයා ලෙස දැන් ඒ සාකච්ඡා කෙරීගෙන යන බව අපට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කළා මේ වසරේ අග භාගය වෙනකොට මේ සාකච්ඡා යම්කිසි අවසානයක් කරා එන්නත්, ඒ වගේම ලබන වසරේ පළමු කාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාවයක් ලබාගන්න. (දැනට අපි අත්සන් කරලා තියෙන්නේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයක්)  ඒ වගේම 2023 දෙවෙනි කාර්තුවේ සිට එය ක්‍රියාත්මක කරන්න. ඕක තමයි ආණ්ඩුවේ සැලසුම. ඒක ක්‍රියාත්මක වෙයි ද, නොවෙයිද කියන එක වෙනම ගැටළුවක්.”

ලෝක බැකුවෙන් ලද විශේෂඥ තොරතුර අනුව, ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල කරා යාමට බෙහෙවින් ප්‍රමාද වී ඇති බව රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

“ඔවුන්ගේ දත්ත අනුව, ලෝක ඉතිහාසයේ  තම සංචිත බිංදුව වුණාට පස්සේ ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා මූල්‍ය අරමුදලේ උපකාර පතපු එක ම රට අපි. ඒ නිසා අපි ඉතාමත්ම අයහපත් තත්වයක ඉන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් හැටියට ඒ අය දැක්කා.”

ණය හිමියන් සමඟ කරන සාකච්ඡාවල දී අන්තර්ජාතිකව පිළිගත් ප්‍රතිපත්ති හතරක් මත කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව රණවක මහතා මෙහිදී අනාවරණය කළේය.

1.  විනිවිදභාවය

2. අවංකභාවයත් සමග ගොඩනැගෙන සුහදශීලී සහසම්බන්ධය.

3. සාධාරණ හා සමාන ලෙස සියලු ණයහිමියන්ට සැලකීම.

4. ණය දරාගත හැකි තත්ත්වයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟවන ආකාරයට අපේ කටයුතු කිරීම.

“ලොකුම ප්‍රශ්නය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවාද කියන ගැටලුව.  ණය ප්‍රතිව්‍යුහග කිරීමේදී පොදුවේ උපාය මාර්ග තුනක් අනුගමනය කරනවා”

1. දැනට තිබෙන පොලිය අඩු කර ගැනීමට කතා කිරීම.

2. කල් ඉකුත්වීමේ/ කල් පිරීමේ දිනය ලබා ගැනීම. ( උදා: අවු.10න් කල් පිරෙනවා නම් එය අවු. 20 හෝ 30 කරගැනීම)

3. ණය මුදලෙන් කොටසක් කපා හැරීම.

“ලෝක බැංකුව, මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව වැනි අයට තියෙනවා මේ ණය කොච්චර අපිට දරාගන්න පුළුවන්ද කියන එක බලන යම් ප්‍රමිතියක්. ඒ ප්‍රමිතියට ආවට පස්සේ තමයි ඒ එකඟතාවය අපිට ලැබෙන්නේ.”

” අභියෝගයක් තියෙනවා යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ තියෙන ආර්ථික අවපාතයත් එක්ක අපේ අපනයන විශේෂයෙන්ම ඇඟලුම් වලින් අපි උපයන ආදායම් වලට බලපෑමක් එල්ල වෙයි ද කියලා. එහෙම වුණොත් මේ සමතුලිතතාවයට ගැටලුවක් එනවා. කෙසේ නමුත් අපිට ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් දෙකම ප්‍රකාශ කරලා තියෙනවා. ලබන වසරේ ඒගොල්ලන්ගේ උදව් උපකාර රඳා පවතින්නේ අපි මේ වසරේ හොඳට හිටියොත් ඒ කියන්නේ අපේ කල්කිරියාව හොඳ මට්ටමෙන් පැවතුනොත් කියලා. ඒ නිසා රජයට ලොකු වගකීමක් තියෙනවා මේ කොන්දේසි විශේෂයෙන්ම දූෂණ විරෝධී කොන්දේසි ඉටුකරගැනීම පිළිබඳව.

එතනදි විශේෂයෙන්ම අපි අඳුන්වලා තියෙනවා මේ විසඳුම් යෝජනාවල මේ ණය පිළිබඳ කාරණයේදී දර්ශක කිහිපයක්,

1. ණය දරාගත හැකි මට්ටමක්, ඊට ප්‍රධාන ජාත්‍යන්තර සම්මතය – දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බර 100%ට වඩා අඩු විය යුතුය.

2. වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව (රටට වාර්ෂිකව අයවැය පරතරයත්, ණය ගෙවන්නත් අවශ්‍ය කරන වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව  දළ දේශීය නිෂ්පාදනයෙන් 15% සීමාවේ පවත්වා ගැනීම. (මේ වසරේ අයවැයත් සමග එය 28% කි.)

3.  විදේශීය ණය ගෙවීම දළ ජාතික නිෂ්පාදනයට දරන අනුපාතය 3% – 4% වැනි දරාගත හැකි මට්ටමක පවත්වාගත යුතුය.

එහිදී අනුකමිටුව විසින් පහත යෝජනාව සිදු කර ඇති බව ද රණවක මහතා සඳහන් කළේය.

* රට බංකොලොත් වීමට වගකිවයුත්තන් සෙවීමේ කාරණයේ දී රටේ ප්‍රධාන අණපනත් තුනක් කෙරෙහි අවධානය යොමු විය.

“මහ බැංකුව ක්‍රියාත්මක කරන මූල්‍ය පනතට (Monetary Law Act – MLA) අනුකූලව මහ බැංකුව හා මූල්‍ය මණ්ඩලය ක්‍රියා කොට ඇත්දැයි සොයා බැලිය යුතුයි. ඊට වෙනස්කම් අවශ්‍ය නම් ඒ වෙනස්කම් සිදු කළ යුතුයි. ණය පිළිබඳ කාරණයේදී ප්‍රධාන පණත් දෙකක් තියෙනවා. එකක් Foreign Loan Act. අනික Fiscal Management Responsibility මේ දෙක අනුව ඕන තරං ණය ගන්නත්, ඕන ඕන විධියට ඒවා වියදම් කරන්නත් බෑ. ඒ අනුව යම් වගවීමක්, වගකීමක් මේ නිලධාරීන්ට සහ අමාත්‍ය මණ්ඩලයට පැවරෙනවා.” යනුවෙන් රණවක මහතා අවධාරණය කළේය.

“අපි දැන් නීතිඥ මහත්වරුන් සහ නීතිපති අංශ සමග කතා කරන්නේ මේ අඩුපාඩුව අනාගතයේ හදාගන්න හරි, අඩුගානේ මේ අණපනත් වලට විශේෂ සංශෝධන ගේන්න ඕනයි කියන එක.  අපේ දූෂණ වැළැක්වීමේ පැරණි පනත හෝ 1994 ඇති කරපු දූෂණ මර්දන කොමිසම හෝ 2016  ඇති කරපු කොමිසම වැඩක් වෙලා නැහැ කියන අදහසත් එක්ක අලුතෙන් මේ පිළිබඳව දූෂණය වැළැක්වීමේ නව පනතක් අපි ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ වගේම දේශපාලඥයින්, අමාත්‍යාංශ නිලධාරීන් සහ මේ සමග ගනුදෙනු කරන ව්‍යාපාරිකයන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරන්න කියන යෝජනාවත් අපි ඉදිරිපත් කොට තිබෙනවා.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය. ඒ කියන්නේ ටෙන්ඩර් පටිපාටිය. ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම බරපතල විදිහට විධිමත් වැදගත් ක්‍රියාදාමයක් අවශ්‍යයි කියලා අපි යෝජනා කරලා තියෙනවා.  ආර්ථික ප්‍රතිසංස්කරණ කරගෙන යන කොට ඒකෙන් විශාල වශයෙන් සමාජ බලපෑමක් තියෙනවා. මිනිස්සු දුප්පත්කමට පත්වෙනවා. විරැකියාවට පත්වෙනවා. කර්මාන්ත වැහෙනවා. නමුත් ලංකාවේ රජය විධිමත් සමාජ අධ්‍යයනයක් කරන්නේ නැහැ, ඒ නිසා සිද්ධ වෙලා තිබුණා ලෝක ආහාර සංවිධානයෙන්, ලෝක බැංකුවෙන් එහෙම තොරතුරු ලබාගන්න. ලෝක බැංකුව කියනවා අපේ දුප්පත්කම මේ වසරේ දෙගුණයක් වෙලා තියෙනවා. නමුත් ඒකට රජයේ කිසිම දත්තයක් නැහැ. ඒක එහෙමයි කියලා පෙන්නන්න. ලෝක ආහාර සංවිධානය කියනවා ආහාර අවශ්‍යතාවය තදින්ම බලපාන, ඒ කියන්නේ මූලික කැලරි ප්‍රමාණවත්ව නොලැබෙන ජන සංඛ්‍යාව 28% ක්  කියලා. ඒකට කිසිම දත්තයක් රජයෙන් ලැබිලා නැහැ. මිනිස්සුන්ගේ ආහාර අවශ්‍යතාවයට මිනිස්සු තමන්ගේ ආදායමෙන් 75% ක් වැය කරනවා කියලා ලෝක ආහාර සංවිධානය කියනවා. එතකොට 2019 තමයි අන්තිමට දත්ත එක් රැස් කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී ආහාරවලට මිනිස්සු සාමාන්‍යයක් හැටියට වැය කරලා තියෙන්නේ 32% යි. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, විනෝදාස්වාදයට, ආගමික හැම එකට ම 68% ක් වැය කරලා තියෙනවා. නමුත් දැන් ඒක 25% ට වැටිලා. කෑම වලට තමයි සම්පූර්ණ ප්‍රමුඛතාවය. මේ කාරණා නිසා ප්‍රතිසංස්කරණ කරන එක  හොඳයි. නමුත් මිනිස්සු අවසානයේ ජීවත් වෙලා ඉන්න ඕනෙ. ඒ නිසා සමාජ සමීක්ෂණ කරමින් මේකට මුහුණ දෙන්න ඕනයි කියන එක අපි කියලා තියෙනවා.

රාජ්‍ය ආයතන ගැන ලොකු චෝදනාවක් තියෙනවා. විශාල වශයෙන් රටට බරක් කියලා. ඒ ගැන අපි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යෝජනාවලියක්ම ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය ආයතන තියෙනවා 2200 ක්. විගණකාධිපතිවරයා විගණනය කරන, අපි ඒවා පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය ආයතනත්, රාජ්‍ය ආයතනවල වැඩ කරන සේවකයෝ සම්බන්ධයෙනුත් යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරලා තියෙන දෙයක් තමයි සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතන වලට ඔවුන්ගේ ඇගයීමේ ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. යම් ඉලක්ක තියෙන්න ඕනේ. ඒ ඉලක්ක අත්පත් කරගන් නැති නිලධාරීන් හා පාලනයන් යම් වගවීමේ ක්‍රියාවලියකට යටත් කරන්න ඕනේ කියලා අපි කියනවා Key Performance Index  (KPI) හඳුන්වලා දෙන්න කියලා සියලුම ආයතන වලට. ආයතන ලාභ උපයමින් හොඳින් කරගෙන යනවා නං ඒ ලාභාංශ සේවකයින්ට ලැබෙන ක්‍රමයකුත්, පාඩු වෙනවා නං ඒවායේ පාලන අධිකාරීන් වෙනස් කිරීමේ ක්‍රමවේදත් අඳුන්වලා දෙන්න කියන එක අපි යෝජනා කරලා තියෙනවා.

ආරක්ෂක අංශවලට ශ්‍රී ලංකා පොලිසියටත් එක්ක වැය කරන මුදල සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වැය කරන මුදලට ආසන්නයෙන් සමානයි. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ අපිට යුද්ධයක් නැති රටකට  ලක්ෂ තුනක හමුදාවක් දැන් අවශ්‍යද? කියන ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙනුත් අපි යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ප්‍රවේසමෙන් කළ යුතු දෙයක්. එක පැත්තකින් ජාතික ආරක්ෂාව, අනිත් පැත්තෙන් රටේ මූල්‍ය වගවීම, ඒ වගේම මේ සෙබල පිරිස්, රටේ ආර්ථිකයට දායක කරගැනීමට ධනාත්මක යෝජනාවලියක් ඉදිරිපත් අපි කරලා තියෙනවා.

ඖෂධ පිළිබඳ කාරණය ගත්තම අපි පළමුවෙන්ම කියලා තියෙන්නේ මේ කොවිඩ් තත්වය වගේ එකක් කියලා සලකලා විශේෂඥ කණ්ඩායමක් අතට මේ ඖෂධ අවශ්‍ය මොනවද?  අත්‍යවශ්‍ය නොවන ඒවා මොනවද? ඒ වගේම මේ වියදම අඩු කරගන්නේ කොහොමද කියන එක. දැනට ඩොලර් මිලියන 380 ක්  ඖෂධ ගෙන්වීම සඳහා වැයවෙනවා. අපට දීපු වාර්තා වලට අනුව නම්, ඖෂධ 14000 ක් මේකට යටත්. මේකෙන්  තුනෙන් එකක් අත්‍යවශ්‍ය නොවන තත්ත්වයේ ඒවා ඉවත් කරන්න පුළුවන් කියන එක අපට දැනුම් දීලා තියෙනවා.පළමුව ජීවිතාරක්ෂක ඖෂධ Vital Medicines, ඊළඟට Essential Medicines, අත්‍යවශ්‍ය ඖෂධ ගැන ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන්න කියන එකත් ආයතන අතරේ විධිමත් කළමනාකරණයක් නොමැති බව අපිට පෙනී ගිහින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වූ යෝජනා ගණනාවක් අපි ලබා දීලා තියෙනවා. දැනට ලංකාවේ රජය නිදහස් සෞඛ්‍ය කිව්වට රජයේ වියදම 45% යි පෞද්ගලික වියදම ඒ කියන්නේ මිනිස්සුන්ගේ පොකට් එකෙන් යන ගාණ 55% යි. මේ පිළිබඳව අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කියලා තියෙනවා දැනට රට ඇතුලේ නිෂ්පාදනය කරන්නේ ඖෂධ වලින් 15% ක් පමණ. 70% ක් අමුද්‍රව්‍ය පිටින් ගේන්න ඕනේ. මේ තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා  රජයේ ඖෂධ නිපදවන සමාගම් එක්ක පුද්ගලික අංශයේ අයගේ ඒකාබද්ධ ව්‍යාපාර ඇති කරලා මේ අනුපාතය 30% දක්වා ගේන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දේශීය ආයුර්වේද බඩු සම්බන්ධයෙනුත් අපේ යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා.

ආහාර ගැන අපි බැලුවේ මූලික මූලධර්ම දෙකක් එක්ක. ආහාර සුලබතාවය. ඊළඟට ආහාර මිල දරාගන්න පුලුවන්ද කියන එක.  ඒ කරුණු දෙක මත බැලුවහම අපිට පෙනී ගිය දේ තමයි 2021 සිට 2022 දක්වා කාලය තුල සහල් මිල 100% කින් , එළවලු හා පලතුරු මිල 100%කටත් වඩා වැඩි වෙලා තිබෙන බව සහ ගොවීන් මේ අධික යෙදවුම් මිලත් එක්ක, පොහොර, ඉන්ධන සහ මේ ආදායම කියන ප්‍රශ්නත් එක්ක ලක්ෂ දාසයක් පමණ වන ගොවි පවුල් මේකෙන් ඉවත්වෙමින් තිබෙන ප්‍රවණතාවයක් ඇතිවෙලා තියෙනවා කියන එක. පොහොර ගෙන්වීම සඳහා, ලෝක බැංකුවෙන්, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන්, USAID ආයතනයෙන්,  මුදල් ලැබිලා තියෙනවා. නමුත් ඒවා නිසි ආකාරයට පාවිච්චි කරලා රටට අවශ්‍ය යූරියා, ලබාදීලා නැහැ බව නැති බව තමයි වාර්තා වෙලා තියෙන්නේ.  කෘෂිකර්මය සම්බන්ධයෙන් විශේෂ ක්‍රමවේදයක්  අනුගමනය කළ යුතුමයි. නැත්නම් ඒ ක්ෂේත්‍රය කඩා වැටීමට ලක්වෙන්න නියමිතයි. ධීවරයෝ සම්බන්ධයෙනුත් ඒකයි තියෙන තත්වය. ඒ පිළිබඳව අපි යෝජනාවලියක් දීලා තියෙනවා.

ලෝක බැංකු වාර්තාවට අනුව, රටේ ඉහළම ආදායම් ලබන සීයට විස්සක ප්‍රතිශතය සමෘද්ධිය ඇතුළු සහනාධාර ලබන සීයට දොළහක් ඉන්නවා. රටේ ඉහළම ආදායම් ලබන සීයට විස්ස ඇතුළෙත් සමෘද්ධිය ඇතුළුව ආධාර ලබන සීයට දොළහක් ඉන්නවා. ඒ වගේම රටේ පහළම ආදායම් ලබන සීයට විස්ස ඇතුලේ මේ යම්කිසි රටේ ආණ්ඩුවේ සමාජ ආරක්ෂණයක් ලැබෙන්නේ සීයට හතළිස් අටකට විතරයි. දැන් සීයට පනස් දෙකක් එළියේ ඉන්නේ. ඉතින් ඒක නිසා මේ අපි දැනට මේ සමෘද්ධි සහනාධාරය, ඒ වගේම වැඩිහිටි සහනාධාරය, ආබාධිත සහනාධාරය කියලා අපි ලබා දුන්නට මේවා සුදුසු අය අතට ලැබෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා. ඒක නිසා අපි යෝජනා කරලා තියෙනවා විධිමත් සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් සකස් කරන්න කියලා. දේශපාලන හිතවතුන් හැටියට පත් කරලා ඉන්න සමෘද්ධි නිලධාරීන් හරහා නෙවෙයි. කාටත් පේන ක්‍රියාමාර්ගයකට යන්න කියලා. අපි යෝජනා කරනවා විදුලි බිල ඒකක තිහට වඩා අඩුවෙන් පාවිච්චි කරන්නේ දුප්පත් අය. ඒ අය කෙලින්ම දුගියන් හැටියට හඳුනාගන්න කියලා ඒ පවුල් දහතුන් ලක්ෂය. ඊළඟ දුගී කණ්ඩායම ලෙස ඒකක හැටට වඩා අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අය අඳුනාගන්න කියලා අපි යෝජනා කරනවා. එතනත් ඉන්නවා තව ලක්ෂ දාහතක්. එතකොට මේ දෙක එකතු කළාම ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒක ඒකට කාගෙවත් ඇඟිල්ලක් ගහන්න ඕන්නෑ. විදුලි බිල බැලුවහම පවුල අඳුරගන්න පුළුවන්. මේකෙන් කෙලින් ම මේ අදාළ කණ්ඩායම් අඳුරගන්න පුළුවන්. ඒ වගේම ඒ අයට මුදල් ලබාදීම හා ඒ අයගේ ජීවන මට්ටම ඉහළ යනවද, පහළ යනවද කියන එක හොයා බලන්න කියන එක අපි යෝජනා කරලා තියෙනවා. අපිට පෙන්නලා දුන්නා ලෝක බැංකුව, ඇතැම් රටවල්. ඉතා සාර්ථකව මේ ක්‍රියාවලිය කරගෙන යමින් තියෙන බව,”

බලශක්තිය විශේෂයෙන්ම විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කරුණු දහයක් අපිට ඉදිරිපත් කළා මහාචාර්ය අනුර විජේපාල. එයින් අපි කරුණු ගණනාවක් තෝර ගත්තා. විශේෂයෙන්ම  තමන්ගේ බලශක්තිය තමන් නිපදවගන්න පුළුවන් අයට ඉඩ දෙන්න කියන එක. ලංකා විදුලිබල මණ්ඩලයේ සැපයුම් ජාලයෙන් නිදහස් වෙන්න දෙන්න කියන එක. මම විදුලිබල ඇමතිවරයා හැටියට 2010 දී Roof Top Sola හඳුන්වලා දුන්නා. දැන් අද මෙගාවොට් 690 ක් තියෙනවා. අපි යෝජනා කරනවා තවත් මෙගා වොට් 600 ක් කරලා, ඒකක 300 ට වැඩියෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන් පිරිසක් විදුලිබල පද්ධතියෙන් ඉවත් කරන්න. එතකොට විදුලිබල මණ්ඩලයට තියෙන ලොකු බරක් ඒකෙන් ඉවත් වෙනවා. ඒ වගේම මේ පුනර්ජනනීය බලශක්තිය ගැන ලොකු උනන්දුවක් තියෙනවා. මේවා කොහෙද තියෙන්නේ? කාගේ ඉඩම් වලද තියෙන්නේ කියලා ප්‍රසිද්ධ කරන්න. මේකත් දැන් එක්තරා ආකාරයක ගැටුමක්, ජාවාරමක් බවට පත්වෙමින් තිබෙන නිසා මේක ප්‍රසිද්ධ දත්ත පද්ධතියක් බවට පත් කරන්න කියලා අපි කියලා තියෙනවා. අපි යෝජනා කරලා තියෙනවා පැරණි උපකරණ අකාර්යක්ෂමයි. පරණ ඒවා වෙනුවට අලුත් කාර්යක්ෂම යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම් අරවා විකුණලා අලුත් ඒවා ගන්න අවශ්‍ය කරන ඩිජිටල් වේදිකාවක් පෞද්ගලික අංශයට සකස් කරන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම වාහන වාහන තමන් කැමති විදියට විකුණලා ඒ විකුණන වාහන වලට ලැබෙන ඩොලර් වලින්, විදුලි වාහන මිලදී ගන්න, එහෙම නැත්නම් හයිබ්‍රිඩ් වාහන මිලදී ගන්න. එහෙමත් නැත්නම් සූර්ය පැනල මිලදී ගන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. මේවා ලෝකයේ කරන්න පුළුවන් දේවල්, මේවා ආණ්ඩුව කරන්න ඕන දේවල් නෙමෙයි. මේ පුද්ගලික අංශය ඕන තරම් මේ රටේ ඉන්නවා. තමන්ගේ භාණ්ඩය වෙනුවට කාර්‍යක්ෂම භාණ්ඩයක් මිලදී ගැනීමට, විකිණීමට අවශ්‍ය කරන වේදිකාවක්. ඩිජිටල් ෆ්ලැට් ෆෝම් එකක් හදන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අපි යෝජනා කරනවා බොහොම පැහැදිලිව ඩීසල් මිල වැඩි කරන්න එපා කියලා. මොකද ඒක රටේ ආර්ථිකයට බලපාන එකක්. පොදු ප්‍රවාහනයට බලපාන එකක්. පෙට්‍රල් එක්ක බලනකොට ඒක රටේ ආර්ථිකයට ඉතා අත්‍යවශ්‍යයි. දැනට සියයට හැටකින් ඩීසල් ඉල්ලුම අඩුවෙලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ නිසා ඒකට ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන්න කියලා අපි ඉල්ලා තිබෙනවා. ආණ්ඩුවේ ආයතන වලට අති විශාල වියදමක් වැය වෙනවා විදුලියට, තෙල් වලට, ප්‍රවාහනය වගේ පැති වලට. ඒ නිසා සෑම  කාර්යාලයකටම බලශක්ති කළමණාකරුවෙක් පත් කරලා අඩු ගානේ සීයට දහයකින් බලශක්තිය ඉතුරු කරන්න ක්‍රියාමාර්ග ගන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. ප්‍රවාහනයට පළමුව ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න කියලා. අපිට පෙන්නලා තියෙනවා මේ වාහන අමතර කොටස් ගෙන ඒම වැලැක්වීම නිසා පහුගිය අවුරුදු දෙකේ විතරක් බස් විසි අටදාහේ ඉඳන්, විසිතුන්දාහට වගේ අඩුවෙලා තියෙනවා. ලංගම වගේම ඌබර්, පික්මී වගේත් මගී ප්‍රමාණය සීයට විසිපහකින් විතර අඩුවෙලා තියෙනවා. ඒ හින්දා මේ අපි යෝජනා කරනවා ෆ්ලැට්ෆෝම් එකක් හදන්න කියලා. අපි ඒකට කියනවා MAS කියලා. Mobility as Service. ප්ලැට්ෆෝම් එකක් හදන්න අපි යෝජනා කරනවා. පොදු ප්‍රවාහනයයි, පෞද්ගලික ප්‍රවාහනයයි ඒකාබද්ධ. අපි දැක්කා QR Code වගේ එකක් හඳුන්වාදීම නිසා කොච්චර ලොකු ප්‍රශ්නයක් විසඳුණාද කියලා. ඒ වගේ මේ තාක්ෂණය පාවිච්චි කරන්න. ඒ වගේම දුම්රිය සේවයටත් ඒක පාවිච්චි කරන්න. ඒකට අපි කිව්වේ අපේ අමාත්‍යාංශය ඉස්සර හඳුන්වලා දීපු සහසර නව වැඩපිළිවෙල යෝජනා කරන්න කියලා. තවත් යෝජනා ගණනාවක් තියෙනවා. මූලික කරුණු කීපයක් විතරයි හඳුන්වා දුන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේක තව පුළුල් කරලා සාකච්ඡාවක් කරන්න. අපි සාකච්ඡා කිහිපයක් ලෑස්ති කරලා තියෙනවා. එකක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ විශාල දුක් ගැනවිල්ලක් තියෙනවා මේ පොලී අනුපාතය ඉහළ යෑම. 30% පමණ පොලී අනුපාත ගෙවන්න බැරි වීම. බදු ඉහළ යාම. ඒ වගේම වෘත්තීයවේදීන්ගේ ප්‍රශ්නයක් තියෙනවා මේ බදු වැඩි කිරීම ගැන. ව්‍යාපාර කඩා වැටෙනවා නම්, ව්‍යාපාරිකයන් විදේශගත වෙනවා නම්, පුද්ගලයෝ විදේශගත වෙනවා නම් මේ බදු ගෙවන්න බැහැ කියලා. ඊට පස්සේ අපිට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.  කුඩා රැකියාවලට පවා දැන් විදේශගතවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙනවා එහෙම වුණොත් මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ. මේක මානව කාන්තාරයක් වෙනවා. ඒ නිසා ඒ සියලු ක්ෂේත්‍ර සමග අපි සාකච්ඡාවක් මේ ඉදිරි අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ පවත්වලා විධිමත් යෝජනාවක්, තවත් යෝජනාවක් අවසන් වාර්තාවක් දෙසැම්බර් මාසයේ හෝ ජනවාරි මුල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”