counter hit xanga
October 22, 2021

RW යථාර්ථය දකී!, SP සිහින දකී! රනිල්ගේ ආපසු ගමන සහ ධනපති පන්තියේ නායකත්ව අර්බුදය!

Last Updated on June 28, 2021 by Panduka Herath

මහ මැතිවරණය නිමාවූයේ අගෝස්තුවේ වුවද, එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට, පුරා වසරකට ආසන්න කාලයක් හිස්ව පැවතිය.ඒ පැහැදිලිවම සැලසුම් සහගතව ‘මැනලා ගත්’ පියවරකි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා දැන් ඒ සඳහා පත් කරනු ලැබ ඇත. 1978 විධායක ජනාධිපති ක‍්‍රමය සැලසුම් සහගතව නිර්මාණය කරනු ලැබුවේ, ශ‍්‍රී ලාංකීය ධනපති පන්තිය සදාකාලිකව බලයේ රැඳී සිටීමේ පන්තිමය අවශ්‍යතාවය අනුවය. ජේ.ආර්. ගේ සිහිනය සැබෑ නොවීය. සිදුවූයේ පක්ෂය දෙකඩ වීමය.

පාර්ලිමේන්තු නියෝජනය බිංදුවට බැසීමය. ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තියේ නායකයා පාර්ලිමේන්තුවෙන් පමණක් නොව දේශපාලනයෙන්ද ඉවත් කරලීමය. මෙය ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තියට පමණක් නොව ලෝක ධනපති පන්තියට මෙන්ම අධිරාජ්‍යවාදී කඳවුර ලද ප‍්‍රබල පසුබැස්මකි. ඇමරිකන්-බි‍්‍රතාන්‍ය-ප‍්‍රංශ තුන් ඈදුරුව නිර්මාණය වූ බහුභූත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටම අර්බුදයට ලක් කොට ඇත. රනිල් වික‍්‍රමසිංහ යනු පූර්ව සැලසුම් ඇතිව හදා වඩා පෝෂණය කර ධනපති පංතියේම අතිජාත පුත‍්‍රයාය. ජේ. ආර්. ජයවර්ධන නොහොත් ‘යැංකි ඩිකී’ වශයෙන් නම් දැරූ ධනපති පන්තියේ නායකයා, පළමු විධායක ජනාධිපති වශයෙන් පත් වන විට තමන්ගේම කැලණිය ආසනයේ කොටසකින් බිහිවූ තම බියගම ආසනයේ හිමිකම තම බෑණා වෙත ලබා දුන්හ.

1977-2020 දක්වා පුරා වසර 43ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල්ගේ අඛණ්ඩ නියෝජනය රඳවා තබා ගැනීම සඳහා ඔහු ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ඉවත්කරනු ලැබ, වඩා සුරක්ෂිත කොළඹ දිස්ත‍්‍රික්කයට ගෙන එනු ලැබුවේ රටේ අවශ්‍යතාවයට නොව ධනපති පංතියේ අවශ්‍යතාවයටය. රනිල් සිය 43 වසරක පාර්ලිමේන්තු ජීවිතයේ පසුපෙළ මන්ත‍්‍රීවරයෙකු වී සිටියේ නැත. ආරම්භයේදීම උප ඇමැතිවරයෙකු, අමාත්‍යවරයෙකු, සභානායක, අගමැති, විපක්ෂ නායක ආදී ධුර දරමින් සිටි මුල් පෙළේම නායකයෙකි. පසුපෙළ මන්ත‍්‍රීවරයෙකු නොවීමද, ඓතිහාසික වාර්තාවකි. මුළු 43 වසර පුරාම රජය නඩත්තු කළ එකම මන්ත‍්‍රීවරයාය. පළමු දින සිටම නිල වාහනයකට හිමිකම් ලැබූ
කුමරෙකු විය. රේගු බද්දෙන් තොර වාහන කීයකට ඔහු හිමිකම් ලබන්නට ඇත්ද? සෑම දිනම නිල නිවාසයකට හිමිකම් ලැබූ එකම මන්ත‍්‍රීවරයා ද විය හැකිය. නිදහසින් පසු මෙතරම් වාසනාවක් ලැබූ තවත් කුමාරයෙකු සිටියේ නැත.

රනිල් යථාර්ථය දුටු අතර, සජිත් දකින්නේ සිහිනයයි. දෙදෙනා අතර වෙනසද එයයි. ධනපති පන්තියට දේශපාලන පක්ෂයක් අවශ්‍ය වී තිබේ. එය සපුරාලීමට රනිල් ඉදිරිපත් වී සිටී. එය පන්තියේ වුවමනාවය. හාවා පරදවා ඉබ්බා ජයගත හොත් පුදුමයක් නොවේ.

ඔහුට තම ආසනය පවා අහිමි වනු ඇතැයි ජේ.ආර්. ජයවර්ධන සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ‘ඔටුනු පළඳන්නට කුමරෙකු නැතැයි’ පළමු විධායක ජනාධිපති ධුරයට පත් ජේ.ආර්. කියා සිටියද, ඒ ඔටුන්න හිමි කුමරා පුතා නොව රනිල් බෑනා විය. එවැනි පුතෙකු නොසිටියද, පුතුට වඩා ධනපති පන්තිය රැකුමට ඔහු වඩාත් සුදුසු පුද්ගලයා වශයෙන් තෝරා ගත්තේ තම ලේ බෑණාය. රනිල් පරදින විට අහිමි වූයේ පවුලට කුමාරයෙකු නොව, සිය ධනපති පන්තියට ආරක්ෂකයෙකුය.

සිරස ,ලංකාදීප සටන

පක්ෂය දෙකඩ වූයෙන්, ඔහු පරාජයට පත්වූයේ ඔහුගේ වරදින් මිස, සජිත් පේ‍්‍රමදාසගේ දක්ෂකම නිසා නොවේ. තමන්ගේම ලේ නෑදැයා වූ රුවන් විජේවර්ධන නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් කොට, නායකත්වයට සූදානම් කරන විට හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසගේ පුතා කරළියට පැමිණ හමාරය. රුවන් ගොඩනැගීමට රනිල් පමා වූවා වැඩිය. ධනපති පන්තියට වඩාත් සුදුසු හා ගැලපෙන පුද්ගලයා ‘රුවන්’ බවට රටට ප‍්‍රදර්ශනය කිරීම රනිල් අතින් ප‍්‍රමාද විය. ඒ අතර, සජිත් කරලියට ගොඩ නැඟුවේ සාම්ප‍්‍රදායික ධනපති පන්තිය විසින් නොව, නව ලිබරල් ධනපති පන්තියේ පුරෝගාමියෙකු වන ‘සිරස’ මාධ්‍ය ජාලයේ අධිපති මහරාජා විසින් බව දන්නේ ටික දෙනෙකුය. ‘Sirasa’ මාධ්‍ය ජාලය දිගින් දිගටම රනිල්ට ප‍්‍රහාර එල්ල කළේ සජිත්ට තැන ලබා දීමට මිස රනිල් පලවා හැරීමට නොවේ. සජිත් යූ.ඇන්.පී.යේ නායකයා බවට පත්වෙන බවට, සහතිකයක් තිබුණේ නම්, සිරස එසේ රනිල් එළව එළවා පහර දීමට තරම් සාහසික නොවන්නට තිබුණි.

සජිත් විකල්ප යූ.ඇන්.පී.යක් ගොඩ නැගීමට තීරණය කළේ තමන්ට ජනපතිකම තබා අගමැතිකමවත් සහතික නොවූ බැවිනි. නව පක්ෂයක් ගොඩ නැගීමට හැර අන්දෙ යක් කිරීමට ඉතිරිව නොතිබිණ. දැන් ගැටුම ‘ලංකාදීප’ මාධ්‍ය ජාලය සහ ‘සිරස’ මාධ්‍ය ජාලය අතර වූ ධනපති පන්තිය තුළම වන, ධනපති පන්තියේ නායකත්වය සඳහා වූ අරගලයකි. ජාතික ලැයිස්තුව නොපුරවා හිස්ව තබා ගත්තේ පන්තියට අවශ්‍ය සහ සුදුසු නායකයා යළි කරළියට ගෙන ඒමේ පන්තිමය උවමනාව අනුවය.

ගතවූ වසර එක තුළ සජිත් පේ‍්‍රමදාස නව යූ.එන්.පි.යේ නායකයා බවට පත් වුවද, ජනාධිපති ධුරයට තරග කිරීමට අවස්ථාව ලැබුණද, පසුව විපක්ෂ නායකකම ලැබුණද, ඔහු ධනපති පන්තියේ නායකයා බවට පත්වීමට තවමත් සුදුසුකම් ලබා නැත. ඔහුගේ පාර්ලිමේන්තු නායකත්වය තබා දායකත්වයද රටට පෙන්වීමට අසමත් වී තිබේ. සජිත් අනුකාරක නායකයකු මිස ධනපති පංතිය තුළින්ම බිහිවූ සහජ දක්ෂකම්වලින් යුත් නායකයෙකු නොවේ. එදා නායකත්වය සඳහා ගාමිණි දිසානායක පරදවා පේ‍්‍රමදාස වැඩි ඡන්දෙන් පක්ෂය තුළ ජයග‍්‍රහණය කළේ තම සහජ දක්ෂතා තුළිනි.

සජිත් දේශපාලන වලිප්පුවෙන් පෙළෙන දරුවෙකි…..

සජිත් නායකත්වයට ආධුනිකයෙකි. ඔහුට වැරදුනේ කොතනද? ඔහු යූ.එන්.පී.කාරයෙකුට වඩා, වඩා හොඳ ශ‍්‍රී ලංකාකාරයෙකු බව පෙන්වීමට ගිය හෙයිනි. තම පියා වූ රණසිංහ පේ‍්‍රමදාස අනුගමනය නොකර, මහින්ද රාජපක්ෂ අනුගමනය කරමින් මහානායක හාමුදුරුවන් ඇසුරු කිරීමට පෙළඹුණේය. ‘මා නව ලිබරල්කාරයකු නොවේ’ කීමට තරම් එඩිතර වූයේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නොහොත් පොහොට්ටුවේ ඡන්ද පදනම ඉලක්ක කර ගනිමිනි. මහින්ද රාජපක්ෂ කොතැනකවත් තමා නව ලිබරල්වාදයෙන් ඉවත්වීය යයි කීමට තරම් එඩිතර නොවීය. එහෙත්, සජිත්ට තමා නියෝජනය කරන්නේ ධනපති පන්තිය බව වටහා ගත්තේ නැත. නැත්නම් ඔහු උත්සාහ කළේ ජනතාව ගොනාට ඇන්දවීමටය. රනිල් වික‍්‍රමසිංහ ඉබ්බා මෙන් සෙමින් සෙමින් ඉවසා දරාගනිමින් පසුගිය වසර 1 1/2 ගතකළේ මාන බලමිනි.

අවිවාදයෙන්ම, අධිරාජ්‍යවාදී කඳවුර සජිත් දෙස මාන බලමින් සිටින්නට ඇත. සජිත්ගේ පාර්ලිමේන්තු භූමිකාව අසාර්ථකය. රණසිංහ පේ‍්‍රමදාස ගොඩනැගුණේ විපක්ෂ මන්ත‍්‍රීවරයකු වශයෙනි. සජිත්ගේ විපක්ෂයේ භූමිකාවද සෝචනීය තත්ත්වයකි. ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙන් ජනප‍්‍රියවාදය පසුපස යන වොයිස් කට් දේශපාලනඥයෙකු බවට පත්ව ඇත. සජිත් පරිණතභාවයක් ලබා නැති අතර, දැනුමද හුදෙක් කටපාඩම් කිරීමෙන් ලැබූ දැනුමකි. විචාර බුද්ධියක් ප‍්‍රදර්ශනය කිරීමට අසමත් වී තිබේ. තවමත් දේශපාලන වලිප්පුවෙන් පෙළෙන දරුවෙකි.

රනිල් නරියෙකි,අන්දරේ කෙනෙකි,

රනිල් තම පියා (එස්මන්ඞ්) සහ මාමා (ජේ.ආර්.) මෙන්ම කපටියෙකි. කපටි නරියාගේ මෙන්ම කවට අන්දරේගේ හාස්‍යජනක ගති ලක්ෂණද රනිල්ට පිහිටා තිබේ. උපාය දක්ෂයකු බව රටම පිළිගත්තද, ඔහු උපායමාර්ග සහ උපක‍්‍රම අතර ගැළපීමක් නොමැතිවීම නිසා වැරදුණ අවස්ථා බොහෝය. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලිට මෙන් ජනතා ආදරයන් දිනා ගැනීමට රනිල් අපොහොසත් විය. අත ළඟට ආ ජනපති ධුරය අහිමි වූයේ ඒ නිසාය. එහෙත්, ධනපති පන්තියට සුදුසු අවශ්‍ය නායකයා තවමත් ඔහුය. ධනපති පන්තියේ විශ්වාසනීය පුද්ගලයා තවමත් රනිල්ය. රනිල් ජේ.ආර්.ටත් වඩා යථාර්ථය දකින නායකයකු බවද කිව හැකිය.

රනිල් යථාර්ථය දකී …, සජිත් දකින්නේ සිහිනයි…

පසුගිය සතියේ රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳ ප‍්‍රකාශයන් කර තිබුණි. රනිල් වික‍්‍රමසිංහ චීනයේ සංවර්ධනය ගැන සඳහන් කරමින් මෙසේ කියා සිටියේය. “චීනය ඇත්ත වශයෙන්ම ලොවේ දෙවන ආර්ථික බලවතා නොව පළමුවෙනි බලවතා වී හමාරය. චීනයේ යෝධ සංවර්ධනය, ඉතිහාසයේ කෙටි කාලයක් තුළ විශිෂ්ඨය. අපටද උගත හැකි පාඩම් තිබේ. නව සේද මාවත (Belt And Road) ආර්ථික ව්‍යාපෘතිය අපි දකින යථාර්ථයක්.”

එම සතියේම සජිත් පේ‍්‍රමදාස G7 කණ්ඩායමේ නවතම ආර්ථික ව්‍යාපෘතිය ගැන සඳහන් කිරීමට ඉක්මන් විය. ඔහු මෙසේ පවසා ඇත. “G7 කණ්ඩායම ලොව යළි ගොඩනැඟීමේ (බීබීසී ආර්ථික ව්‍යාපෘතිය) ආර්ථික ව්‍යාපෘතියට ඩොලර් ටි‍්‍රලියන හතළිහක් වෙන් කර ඇති හෙයින්, අපේ රටත් ඊට එක් විය යුතුය.”

සජිත් පැනලා එම ප‍්‍රකාශය කළේ රනිල් වික‍්‍රමසිංහ ඉලක්ක කොට ගනිමිනි. රනිල් Belt And Road චීන ව්‍යාපෘතිය ගැන සඳහන් කිරීමට ප‍්‍රතිචාරයක් දක්වමින් කළ ප‍්‍රකාශයකි. G7 නව ආර්ථික ව්‍යාපෘතිය තවමත් අදහසක් පමණය. යථාර්ථයක් නොවේ. Belt And Road ව්‍යාපෘතිය ජීවමාන ව්‍යාපෘතියකි. ශ‍්‍රී ලංකාවද එහි කොටස්කරුවෙකි. රනිල් යථාර්ථය දුටු අතර, සජිත් දකින්නේ සිහිනයයි. දෙදෙනා අතර වෙනසද එයයි. ධනපති පන්තියට දේශපාලන පක්ෂයක් අවශ්‍ය වී තිබේ. එය සපුරාලීමට රනිල් ඉදිරිපත් වී සිටී. එය පන්තියේ වුවමනාවය. හාවා පරදවා ඉබ්බා ජයගත හොත් පුදුමයක් නොවේ.

දේශපාලන ලියුම්කරු විසිනි