counter hit xanga
February 3, 2023

ප්‍රසිද්ධ නොකෙරුණු පූර්ව කොන්දේසි හෙළි කරන්න – කුසල් පෙරේරා රනිල්ට ලියයි

Last Updated on September 5, 2022 by Lankae Cast

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉරණම තීන්දු කිරීමේ අයිතිය ජනතාවගේ අයිතියක් බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව කරන සියලු ගනුදෙනු නොඅඩුව සමාජය හමුවේ තබන මෙන් ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා වෙත විවෘත ලිපියක් යොමුකරන කුසල් පෙරේරා අවධාරණය කරන්නේ, ආර්ථිකය බරපතල ලෙස කැබලි වී තිබෙන සමාජයක ජා.මූ. අරමුදල සමග ආණ්ඩුව කරන සියලු ගනුදෙනු විවෘත හා සමාජ වගවීමක් සහිතව සිදුවිය යුතු අතර එය තවදුරටත් පිටස්තරයින්ට බාර දිය නොහැකි බවය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව ජා.මූ. අරමුදල සමගින් එකඟවී ඇති “ප්‍රසිද්ධ නොකෙරුණු” පූර්ව කොන්දේසි ජනතාව හමුවේ තැබිය යුතු බව ද කුසල් පෙරේරා සිය ලිපියෙන් ඉල්ලා සිටියි.

ඔහු ජනාධිපතිවරයා වෙත යැවූ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ:

ගරු ජනාධිපති

රනිල් වික්‍රමසිංහ

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ

ගරු ජනාධිපති තුමනි,

ජාත්‍යන්තර මූල්‍ය (ජා.මූ) අරමුදල සමග ඇති කර ගන්නා සියලු එකඟතා සහ මෙතෙක් ඇතිකර ගත් එකඟතා සියල්ල සවිස්තරාත්මකව ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලීම

මෙය ඔබ වෙත යොමු කරන්නේ රාජ්‍ය නායකයා මෙන්ම මුදල් ඇමති වශයෙන්ද ඔබ වෙත ලියන විවෘත ලිපියක් ලෙස යැයි ප්‍රථමයෙන්ම කිව යුතුය. එසේ ලියන්නට හේතු වන්නේ, ආර්ථිකය බරපතල ලෙස කැබලිවී තිබෙන සමාජයක ජා.මූ. අරමුදල සමග ආණ්ඩුව කරන සියලු ගනුදෙනු විවෘත හා සමාජ වගවීමක් සහිතව සිදුවිය යුතු බැවින් ඒවා නොඅඩුව සමාජය හමුවේ තබන මෙන් ඉල්ලීමටය. මේ රටේ ජනතාවගේ ඉරණම තීන්දු කිරීමේ අයිතිය ජනතාවගේ අයිතියක් බවත් එය තවදුරටත් පිටස්තරයින්ට බාර දිය නොහැකි බවත් ඒ සමග අවධාරණය කළ යුත්තකි.

ජා.මූ. අරමුදලේ මාණ්ඩලික සේවය සමග ශ්‍රී ලංකාණ්ඩුව ඉකුත් සැප්තැම්බර 01 වන දින කොළඹ දී සම්මුතියකට පැමිණියේ යැයිද ඒ අනුව, ඔවුන්ගේ සුවිශේෂි අරමුදල් පහසුව (EFF) යටතේ ඩොලර බිලියන 02.02 ක ආධාරයක් කිරීමට ඔවුන් කොන්දේසි කිහිපයක් සමගින් එකඟවූ බවද නිවේදනය කෙරිණ.

ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් එකී ආධාරය අනුමත කිරීමට නම්, ඔබගේ ආණ්ඩුව විසින් ඉටු කළ යුතු පූර්ව කොන්දේසි ගණනාවක් දැන් ඇත. නිල ණය දෙන්නවුන්ගෙන් මූල්‍ය සහායක් ලැබෙන බවට සහතික කිරීම්, පෞද්ගලික ණය දෙන්නවුන්ගේ විශ්වාසය දිනා ගැනීමේ පියවර ගනු ලැබීම, ප්‍රකාශිත පූර්ව පියවර වේ. එහෙත් “ෆිට්ච්” මූල්‍ය ඇගයුම් ආයතනය විසින් සැප්තැම්බර 02 වන දින ප්‍රකාශකර ඇති අයුරු ඔබගේ ආණ්ඩුව ජා.මූ. අරමුදල සමගින් එකඟවී ඇති “ප්‍රසිද්ධ නොකෙරුණු” පූර්ව කොනේදේසිද ඇත. එවැනි “අප්‍රකාශිත කොන්දේසි” ඇති බව මෙතෙක් කිසිවකු නොකියූ නමුත් එවැනි කොන්දේසි ජා.මූ. අරමුදල විසින් අතීතයේ පවා පනවා තිබිණ. 

මීට ඉහතින් 1980 දී අත්හිටවනු ලැබූ අවස්ථාව හැර ජා.මූ. අරමුදලින් මූල්‍ය ආධාර ලබා ගැනීම් 16 වතාවක් සිදු වූවකි. ඒ අවුරුදු 42 ක ඉතිහාසය පුරා ජා.මූ. අරමුදලින් ලබා ගත් අධාර කිසිවකින් මේ රටේ ජනතාවට ලැබුණු කිසිදු වැදගත් වාසියක් ප්‍රයෝජනයක් නැතැයි මම කියමි. එයට ප්‍රධානම හේතුව, ජා.මූ. අරමුදලේ ආධාර ඇතිව පිළිසකර කිරීමට උත්සාහ කෙරෙන්නේ දූෂිත, විනාශකාරී විවෘත වෙළඳපල ආර්ථික ක්‍රියාවලියක් වීම ය. එය සනාථ කිරීම උදෙසා මූලික කරුණු 02 ක් සඳහා සහ මේ අර්බුදයෙන් ගොඩ ඒමට රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කළ යුතු යැයි ඔබ දිගින් දිගටම කියන කාරණාවට විශේෂයෙන් පිළිතුරු සටහන් කරනු කැමැත්තෙමි.

01. බදු සහන, බදු විරාම සමග වෙනත් වරදාන වරප්‍රසාද ලබා දෙමින් කැඳවා ගත් සෘජු විදේශ  ආයෝජන සමග අපට මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි විදේශ වෙළඳ ශේෂය පියවා ගැනීමට අවශ්‍ය අවම විදේශ විනිමය හෝ මෙතෙක් උපයා ගත නොහැකිව ඇත. පසුගිය ආණ්ඩු විසින් ලබා ගත් විනාසකාරී ණය එකතුව පැත්තකින් තබා, වෙළඳ හිගය ගැන පමණක් කතා කළහොත් 1980 දී එය ඩොලර බිලියන 01 ට ආසන්න වූවකි. වසර 35 ට පසු ඔබ 2015 යහපාලන ආණ්ඩුවේ අගමැති වනවිට විදේශ වෙළඳ හිගය ඩොලර බිලියන 08.1 ක්ව තිබුණි. රාජපක්ෂලාට 2019 නැවත ආණ්ඩුව බාර දෙන විට, ජා.මූ. අරමුදලින් ලැබූ ආධාර සමගත් ඒ හිඟය ඩොලර බිලියන 05.1 ක් විය.

අනෙක් අතට සියලු වාසි ඇතිව සිදු කෙරෙන අපනයන නිෂ්පාදන මගින් උපයන ආදායම ඩොලර බිලියන 09 ක් පමණ ය. 2020 දී විදේශ වෙළඳ හිගය ඩොලර බිලියන 05.2 ක් විය. මේ අවුරුදු 45 ක සමස්ථ කාලය පුරා විවෘත වෙළඳපල ආර්ථිකයෙන් අපගේ විදේශ වෙළඳ ශේෂය පියවා ගැනීමට හැකි විදේශ ආදායමක් උපයා ගැනීමට නොහැකි වූ බව ඔබද පිළිගනු ඇතැයි සිතමි.

02. සාම්ප්‍රදායික ආර්ථික විශ්ලේෂන තුල දළ ජාතික නිෂ්පාදනය සැළකීමේදී 1978 සිට 2021 දක්වා වූ කාලයේ කෘෂිකාර්මික දායකත්වය (ධීවර හා සත්ව පාලනය සමග) සියයට 07 ක පමණ සිට සියයට 17 ත් 19 ත් පමණ දක්වා වැඩි විනැයි පොත පතේ සඳහන් වූවත්, ප්‍රායෝගික ජීවිතයට ඒ කිසිත් අදාල නොවුනි. නිදහස් වෙළඳ කලාප සඳහා ලාභ ශ්‍රමය ලබා ගත්තේත් වසර 30 ට ආසන්න සිවිල් යුද්ධය වෙනුවෙන් තරුණ සොල්දාදුවන් සැපයූවේත් තවමත් විදේශ විනිමය ඉල්ලා සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් මැද පෙරදිග, දකුණු කොරියාව වැනි රටවලට පටවා යැවෙන්නේත් මේ අසරණවූ දුප්පත් ග්‍රාමීය සමාජයෙන් මිස නාගරික සමාජයෙන් නොවන බව ඔබට කිව යුතු නැත. ග්‍රාමීය ආර්ථිකයෙහි මසකට රුපියල් 25,000 ක 30,000 ක ස්ථාවර ආදායමක් උපයා ගත හැකිව තිබුණි නම්, 2019 ද 2,03,000 ක් තම පවුල් ගම දමා රැකියා සඳහා පිටව යන්නේ නැත. 

සරළ කතාව නම්, විවෘත වෙළඳපල අර්ථිකය සමග අවුරුදු 40 ට වැඩි කාලයක් පුරා සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි ස්ථාවර මාසික ආදායමක් සහිත වටපිටාවක් ග්‍රාමීය ආර්ථිකයෙහි හැදී නැත.

දියුණු ග්‍රාමීය ආර්ථිකයක් හැදීම කතා වලට සීමා කෙරෙනවා මිස විවෘත වෙළඳපල ආර්ථකයෙහි එවැන්නක් මෙතෙක් සිදුව නැත. ඔබ 2001 දෙසැම්බරයේදී අගමැති වූ ආණ්ඩුව විසින් වසර 2003 ආරම්භයේදී සිංගප්පූරු සමාගමක් වන “සෙස්මා” (CESMA) සමාගමට බස්නාහිර පළාත යෝධ නගරයක් ලෙස නිර්මාණය කිරීමේ සැළසුම් හදන්නට බාර දුන්නේය. ඒ යෝධ නගර සැළසුම ගැන ඔබ 2011 දී “සන්ඩේ ටයිම්ස්” පුවත් පතට අදහස් දක්වා තිබූයේ “සීඝ්‍රයෙන් දියුණුවන ආසියානු ආර්ථික සියල්ල කේන්ද්‍රගත වන්නේ සොල්, තෝකියෝ, බෙයිජිං, ෂැංහායි, හොං කොං, හැනෝයි, බැංකොක්, ජකාර්තා, කුඅලා ලම්පූර්, ඩකා, ඩෙල්හි, මුම්බායි, චෙන්නායි, කොල්කටා සහ කරච්චි වැනි මහ නගරවල” යැයි කියා ය. “ඒ හා ගත් කල, මහ පරිමාන ආර්ථික වර්ධනයක් සඳහාවන විශාල නගරයක් ලංකාවේ නැත” යැයි ඔබ එදා අවධාරණය කර තිබිණ.

ආර්ථිකය හා රටේ දියුණුව සඳහා නගරයෙන් පිට කිසිවක් ඔබ හිතන්නේ නැත. ඔබ නතරව ඇත්තේ 80 දසකයේ අවසානය වන විට ලෝක බැංකුවද අත හැර දැමූ ඔවුන්ගේ “වොෂිංටන් සම්මුතිය” විසින් කතා කළ “ආර්ථික වාසි පහළට කාන්දුවීම” යන්නෙහි ය. මේ සියල්ල සමග මෙවරද ජා.මූ. අරමුදල සමග ඇතිවන එකඟතා මධ්‍යම පංතික පැවැත්ම වෙනුවෙන් නගර කේන්ද්‍රීය විවෘත වෙළඳපල සක්‍රීය කර ගැනීමේ අසාර්ථක ආර්ථිකයක් සඳහා පමණක් වනු ඇත. ජා.මූ. අරමුදලද ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන කතා කරන්නේ ගෝලීය ලිබරල් ආර්ථිකයක් සඳහාවන ඔවුන්ගේ ආර්ථික මූලෝපාය සමගින්ය.

ඒ වෙනුවෙන් ඔබ කල් තබා සූදානම්වන බව දුටුවේ පසුගිය මාස දෙක තුල ඔබ රජයේ ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම වෙනුවෙන් උත්තර බඳින්නට වූයෙනි. මුදල් ඇමති වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ඔබගේ 2022 අන්තර්වාර අයවැයෙන් ඔබ ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක් හැදීමට මිලියන 200 ක්ද වෙන කර ඇත. ඒ ගැන කෙටියෙන් කිව යුත්තේ රජයේ ව්‍යාපාර පෞද්ගලීකරණය කළ යුතු යැයි වන මතය සාවද්‍ය මතයකි. යුරෝපා සංගමයේ බොහෝ සාමාජික රටවල රාජ්‍ය ආර්ථිකයේ පංගුව සියයට 30 ක් හෝ ඊට වැඩිය. ඒවායේ රාජ්‍ය ව්‍යාපාර සඳහා ආකෘතීන් කිහිපයක් භාවිත වන්නේය. ඉන් එකක් වනුයේ අප ඉතා සාර්ථකව 1996 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සතු වූ සේවා පද්ධතිය “ශ්‍රී ලංකා ටෙලිකොම්” ලෙසින් ප්‍රතිව්‍යුහගත කළ, රාජ්‍ය අයිතියට ඉඩ තැබූ ආකෘතිය වන්නේය.

ගෝලීය ආර්ථිකය සමගින් ගැට ගසන විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ඛේදවාචකය ඇත්තේ එවැනි පෞද්ගලීකරණය කිරීම් සහ ග්‍රාමීය සමාජයේ බහුතරය අසරණ දුප්පතුන් ලෙස තබා ගැනීමෙහි පමණක්ම නොවේ. අපත් සමගින්ම සමස්ථ පෘථිවියම මහා පරිසර විනාශයකට ගොදුරු කිරීමෙහි ය. වර්තමානයේ අපගේ අවිනිශ්චිත දේශගුණය ගෝලීය කාලගුණ විපරියාසයේත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේත් විපාකයන් ය. ඊට අමතරව, විවෘත වෙළඳපල ආර්ථිකයෙන් හැදූ ජාවාරම්කාරයින් ඉවක් බවක් නැතිව අපගේ පරිසරයද විනාශ කිරීම ය.

විනාශ කෙරෙණ හරිත ආවරණ හේතුවෙන් හදිසි ගංවතුර ගැලීම්, නාය යෑම් දැන් පාලනය කළ නොහැකිය. 2010 වසරේ නොවැම්බරයේදී කොළඹ දිස්ත්‍රික්කය ගංවතුරට යට වීමෙන් පුද්ගලයින් 2,60,000 ක් අවතැන් වූ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කළේය. 2014 ජුනි මස කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හා ගංවතුර හේතුවෙන් මරණ 27 ක් වාර්තාවූ අතර නිවාස 1,300 ට හානි සිදුව, පවුල් 25,500 ට අධික සංඛ්‍යාවක් අනාථ වූහ. ඉන් මාස 04 ට පසු ඔක්තෝම්බරයේ කොස්ලන්දේ මහා නාය යෑමෙන් පවුල් 150 ට වැඩි සංඛ්‍යාවක් අනාථ වූ අතර එහි මිය ගිය සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ නොවුනි. දෑවුරුද්දකට පසු 2016 මැයි මාසයේ අරණායක ප්‍රදේශයේ ඇතිවූ නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 150 ට වඩා මිය ගිය අතර, පවුල් 70,000 ක් පමණ අනාථ වූ බවද වාර්තා විය.

කරුණාකර මේ විනාශ, ස්වාභාවික විනාශ යැයි නොකියන්න. ඒවා කෙළවරක් නොමැතිව පරිසරය විනාශ කළ ජාවාරම්කාරයින් හා ඔවුන්ගේ දේශපාලන හෙංචයියලාගේ මහා අපරාධයන් ය.

එවගේම මේ සමාජයේ සැමට සමානව බුක්ති විඳින්නට තිබිය යුතු ජාතික අධ්‍යාපනයත් සෞඛ්‍ය හා පොදු ප්‍රවාහනයත් අබලන් වන්නට ඉඩ තබා ඇත්තේද විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ජාවාරම්කාර ලාභ සඳහාය. විවෘතව කතා නොකරන පෙර නොවූ විරූ සීඝ්‍ර සදාචාර පිරිහීම, සාර ධර්ම හා හර පද්ධතීන් විනාශ කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනී මැරීම් පුද්ගලයින්ගේ වරද නිසා යැයි නොකියනු මැනව. ඒ සියල්ලම නියත වශයෙන්ම ඉකුත් අවුරුදු 30 – 40 ක කාලයේ රාජ්‍ය ආයතන සියල්ල අකාර්යක්ෂම අති දූෂිත ආයතන බවට පත් කරමින් අධි තරගකාරී වෙළඳපල ආර්ථිකයෙහි හැදූ වැඩූ ආත්මාර්ථකාමී, පරිභෝජනයට කෑදර, හිත් පිත් නැති පාරිභෝගිකයින්ගේ සමාජ පැවැත්මෙහි ප්‍රතිපල වන්නේය.

විවෘත වෙළඳපල ආර්ථිකය පැහැදිලිවම විනාශකාරී, යෝධ දූෂිත ආර්ථික පැවැත්මකි. මේ රටට තව දුරටත් එවැනි ආර්ථික පැවැත්මක් අවශ්‍ය නැත. දැන් අවශ්‍ය වන්නේ පරිසරය යළි පිළිසකර කරගත හැකි, සමාජ සාධාරණත්වයක් සහතික කරගත හැකි, අති බහුතරයකට වැදගත් සරළ ජීවිතයකට ඉඩ ලබා දෙන අනාගතවාදී ස්ථාවර ආර්ථික හා සංස්කෘතික පැවැත්මකි.

එනිසාම ජා.මූ. අරමුදල සමග ඔබගේ ආණ්ඩුව කරන්නාවූ සියලු ගනුදෙනු පිළිබඳව තොරතුරු නොසඟවා දැන ගැනීමේ අයිතියක් මේ ජනතාවට ඇත. ප්‍රකාශිත හා කිසිදු පාර්ශවයක් සඳහන් නොකරන අප්‍රකාශිත කොන්දේසි හා සම්මුතීන් පිළිබඳ සවිස්තර වාර්තාද ඒවා නිල වශයෙන් සම්මත කර අත්සන් කරන්නට පෙර ප්‍රකාශ කළ යුතු වන්නේය. එනිසා එම තොරතුරු වහා ප්‍රසිද්ධ කරන මෙන් ඉතා කාරුණිකව මෙමගින් ඉල්ලා සිටින්නේ, විවෘත භාවය හා වගවීම් ගැන ඔබද නිතර අවධාරණය කරන්නකු වශයෙන්, ඔබ එය ඉටු කරනු ඇතැයි සිතා ය.

ස්තුතියි.

මෙයට විශ්වාසී

කුසල් පෙරේරා

ලාංකීය පුරවැසි

පිටපත – ජනාධිපති ලේකම්, සමන් ඒකනායක / prsec@presidentsoffice.lk