Last Updated on October 1, 2022 by Desman Chathuranga
සත්තුරුකොන්ඩාන් සමූල ඝාතනයේ 32 වන අනුස්මරණය මෙම වසරෙහි මෙම මාසයේ දී, එනම් 2022.09.09 දින මඩකලපුවේ දී සිදුකෙරිණී.
සත්තුරුකොන්ඩාන් සමූලඝාතනය යනු, 1990 සැප්තැම්බර් 9 වෙනි දින මඩකලපු දිස්ත්‍රික්කයට අයත් සත්තුරුකොන්ඩාන් යුද හමුදා කඳවුර තුළ දී දෙමළ සිවිල් වැසියන් 184 දෙනෙකු අමානුෂික ලෙස ඝාතන කිරීමේ ඛේදවාචකය යි. එම ඝාතනයට ලක්වූවන් මඩකලපුවට ආසන්න ගම්මාන වන සත්තුරුකොන්ඩාන්, කොකුවිල්, පන්නිඅච්චිඅඩි සහ පිල්ලයාරඩි ගම්වාසීන් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනා සරණාගතයින් ය.
ඝාතනට ලක් වූ 184 දෙනා අතර කාන්තාවන් 85 දෙනෙක්, වයස අවුරුදු 10 ත් 1 ත් අතර දරුවන් 42 ක්, වයස අවුරුද්දට අඩු දරුවන් 5 දෙනෙක්, ගැබිණි කාන්තාවන් 9 දෙනෙක්, වයස අවුරුදු 68 ට වැඩි වැඩිහිටියන් 28 දෙනෙක් සහ නව යෞවනයින් ද ළමයින් ද වැඩිහිටියන් ද වූ බව සඳහන් වේ.
මෙම සමූල ඝාතනයට ලක් කළ 184 දෙනා අතරට සත්තුරුකොන්ඩාන් ගම් වැසියන් 38 ක්, කොකුවිල් ගම්සීන් 47 ක්, පන්නිඅච්චිඅඩි ගම් වැසියන් 37 ක් සහ පිල්ලයාරඩි වාසීන් 62 ක් ඇතුළත් ය.



1990 සැප්තැම්බර් 9 වැනි දින පස්වරු 5.30 ට නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු සන්නද්ධ පිරිසක් ප්‍රදේශයට පැමිණ සියලු දෙනාටම පාරට එන ලෙස නියෝග කර ඇත. පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කර මුදාහරින බව පවසමින් ඔවුන්ව පාගමනින්ම ඒ ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා කඳවුර වෙත රැගෙන ගියහ. මෙය එම ප්‍රදේශයේ පීඩාකාරී කාල වකවානුවක් වූ බැවින්, බොහෝ දෙනෙක් ප්‍රදේශය අතහැර නගරයට ගොස් සිටි අතර, ගම්ප්‍රදේශයේ ඉතිරිව සිටි අය බොහෝ විට වයෝවෘද්ධයින්, කාන්තාවන්, දරුවන් සහ නව යෞවනයින් වූහ.
පහත දැක්වෙන්නේ සත්තුරුකොන්ඩාන් සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වන 21 හැවිරිදි කන්දසාමි ක්‍රිෂ්ණකුමාර් විසින් ලබා දුන් ප්‍රකාශයක පටිගත කරන ලද කොටසකි.



“කමාන්ඩෝ භටයින් 50ක් පමණ ඇවිත් අපෙන් 150 දෙනෙක් පමණ පා ගමනින් කැඳවාගෙන ගියා. රාත්‍රී 7.00ට හෝ 8.00ට පමණ අපි සත්තුරුකොන්ඩාන් හමුදා කඳවුරට ළඟාවුණා. අපෙන් හතර දෙනෙක් ඉතිරි අයගෙන් වෙන් කරලා, කඩුවලින් හා කිනිසිවලින් පහර දීලා කඳවුරෙන් පිටතට ඇදගෙන ගියා. ඊටපස්සෙ අපි හැමෝම එක තැනකට ගෙනිහින් පහර දීලා ටයර්වලින් පුච්චලා දැම්මා.”
පහරකෑමට ලක්ව තුවාල ලැබූ ක්‍රිෂ්ණකුමාර් අඩ අඳුරේ සැඟවී පළායාමට සමත් විය. පළා යද්දී අසල නිවසකට ඇතුළු වී වතුර ඉල්ලා පානය කළ ඔහු පසුව තම ගමට ගොස් පාළු නිවසක නැවතී සිටියේ ය. ඉන්සු ඔහු මඩකලපුව නගරයේ පිහිටි තම ඥාති සොහොයුරියගේ නිවසට යාමට සමත් වූ අතර එහි ආරක්ෂිතව රැඳී සිටියේ ය.
1994 දී බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය විසින් එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිව සිටි සමයේ සිදු කරන ලද සමූල ඝාතන පිළිබඳව විමර්ශනය කිරීම ඇරඹූ අතර, 1997 දී චන්ද්‍රිකා විසින් පිහිටුවන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම විසින් සත්තුරුකොන්ඩාන් සමූල ඝාතනය පිළිබඳව විමර්ශනය කරන ලදී. පොදු පෙරමුණු රජය විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ ප්‍රධානී විශ්‍රාමික විනිසුරු කේ.පාලකිද්නාර් සිය අවසන් වාර්තාවෙන් මෙම සංහාරය විමර්ශනාත්මකව විස්තර කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරුන් තිදෙනෙකු වන වර්ණකුලසූරිය, හේරත් සහ විජේනායක වගකිව යුතු පාර්ශ්ව ලෙස විනිසුරුවරයා විසින් හඳුනා ගන්නා ලදී. විනිසුරුවරයා සිය වාර්තාවෙන් ශ්‍රී ලංකා ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියේ සමූල ඝාතනය සඳහා ප්‍රබල සාක්ෂි ඇති බවත්, අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ය.
මානව හිමිකම් කාර්ය සාධක බලකාය විසින් වැරදිකරුවන් යැයි කියනු ලබන පුද්ගලයන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇතත්, චෝදනා කරන ලද අපරාධකරුවන්ට එරෙහිව රජයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ය.


ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කළ වන්තාරුමූලෙයි ග්‍රහණයට ගැනීමෙන් දින කිහිපයකට පසුව මෙම සත්තුරුකොන්ඩාන් සංහාරය සිදු විය. එම සංහාරයෙන් පසු නැගෙනහිර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැකවරණය පතා නතරව සිටි දෙමළ ජාතික සරණාගතයින් 158 දෙනෙකු ශ්‍රී ලංකා සොල්දාදුවන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් නැවත කිසි දිනෙක කිසිවකු විසින් යළි නොදක්නා ලදී.
මඩකලපුව දිස්ත්‍රික්කය තුළ, 1980 දශකයේ අග භාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී, සිවිල් වැසියන් 1,100ක් අතුරුදහන් වූ අතර, ඔවුන් සියල්ලන් මරා දමන ලද බවට උපකල්පනය කරනු ලැබේ.
තක්ෂිලා ස්වර්ණමාලි
More Stories
නැවුම් ජනවරම ලබාගැනීම නොවැළැක්විය හැකි අවශ්‍යතාවකි – ජෙහාන් පෙරේරා
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
ලෝක බැංකු ණය මුදල, IMF සහනය සහ චීන පොරොන්දුව: මේවා යහපත් ප්රවෘත්ති වුනත් විසඳුම් නොවේ