counter hit xanga

සංශෝධිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත වහාම හකුලා ගනු! – FUTA

Last Updated on March 13, 2022 by Panduka Herath

දැවන්ත මහජන විරෝධය සහ රටතුළ ඇති වූ විසංවාදය හේතුවෙන් යටගසා තිබූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත යළි කරළියට පැමිණ ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) දැඩි කනස්සල්ලෙන් සඳහන් කරනවා.

පනත් කෙටුම්පත් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බවත් නව සංශෝධනය බව පවසමින් පනතේ හරයේ කිසිදු වෙනසක් සිදු නොකොට යම් යම් ආලවට්ටම් පමණක් ඉදිරිපත් කොට ඇති බවට් එම සම්මේලනය පෙන්වා දෙනවා.

නිදහසින් පසු රට බරපතලම ආර්ථික හා පාලන අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමේ බරපතල තර්ජනයක් මතු කරන මෙම දැඩි ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත ගෙන ඒමට රජය උත්සාහ කරන බවට FUTA චෝදනා කරනු ලබනවා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කොට ඇත.

මාධ්‍ය නිවේදනය
‘සංශෝධිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත’ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එය වහා හකුලා ගන්නා ලෙස බල කොට සිටී.
පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ඉදිරිපත් කරනු ලැබ, එහෙත් දැවැන්ත මහජන විරෝධතා හා ආණ්ඩුව තුලම වූ විරෝධතා නිසා ඡන්දය විමසීම සඳහා ඉදිරිපත් නොකෙරුණු කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ‘සංශෝධන පනතක්’ ලෙස යලි ඉදිරිපත් වී තිබීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් බරපතල කරුණක් ලෙස සලකයි. මෙම සංශෝධන පනතින් ඉදිරිපත් කොට තිබෙන වෙනස්කම් හුදු සැරසිලිමය වෙනස්කම් බවත්, පූර්ව පනත් කෙටුම්පතේ හරය කිසි ලෙසකින් හෝ වෙනස් වී නොමැති බවටත්, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම සම්බන්ධයෙන් වූ බරපතල තර්ජනයක් ඉන් ඉදිරිපත් කෙරෙන බවත් අප පෙන්වා දීමට කැමැත්තෙමු. තවද ආණ්ඩුව මෙම බෙහෙවින් විවාදාත්මක වූ පනත් කෙටුම්පත සම්මත කරගැනීමට උත්සාහ කරන්නේ ලංකාව නිදහසින් පසුව මුහුණ දී සිටින බරපතලම ආර්ථික හා ආණ්ඩුකරන අර්බුදය මධ්‍යයේය. මෙම ක්‍රියාවලිය වහාම නවත්වන ලෙසට ඉල්ලා සිටින අපි, පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙසට බල කොට සිටිමු. රටේ ආර්ථික ජීවිතය මුලුමනින්ම බිඳ වැටී තිබෙන මෙම අවස්ථාවේ, පැය අටක විදුලිය විසන්ධිය කිරීම්, ඉන්ධන හා ගෑස් හිගකම, ජීවනෝපායන් බිඳ වැටීම ආදී වූ ප්‍රශ්න හමුවේ රටේ ආර්ථික ජීවිතය මහත් ලෙස අර්බුදයට ගොස් තිබෙන පසුබිමක් තුල මෙම පනත් කෙටුම්පත කිසි ලෙසකින් හෝ ප්‍රතිපත්තිමය ප්‍රමුඛත්වයක් ලැබිය යුත්තක් නොවේ.

සංශෝධිත පනත් කෙටුම්පත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සිවිල් ශිෂ්‍යයන් බඳවා ගැනීම සඳහා දිගටම අවසරය ලබා දෙන අතර, ආරක්ෂක හා හමුදා අධ්‍යාපන කටයුතුවලට විශ්ව විද්‍යාලයේ පරාසය සීමා කරනු වෙනුවට සියලුම විෂය ධාරාවලින් ඉගැන්වීම් කටයුතු කරගෙන යාමට ඊට අවසරය පවරයි. සීමාරහිත ලෙස ව්‍යාප්ත කල හැකි, ගාස්තු ගෙවා ඉගැන්වීම් කටයුතු කිරීමේ අවකාශයක් සඳහා මින් පහසුකම් සැපයෙන අතර, සිසුන් බඳවා ගැනීම ඔවුන්ගේ කුසලතාවය මත නොව මුදල් ගෙවීමේ හැකියාව මත තීරණය කෙරෙන රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට සමාන්තර ලෙස පවතින, ඌන නියාමනයකින් යුක්ත සමගාමී විශ්ව විද්‍යාල පද්ධතියක් නිර්මාණය කිරීමට ද එමගින් ඉඩ සැලසේ. මෙම ඊනියා ‘සංශෝධන පනත’ තුල උඩ සිට පහල මට්ටම දක්වා දැඩි ලෙස මිලිටරිකරණය වූ පරිපාලනමය ව්‍යුහයක් පවත්වාගෙන යාම සඳහා වූ ප්‍රතිපාදන එලෙසම පවතින අතර විශ්ව විද්‍යාලයේ උසස්තම පරිපාලන ව්‍යුහය සමන්විත වන්නේ රටේ ඉහලතම හමුදා නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානී, ත්‍රිවිධ හමුදාවල අණ දෙන නිලධාරීන් ඇතුලු හමුදා නිලධාරීන්ගෙනි. උපකුලපතිවරයාව පත් කරන්නේද හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතුරිනි. මෙම ‘සශෝධිපත පනත් කෙටුම්පත’ යටතේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාලන ව්‍යුහය ලෙස හමුදා නිලධාරීන්ගෙන් සමන්විත මූලස්ථානයක් පවතිනු ඇත. මෙය සාමාන්‍ය විශ්ව විද්‍යාලයක ඉහලතම පරිපාලන ව්‍යුහය වන විශ්ව විද්‍යාල සභාව බඳු ව්‍යුහයකට ඉහලින් පිහිටනු ලබන ආයතනයකි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති කොතලාවල විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයෙක් ලෙස පත්කිරීම පිලිබඳ වූ ඉතාම විවාදාත්මක ප්‍රතිපාදනයක් ද නව ‘සශෝධන පනත’ තුල අන්තර්ගතය. (මීට පෙර පැවැති ප්‍රතිපාදනය වූයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියෝජිතයෙක් උක්ත සභාව නියෝජනය කල යුතු බවකි). රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය නියාමනය කිරීමේ හා ආරක්ෂා කිරීමේ මූලික වගකීම දරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාලක සභාව තුල නියෝජනය වීම ලබැඳියාවන් අතර ගැටුමක් සංයුක්ත කරන අතර, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පාලක සභාවේ නියෝජිතයෙක් ලෙස නම් කිරීම තුල මෙම ගැටුම වඩාත් උග්‍ර වේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කටයුතු සම්බන්ධයෙන් අවබෝධයක් සහිත පිරිස් හොඳින් දන්නා ලෙස එම විශ්ව විද්‍යාලයේ පාලක සභාව තුල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති නියෝජනය වීම තුල රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය හෑල්ලු වන තීන්දුවලට සහභාගි වීමට ඔහුට බල කෙරී තිබෙන අතර මෙහි ප්‍රතිඵලය ලෙස ඔහුව වග උත්තරකරු කරමින් නඩු පවා පැවැරී තිබේ. යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයට ඔහුව පත්කිරීම පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කෙරෙහි බෙහෙවින් අහිතකර ලෙස බලපෑ හැක. අතීත අත්දැකීම් විසින් පෙන්වා දෙන ලෙස, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාලක සභාව තුල රාජ්‍ය විශ්ව විද්‍යාලවල අභිලාෂයන් නිසි ලෙස නියෝජනය කිරීමට පුලුවන්කම ලැබී තිබුණේ නැත. ඒ වෙනුවට සිදුව තිබෙන්නේ එම විශ්ව විද්‍යාලය හා එය විසින් නියෝජිත මිලිටරි අධ්‍යාපන මොඩලය ප්‍රවර්ධනය කිරීමට දායක වෙමින්, රාජ්‍ය විශ්ව විද්‍යාලවල අභිලාෂයන් අවප්‍රමාණය කිරීමට දායක වීමකි.

මේ නිසා කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත වහා හකුලා ගන්නා ලෙසට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා සිටී. මීට පෙර අප විසින් අවස්ථා ගණනාවක දී පෙන්වා දුන් ලෙස කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය බඳු දැඩි ලෙස හමුදාකරණය වූ ව්‍යුහයක් තුල සිවිල් වැසියන්ට අධ්‍යාපනය ලබාදීම අපගේ සම්මේලනය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට රජය කල යුත්තේ සිවිල් අධ්‍යාපනය රාජ්‍ය විශ්ව විද්‍යාල තුල ලබාදීම හා මේ වනවිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තුල ඉගෙනුම ලබන සිවිල් සිසුන් සඳහා කරනු ලබන අති මහත් වියදම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය වෙත හරවමින්, රාජ්‍ය විශ්ව විද්‍යාල ව්‍යාප්ත කිරීම සඳහා ආයෝජනය කිරීමත්, එමගින් දැනට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් රාජ්‍ය විශ්ව විද්‍යාල ව්‍යුහය තුලට අවශෝෂණය කරගැනීමත්ය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය යනු පුරවැසිමය කටයුත්තක් වන අතර මුලු මහත් ප්‍රජානත්ත්‍රවාදී ලෝකය පුරාවට විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වන්නේ ස්වාධීන, නිදහස් මතධාරී හා නිර්මාණශීලී පුරවැසියන් නිර්මාණය කිරීමේ අභිලාෂය වෙනුවෙනි. හමුදාව විසින් මෙහෙයවනු ලබන ආකෘතියක් තුලින් මෙකී අරමුණ කිසිසේත්ම ඉටු කරගත නොහැක. ඒ වෙනුවට, මෙබඳු ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලෙස ලෝකයා අබියස දැනටමත් දුර්වල වී තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අක්ත පත්‍රය තවදුරටත් දුබල වීම වැලැක්විය නොහැක.

ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය වන බරපතල බහුමානීය අර්බුදයකට අප රට වර්තමානයේ මුහුණ දී සිටින බවට අප ආණ්ඩුවට සිහිපත් කරන්නෙමු. රටේ පුලුල් මහජන ස්ථර අතින් ප්‍රතික්ෂේප වූ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත් ඒවායේ කවරය වෙනස් කොට යලි ඉදිරිපත් කිරීම වෙනුවට ආණ්ඩුව කල යුත්තේ රට මුහුණ දී සිටින බහුවිධ අර්බුදය කෙරෙහි අවධානය යොමු කොට, විසඳුම් සොයා ගැනීමට කටයුතු කිරීමය. කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පරාජය කිරීම සම්බන්ධව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ලෙස අප අධිෂ්ඨානසහගත ස්ථාවරයක පසුවන අතර අප රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මිලිටරිකරණය වීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමටත්, මෙම ‘සංශෝධිත පනත් කෙටුම්පත’ හකුලා ගන්නා තෙක් ඊට විරුද්ධ සියලුම සමාජ හා දේශපාලන විරෝධය ගොනු කිරීමට සූදානම්ව සිටින බවටත් ප්‍රකාශ කර සිටිමු.

රොහාන් ලක්සිරි
ලේකම්