Last Updated on October 6, 2022 by Lankae Cast
මේ මොහොතේ කෙනෙකුට කළ හැකි ලොකු ම දේශපාලනික වරදක් වන්නේ රනිල් වික්‍රමසිංහට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අවංක වුවමනාවක් ඇතැයි සිතීමයි.
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට සිදුවන්නේ ඉතා ම ප්‍රයෝගකාරී දේශපාලන ගේම් එකක්.
මා තේරුම් ගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ තමන් ගේ බලතල එක දශමයකින් හෝ අඩුවෙනවාට කැමති පුද්ගලයෙකු නෙවෙයි.
එමනිසා ඉතා සීමිත අන්දමින් හෝ විධායක ජනාධිපතිධූරයේ ඇතැම් බලතල පාර්ලිමේන්තුවට පැවරෙන අන්දමේ දුර්වල ව්‍යවස්ථා සංශෝධනයකට හෝ රනිල් කැමති වේ යැයි සිතන්නට අපහසුයි.
විශේෂයෙන් ම 22 වන සංශෝධනය රනිල් ගේ වුවමනාවට ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයක් නොව ගෝඨාභය රාජපක්ෂ අරගලයේ උච්ඡත ම ස්ථානයේ දී තමන් ගේ ඇඟ බේරා ගැනීම සඳහා ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයක්.
රනිල් ජනාධිපතිධූරයට පත්වුණු පසුව ඔහුට මේ ගෝඨාභය ආරම්භ කළ කාර්‍යය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යම් දුරක් ඉදිරියට ගෙන යා යුතුව තිබුණා. එහෙත් ඔහුට එය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නට ඇත්ත වුවමනාවක් තිබෙනවා යැයි මා මොහොතකටවත් හිතන්නේ නැහැ.
ඒ නිසා 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ කඩාකප්පල් වෙනවාට වඩාත් ම කැමති පුද්ගලයා වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහයි.
මේ වන විට ආණ්ඩු පක්ෂය තුළින් ම 22 වැනි සංශෝධනයට එරෙහිව නැගී තිබෙන විරෝධය රනිල් විසින් ම පිටුපස සිට අවුළුවන ලද එකක් විය හැකියි.
පොහොට්ටුව තුළින් 22 වැනි සංශෝධනයට එරෙහිව නැගෙන විරෝධයේ ප්‍රධාන ස්වරූප දෙකක් තියෙනවා.
සරත් වීරසේකර වැනි අන්ත ජාතිකවාදීන් කියන්නේ පළාත් සභා සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකොට විධායක ජනාධිපතිධූරයේ බලතල අඩු කිරීම භයානක බවයි. සරත් වීරසේකර වැනි අය අතීතයේ සිටන් ම සිටි මතය එය නිසා එය ඔවුන් ගේ අවංක අදහස යැයි හිතන්න පුළුවන්.
ඒත් බැසිල් ගේ පාලනය යටතේ සිටින පොහොට්ටු පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිස කියන්නේ මේ මොහොතේ රට ස්ථාවරව පවත්වා ගන්න නම් විධායක ජනාධිපතිධූරයේ බලතල අඩු නොකළ යුතු බවයි. ඔවුන් ගේ තර්කය වන්නේ අරගලකරුවන්ගෙන් පාර්ලිමේන්තුව බේරා ගත හැකි වුණේ විධායක ජනාධිපති බලතල නිසා බවයි. නැවත වරක් රටේ අර්බුදකාරී තත්ත්වයක් උදාවුවහොත් එය පාලනය කරගැනීම සඳහා විධායක ජනාධිපතිධූරය අවශ්‍ය බව ඔවුන් කියනවා.
ඒ පදනම මත ඔවුන් විධායක ජනාධිපති ධූරයේ බලතල අඩුකිරීමට විරුද්ධ වෙනවා.
බැසිල් ගේ කණ්ඩායමෙන් එළියට ප්‍රකාශ වුණාට මේ වෙලාවේ රනිල් අහන්නට වඩාත් ම ආසා කරන කතාවත් එය බව තේරුම් ගන්නට ඒ තරම් අමාරු නැහැ.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට කියා ඇත්තේ මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වැඩිදුරටත් කරුණු පැහැදිලි කර දෙන ලෙසයි.
මේ හැම දෙයක් ම සිදුවන්නේ 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් සඳහා ගැනීමට දවස් දෙකක් පමණක් ඉතිරිව තිබියදීයි.
මා හිතන විට මේ මතභේද හේතුවක් වශයෙන් දක්වා 22 වැනි සංශෝධනය සම්මත කරන ක්‍රියාවලිය කල් දමන්නට විශාල ඉඩකඩක් තියෙනවා.
එය රනිල් ගේ සටකපට යටි අරමුණු සමග පෑහෙන ප්‍රතිඵලයක්.
මේ දේශපාලන ගේම් නිසා සිදුවන ඇත්ත පාඩුවක් වන්නේ 22 වැනි සංශෝධනයේ අඩංගු වන දූෂණ මර්දන ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නොහැකි වීමයි. එක්සත් ජාතීන් ගේ දූශණ විරෝධී සම්මුතියට (UN Convention Against Corruption) අනුව නව දූෂණ මර්දන නීති ගෙනඒමට 22 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන ඇතුළත් වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගට ම පෙන්වා ඇති කාරණයක් වන්නේ මූල්‍ය විනය සහ විනිවිදභාවය තහවුරු කෙරෙන නව නීති ඉක්මනින් හඳුන්වා දිය යුතු බවයි. මේ මොහොතේ මෙම 22 වැනි සංශෝධනයේ ඇතුළත් දූෂණ මර්දන නීති සම්මත කළ හැකි නම් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡාවලට කිසියම් අමතර රුකුලක් වෙනවා.
ඒත් රනිල් සහ පොහොට්ටුව විසින් පාර්ලිමේන්තුවේ ඉත්තන් අදිමින් කරන මේ දේශපාලන ප්‍රයෝගය නිසා ලංකාවට එම අමතර වාසිය අහිමි වෙනවා.
මේ හැම දෙයින් ම තහවුරු වන එක දේවල් කිහිපයක් තියෙනවා.
ඒ, රනිල් ඇතුළු මේ ආණ්ඩුවේ නායකයන්ට තමන් ගේ පුද්ගලික බල සූදුව හැරෙන්නට මේ මොහොතේ පවතින වියවුල නිවැරදි කරන්නට කිසිම වුවමනාවක් නැති බවයි.
දේශපාලන ළදරුවන් වන සජිත් ඇතුළු විපක්ෂයටත් රනිල් ගේ ප්‍රයෝගකාරී ක්‍රීඩාවේ ඉත්තන් බවට පත් වනවාට වඩා වෙන කරන්නට කිසිවක් නැති බවයි.
ජාතික ජන බලවේගය ඇතුළු වාමාංශික බලවේගවලට මේ අවුලේ ස්වභාවය ගැන අබමල් රේණුවක වැටහීමක් හෝ එයට ඵලදායී විසඳුම් ඉදිරිපත් කරන්නට ධාරිතාවක් නැති බවයි.
මේ පැරණි දේශපාලන සංස්කෘතියට, සටකපට ප්‍රයෝගවලට යා හැකි උපරිම දුර අප දැන් ගොස් අවසානයි. මේ දේශපාලන ගේම්වලින් අද අප මුහුණ දෙන දැවැන්ත වියවුල ලිහන්නට බැහැ
මේ නිසා ලංකාවේ පෙර කවදාවත් නොවූ තරමේ දේශපාලන රික්තකයක් අද වන විට නිර්මාණය වී තිබෙනවා.
මේ රික්තකය පිරවිය හැක්කේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත පදනම් වූ, ජනප්‍රිය, බොළඳ කතා කියමින් වචනවලින් කැටයම් දමනවා වෙනුවට ප්‍රායෝගික දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙලක් සහිතව කරළියට එන නව දේශපාලන බලවේගවලටයි. ඔවුන් මේ වෙලාවේ රැස්වීම්වල ඔළුගෙඩි පුරවා සතුටු වන ළමා ක්‍රීඩාවෙන් ඈත්ව ශක්තිමත් මතවාදීමය පසුබිමක් ගොඩනැගිය යුතුයි.
එම හැම බලවේගයක් ම පොදු වැඩපිළිවෙලක් තුළ කිසියම් අවබෝධයක් ගොඩනගා ගත යුතුයි.
රනිල්ට මේ දේශපාලන ප්‍රයෝගවලින් සහ මර්දන යාන්ත්‍රණයේ උදව්වෙන් සීමිත කාලයක් සඳහා බලය තහවුරු කරගන්නට පුළුවන්. එහෙත් දිය යට හැංගූ රබර් බෝලයක් මෙන් ඇත්ත ප්‍රශ්නය කවදා හෝ උඩට මතු වෙනවා.
මේ ඉන්ටවල් එක තුළ අප සූදානම් විය යුතුයි – ශක්තිමත් විය යුතුයි.
ඉන්ටවල් එක අවසන් වූ වහා ම අප සියලු දෙනාට ම සත්‍යයේ හෝරාවට මුහුණ දිය යුතු වෙනවා.
–රසික ජයකොඩි, මාධ්‍යවේදී/දේශපාලන විශ්ලේෂක
More Stories
අධිකරණයට සහ මාධ්‍ය ආයතන වලට සිදුකරන බලපෑම හෙලා දකිමු!
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි