counter hit xanga
March 26, 2023

පොලිසියට නිගා කරන පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ඉවත්කරනු !

Last Updated on November 25, 2022 by Lankae Cast

පොලිස් ලොක්කා ඉල්ලා අස්වෙනු ! නැතිනම් සේවයෙන් පහ කරනු !

බැසිල් සල්ලි නොදී ගුවන් තොටුපොලෙන් කාලා !

***************************************

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනාට පස්සේ දැන් තියෙන පොලිස් කොමිසම 20 වෙනි සංශෝධනය යටතේ තිබුන පොලිස් කොමිසම නෙවෙයි.

20 වෙනි සංශෝධනය යටතේ පොලිස් කොමිසම කියන්නේ නිකම් රබර් මුද්‍රාවක් විතරයි. ඒත් 21 වෙනි සංශෝධනය යටතේ පොලිස් නිලධාරීන්ගේ මාරුවීම්, උසස්වීම් ඒ වගේම ඔවුන් සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගැනීම වගේ මේ සියලු බලතල දැන් පොලිස් කොමිසමට තියෙනව.

ඒ නිසා පොලිස් කොමිසම කියන්නේ මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට සෘජුවම සම්බන්ධ, යුක්තිය පසිඳලීමේ යෙදිල ඉන්න නිලධාරීන්ගේ උසස්වීම් ලබාදෙන්න වගේම අවශ්‍ය නම් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් බලය තියෙන, මේ රටේ පාර්ලිමේන්තුව විසින් පත්කරපු, පාර්ලිමේන්තුවට වගකියන, රටේ මහජනතාවගේ බදු මුදලින් නඩත්තුවෙන ස්වාධීන ආයතනයක්.

ඒ වගේ බලවත්, ඒ වගේම ස්වාධීන ආයතනයක ප්‍රධානීන් වගේම සාමාජිකයින් හැසිරිය යුතු ක්‍රමයක් තියෙනව. වැදගත්ම දේ ඔවුන් දේශපාලනයන් ස්වාධීන වෙන්න ඕන. ඔවුන්ට හාම්පුතාලා ඉන්න බැහැ. පොලිස් කොමිසමේ සභාපතිවරයාට දේශපාලකයින් ඉදිරියේ වැඳ වැටෙන්න බැහැ. එහෙම කරනවා නම් ඒ පුද්ගලයා ඒ තනතුර දරන්න සුදුසු නැහැ. ඇත්තටම 21 වෙනි සංශෝධනයෙන් මේ වගේ කොමිසම් සභා ස්ථාපිත කළේම ඒ වගේ දේවල් වලක්වල පොලිසියේ ස්වාධීනත්වය තහවුරු කරන්න; රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම වලක්වන්න.

මේක තනි පුද්ගලයෙක් ගැන ප්‍රශනයක් නෙමෙයි; මේ රටේ සමස්ත පොලිස් සේවයේ ගෞරවය ගැන ප්‍රශ්නයක්. 84,000 ක් වෙන ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ අභිමානය, ආත්ම ගෞරවය ගැන ප්‍රශ්නයක්.

ගුවන් තොටුපොලේදී බැසිල් රාජපක්ෂ හමුවෙන්න ගිහින් චන්ද්‍රා ප්‍රනාන්දු සභාපතිවරයා සහ පෙරේරා කියන පොලිස් කොමිසමේ සාමාජිකයා හැසිරුණ ආකාරය පාර්ලිමේන්තුවට පමණක් නොවෙයි, මේ රටේ උත්තරීතර ව්‍යවස්තාවටත් කරපු අපහාසයක් කියල සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයත් කියල තිබුණ.

ඒ නිසා අපි බලකර කියන්නේ පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍ර ප්‍රනාන්දු සහ එහි සාමාජික පෙරේරා කොමිසමේ තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි. ඔවුන් දිගටම තනතුරුවල ඉන්නවා නම් මේක තවදුරටත් ස්වාධීන කොමිසමක් නොවෙයි. ඔවුන් ඉල්ලා අස්වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට පුළුවන් ඔවුන් පදවිවලින් ඉවත්කරන්න. අපි කතානායකවරයාට කියනව රටට විහිළු සපයන්නේ නැතිව වහාම ව්‍යවස්ථාදායක සභාව කඳවල, මේ දෙන්න ඉවත්කරන්න කියල ජනාධිපතිවරයාට නිර්දේශ කරන්න. ඒකට බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට; ව්‍යවස්ථාදායක සභාවට.

අපි දැක්ක මේ ගැන සජබේ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන වෙලාවේ, මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්නකරන වෙලාවේ කතානායකවරයා දිගටම කියනවා අලුත් කොමිසමක් පත්කරනවනේ කියල එතකල් ඉවසන්න කියල. ඒත් එහෙම ඉවසන්න මේ රටේ සමාජය සූදානම් නැහැ. අපි කතානායකවරයාට කියන්නේ නම්බු ඇතුව ඉල්ලා අස්වෙන්න නැත්නම් මේ දෙන්න පදවිවලින් ඉවත්කරන්න.

කොහොම වුණත් අපි දන්නවා මහින්ද යාපා අබේවර්ධන කියන්නේ මේ රටේ අවාසනාවට පහල වෙච්ච ඉතාම පක්ෂග්‍රාහී, කුප්‍රකට කතානායකවරයෙක්. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මිනීමරුවෙක් කියල අධිකරණය තීන්දු කරපු කෙනෙකුට දිවුරුම් දෙන්න අවසර දීල පාර්ලිමේන්තුවේ ගෞරවය වැනසුවේ මහින්ද යාපා අබේවර්ධන. එහෙම කරලා හැබැයි ජුලි 09 වෙනිදා රනිලුත් ඉල්ලා අස්වුණා නම් මේ රටේ ජනාධිපති වෙන්නත් කෝට් මහගෙන හිටිය. ඒ නිසා අපිට කතානායක ගැනත් විශ්වාසයක් නෑ. ඒත් විපක්ෂනායක සජිත්ට වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් පුළුවන් ව්‍යවස්ථාදායක සභාව කැඳවන්න කියල ඉල්ලීමක් කරන්න. සභාව කැඳවන්න. කැඳවල පොලිස් සේවයම ගඳ ගස්සන මේ නිලධාරීන් දෙන්න වහාම පදවිවලින් ඉවත්කරන්න කියල ජනාධිපතිවරයාට නිර්දේශ කරන්න.

පින්ටෝ ගැන විමර්ශන කරනවලු

******************************

පහුගිය දවසක පානදුරේ hqi පින්ටෝ බෙල්ලෙන් අල්ලල පොලිස් කාන්තාවො උනන්දු කරපු හැටි මුලු ලංකාවම දැක්ක. අපි පොලිස් කොමිසමෙන් ඇහුව ඒ ගැන ගත්ත පියවර මොකක්ද කියල. කොමිසම කියන ඒ ගැන විමර්ශනයක් පැවැත්වෙනවලු. ඒත් ඇත්තටම මේ වගේ දේශපාලන වන්දිභට්ට කොමිසමක් එහෙම පියවරක් ගනීවි කියල විශ්වාස කරන්න පුලුවන්ද?

VIP Lounge එකට බැසිල් සල්ලි දීල නෑ

*******************************

කටුනායක ගුවන් තොටුපොලේ විශේෂ අමුත්තන්ගෙ කොටස use කරන්න එක් පුද්ගලයෙක් ඩොලර් 200ක් ගෙවන්න ඕන කියල daily mirror පත්තරේ කියනව. බැසිල් පිලිගන්න 100ක් විතර එතන එකතුවෙලා හිටිය. ඒ කවුරුත් තාම ඒ මුදල ගෙවල නෑ. නිකමට හරි දැන් මේ ගැන පැමිණිල්ලක් ලැබුනොත් මේ වගේ දේශපාලන කුක්කෝ ඉන්න පොලිස් කොමිසමක් යටතේ පොලිසියට ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න පුලුවන්ද? අනික බැසිල් රාජපක්ෂ මේ රටේ මන්ත්‍රිවරයෙක්වත් නෙවෙයි; සාමාන්‍ය පුරවැසියෙක්. බැසිල්ට ඒ තරම් ආරක්ෂක පිරිවරක් දුන්නේ ඇමෙරිකානු පුරවැසියෙක් නිසාද? එහෙම නම් කටුනායකට එන ඕනම ද්විත්ව පුරවැසියෙකුට ඒ වගේ ආරක්ෂාවක් දෙනවද? මේ රටේ මහජනතාවගේ බදු මුදලින් බැසිල්ට එහෙම ආරක්ෂාවක් දෙන්න නියෝග කළේ කවුද? මාස ගාණක් පාරවල්වල ලැගගෙන, උද්ඝෝෂණ කරලා, ගුටි කාගෙන මේ රටේ මිනිස්සු අරගලයක් කළේ ආයෙත් සැරයක් කපුටෙකුට රටේ සම්පත් මේ විදියට කොල්ලකන්න ඉඩ දෙන්නද?

සරෝජ් පතිරණ (Saroj Pathirana)