counter hit xanga

රාජ්‍ය සේවකයි සහන කාලයක් ඉල්ලයි!

Last Updated on June 8, 2021 by Desman Chathuranga

Covid-19 හේතුවෙන් පීඩාවට පත්ව ඇති රාජ්‍ය සේවකයින්ගේ බැංකු ණය වාරික සහ පොළි අයකර ගැනීම වෙනුවෙන් සහන කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය මුදල් අමාත්‍ය,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

ගරු අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය,
මහින්ද රාජපක්ෂ මැතිතුමා,
අග්‍රාමාත්‍ය කාර්යලය,
කොළඹ – 07.

ගරු අග්‍රාමාත්‍ය තුමනි,

Covid-19 යටතේ පීඩාවට පත්ව ඇති රාජ්‍ය සේවකයින්ගේ බැංකු ණය වාරික සහ පොළි අයකර ගැනීම වෙනුවෙන් සහන කාලයක් ලබා දෙන්න.

Covid-19 වෛරසය අද වනවිට ඉතාම සීඝ්‍රයෙන් රටපුරා ව්‍යාප්ත වෙමින් සියලූම මිනිස් ජීවිත අවධානමකට ලක්ව ඇති මොහොතක එම පීඩාවෙන් පීඩාවට පත්ව ඇති රාජ්‍ය සේවකයින් විසින් ගෙන ඇති රාජ්‍ය හා පෞද්ගලික බැංකු ණය සඳහා වාරික සහ පොළිය අයකර ගැනීම වෙනුවෙන් සහන කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයින් පවතින වටපිටාවත් සමඟ සැලකිය යුතු ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇති අතර පොදු ජනතාව ද දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති අතර මෙවැනි මොහොතක ජනතාව ලබා දිය හැකි සහන පිළිබඳ ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු විය යුතු බව අපගේ විශ්වාසයයි,

  1. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයට අදාළ රාජ්‍ය සේවකයින් සඳහා අප්‍රේල් මස වැටුප් අප්‍රේල් 10 ට පෙර ලැබීමත් මැයි 21 වනතුරු වැටුප් ලැබීම දක්වා වන අතර කාලය වැඩි වීමත් සමඟ ආර්ථික අපහසුතාවයකට ලක්වීම,
  2. සංවර්ධන නිලධාරීන් ඇතුළු සාතිශය බහුතරයක් රාජ්‍ය සේවකයින් තම වැටුපෙන් යා හැකි උපරිම ප්‍රමාණයක් දක්වා බැංකු ණය ලබාගෙන ඇති අතර එම ණය පහසුකම් යටතේ නිවසක් ඇතුළුව ඔවුන්ට ජීවත්වීමේ අවම මූලික පහසුකම් සපුරාගැනීමට සිදුව තිබීම,
  3. බැංකු ණය සඳහා වන වාරික හා පොළිය මාසික වැටුපෙන් අයකර ගත් පසු ජීවත්වීම සඳහා ප්‍රමාණවත් වැටුප් මුදලක් ඉතිරි නොවීම,
  4. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයින්ට සිය රාජකාරියට අමතරව අතිරේක රාජකාරී කිරීමෙන් උපයාගතහැකි අතිකාල දීමනා හා වෙනත් දීමනා අහිමි වීම මගින් ආර්ථික අපසහසුතා උද්ගත වීම,
  5. උද්ගතව ඇති තත්වය තුළ පොදු මගී ප්‍රවාහන සේවා අත්හිටුවා තිබීම මගින් රාජකාරී සඳහා යන රාජ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයාගැනීම සඳහා අතිරේක මුදල් දැරීමට සිදුව තිබීම,
  6. 2021 සඳහාවන ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරමින් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීමක් සිදු නොකළ අතර ඒ වෙනුවට රාජකාරී කාලසීමාවෙන් පසු වෙනත් රැකියාමාර්ගවල නිරත වීමට අවසර දුන්න ද එවැනි වෙනත් රැකියාමාර්ගවල නිරතවෙමින් අතිරේක මුදලක් උපයාගැනීමට කිසිඳු රාජ්‍ය සේවකයකුට පවතින #Covid-19 සෞඛ්‍යාරක්ෂිත උපදෙස් හා සංචරණ සීමා නිසා නොහැකි වීම.

ආණ්ඩුව ව්‍යාපාරික ප්‍රජාව සඳහා බැංකු ණය වෙනුවෙන් ගෙවිය යුතු වාරික සහ පොළිය ගෙවීමට 2021 අගෝස්තු 31 දින දක්වා සහන කාලයක් ලබා දී ඇත. ජීවත්වීම සඳහා සිය එකම ආදායම් මාර්ගය වූ රාජ්‍ය සේවක මාසික වැටුප පමණක් හිමි බැංකු ණය හේතුවෙන් අදාළ වැටුප පවා මාසිකව හිමි නොවන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයින්ට තමන් ලබාගෙන ඇති බැංකු ණය මුදලේ වාරික සහ පොළී අයකරගැනීම සඳහා සාධාරණ සහන කාලසීමාවක් ලබා දෙන මෙන් රාජ්‍ය හා පෞද්ගලික බැංකු කළමණාකාරීත්වය සඳහා ආණ්ඩුවේ අනුමැතිය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
කැඳවුම්කරු
චන්දන සූරියආරච්චි
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.