counter hit xanga
March 28, 2023

රේන් මෑන් (Rain Man)

Last Updated on December 3, 2022 by Desman Chathuranga

ඉඳල හිටල කතා කරන ලංකාවෙ මිත්‍රයෙක් ඉන්නව, මේ හාදයා රනිල් වික්‍රමසිංහ ගැන ටිකක් වර්ණනා කරනව. එයා දවසක් කියනව

“මහින්දයි එයාගෙ සහෝදරයොයි … දරුවො තුන්දෙන‍යි ඔක්කොම නූගත් ගොබ්බයො .. ඒ අයට තියෙන්නෙ කෛරාඨික හොරකම් කරන ඔළු විතරයි.. නමුත් රනිල් වැඩකාරයා… උගතා ඒ හින්ද තමයි රාජපක්ශල මුලින් ඊරිසියාවෙන් පිපිරුනේ. හැබැයි දැන් රනිල්ගෙ පිහිටෙන් තමයි රාජපක්ශල හිරේ නොගිහින් ඉන්නෙ.”

“ඇත්ත වෙන්න පුළුවන්… උගත් උනත් එයා දැන් මහළු මඩමක ඉන්න ඕනෙ වයසනෙ… ඔය හාදයාට තියෙන්නෙ ඇල්සයිමර් රෝගය වෙන්න ඇති මේ තරම් විකාර දොඩවන්නෙ පාර්ලිමේන්තුවේ…” හිත රිදවන්න හොඳ නැති නිසා මම උත්තර දෙනව.

“ඇ‍යි ඔහොම කතා කරන්නෙ… මොනවද එයා කියවපු විකාර.? “

මිත්‍රයා අහනව…

“විශේෂයක් නෑ… ඔය කීවෙ අංගුලිමාල සිවුර දාගෙනත් හතුරුකම් කරනවය … ජර්මනියට න්‍යශ්ඨික බෝම්බ වැටුනත් ඒ මිනිස්සු නැගිට්ටය… අරගල කරුවන් ෆැසිස්ට් කාරයෝය… මම නම් හිට්ලර් වගේ විනෝද කතා ටිකක්… හිට්ලර්, චාර්ලි චැප්ලින් එක්ක මාරු කරගත්තට අවුලක් නෑ.. අඩුම තරමෙ හිනාවෙන්න වත් පුළුවන් මෑන් එක්ක.”

” ඔයාටත් ඉතින් වචනයක් එහෙ මෙහෙ වෙන්න බෑනෙ… මට හිතෙන්නෙ මෙයා බුද්ධිමත්… නමුත් ඒක පෙන්නන්න ගිහින් කට වරද්දව ගන්නව කියල … “

මොනව කියන්නද මේ වගේ කතාවලට.

” ඕකට නේද කියන්නෙ උගතාගෙ සින්ඩ්‍රෝමය කියල… ඉංග්‍රීසියෙන් කියන්නෙ සවාන්ට් සින්ඩ්‍රෝමය නෙවේද…”

මොකක් රනිල්ට සාවාන්ට් සින්ඩ්‍රෝමය ..ඒ අදහසට හිනා යන්න ආවත් .. එහෙම කරන එක ආචාරශීලී නැහැ… ඔන්න ඔය වෙලාවෙ තමයි රේන් මෑන් මතකයට ආවෙ.

“මොනව වුනත්… ජාතියයි සාසනෙයි බේරගන්න බැසිල් … නාමල් වගේ යුග පුරුශයෙක් ඉදිරිපත් වෙනකල් වික්‍රමසිංහ උන්නැහැ කලිසම උස්ස උස්ස කතංදර කියාවි… කන්න බොන්න නැතිවුනත් කමක් නෑ.. රට බංකොලොත් වුනත් කමක් නෑ.. මෙතුමා හෙල ජාතියයි සාසනෙයි අනිවාර්‍යන් බේර ගන්නව.. ආයෙ අහන්න දෙයක් නෑ.. අනිත් කාරනේ එතුමගෙ මොලේ දාගෙන යන්න යුධ හමුදාවෙන් අධි තාක්ශණික බෑග් එකක් හදල තියෙන්නෙ සේවා දිගු බලාපොරොත්තුවෙන් හෙම නෙවේ … නාසා ආයතනයත් පුදුම වේවි හෙට අනිද්දා… “

ඔය වගේ කතා වලින් ඇමතුම ඉවර වෙනව.

නමුත් රේන් මෑන් චිත්‍රපටිය ආපහු සැරයක් මතක් වෙන එක නම් වලක්වන්න බැහැ.

අනූව දශකයේ මුල වගේ දකින්න ලැබුනු රේන් මෑන් හරි අපූරු චිත්‍රපටියක්… ( Rain Man 1988). ටොම් කෲස් රඟපාන්න දන්නෙ නැති වුනාට මේ කතංදරේදි චාර්ලි බාබිට් විදිහට එක්තරා දුරකට සාධාරණයක් ඉටුකරනව.

මේ කතංදරේදී විදිහට චාර්ලිගෙ ධනවත් පියා මිය යන්නෙ එයාගෙ මහා ලොකු වස්තුව චාර්ලිට නොදී චාර්ලිගෙ සහෝදරයා වුනු රේමන්ඩ්ට පවරල දීමෙන්. චාර්ලි හොඳම වර්ගයේ කපටියෙක් වුනත් එයාගෙ සහෝදරයා රේමන්ඩ් මානසික රෝහලක දිගු කාලීනව ප්‍රථිකාර ලබන අහිංසක රෝගියෙක්.

දේපලයි ධනයයි ගැන තියන තණ්හාවට චාර්ලි ..රේමන්ඩ්ව හොයාගෙන යනව.

රේමන්ඩ් ගුවන් ගමන් වලට පොඩ්ඩක්වත් කැමති නෑ.. ඒ නිසා මේදෙන්න ලොස් ඇන්ජලීස් වලට කාරෙකෙන් යන්න තීරණය කරනව. රේමන්ඩ් වැස්සට පුදුමාකාර විදිහට බයයි. මේ යන දිග ගමනෙදි චාර්ලි දකිනව රේමන්ඩ්ගෙ පුදුමාකාර දක්ශකම්.

පැයක් ඇතුලත දැකපු ගොඩැනැගිලි.. ලිපින… කලින් බලපු චිත්‍රපටියෙ සියළුම විස්තර.. අංක… හැමදේම රේමන්ඩ්ට මතකයි. ඊයෙ මුන ගැහුනු වාහන..පාරවල් ඔක්කොම මෙයාගෙ මතකෙ තියනව.

මේ මතකය නැත්තං බුද්ධියත් එක්ක ,කතාවට.. මිනිස්සු මුණ ගැහෙන්න රේමන්ඩ් බොහොම බයයි. මේ තමයි රේමන්ඩ්ගෙ මානසික දුර්වල කම.

මේ මතකය හා හැකියාව කැසිනෝ ක්‍රීඩාවට.. ඔට්ටුවට යෙදෙව්වොත් මොකක් වෙයිද. චාර්ලි කල්පනා කරනව. මෙන්න මේ වගේ කතාවක් තමයි රේන් මෑන් චිත්‍රපටිය.

මොකක්ද රේමන්ඩ්ට තියන රෝගය..? අන්න ඒකට තමයි සවාන්ට් සින්ඩ්‍රෝම් ( Savant syndrome / FG syndrome) කියන්නෙ. පුදුමාකාර මතක ශක්තිය.. එකවර කිහිප තැනකට අවධානය යොමු කිරීමේ හැකියාව මේ රෝගයේ රෝග ලක්ශණ වලින් කීපයක්.

මේ රේන් මෑන් කතංදරේට පාදක වෙන්නෙ හැබෑ චරිතයක්.

එයා තමයි කිම් පීක්. Laurence Kim Peek (November 11, 1951 – December 19, 2009)

1951 අවුරුද්දෙ එක්සත් ජනපදයේ උට්ටාහ් ප්‍රාන්තථයේ උපත ලබන ලෝරන්ස් කිම් පීක් පුදුමාකාර මතකයට හිමි කම් කියනව.

නමුත් ඒ එක්කම සමාජයට පුදුමාකාර බයක් දක්වනව.

පොත් දොලොස් දාහක පමන තොරතුරු මතකයෙන් කියන්න පුළුවන් කම තියන මේ මහත්තයාට ඒ හැම පොතකම වාක්‍ය.. පිටු.. චරිත ඕනෑම එකක් මතකයි.

පොත් දෙකක පිටු දෙකක් එකවර කියවීමේ හැකියාවත් එයාට තියනව.

සාහිත්‍ය.. විද්‍යාව.. ඉතිහාසය වගේ විශයන් වල ඕනෑම කාරණයක් එයාට මතකයෙන් කියන්න පුළුවන්.

ලොරන්ස් පීක් මහත්තයාට තියන රෝගය තමයි බුද්ධිමතාගේ සින්ඩ්‍රෝමය ..එහෙමත් නැත්තනම් එෆ් ජී සින්ඩ්‍රෝමය විදිහට හඳුන්වන්නෙ.

මේ අය සමාජයෙන් ඈත්ව ජීවත් වෙන බොහොම නිහඬ මිනිස්සු.

ඒ අය කටමැත දොඩවන්න ගිහින් අසරණ වෙන වර්ගයේ අය නෙවෙයි.

මෙන්න මේ පීක් මහත්තයා තමයි ලෝක ප්‍රසිද්ධ රේන් මෑන් චිත්‍රපටියට පාදක වෙන්නෙ.

මේ හැමදේම කියන්න සිද්ධ වුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ පුදුමාකාර බුද්ධියත් … ලංකාවෙ ලොකුම පුස්තකාලයේ අතීත හිමිකරුවා වීමත් කියන කාරණා ගැන අහන්න ලැබුනු නිසයි.

වෙලාවක් ලැබුනොත් බලන්න.. රේන් මෑන් ලස්සන පිංතූරයක්…

පාර්ලිමන්ට් ජෝක් වලට වඩා හොඳයි.

මැල්කම් සැන්ග් (Malcolm Sang)