counter hit xanga
March 26, 2023

සිරිකොත,ඉංජිනේරු සංස්ථාවටත් ණයයි!

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය කරනු! අගමැතිගෙන් නියෝගයක්!

Last Updated on June 11, 2021 by Desman Chathuranga

යහපාලන රජය ගෙනගිය අකාර්යක්ෂම කළමනාකරණය සහ මූල්‍ය අවභාවිතාව හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය තත්ත්වයට පත්කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කළා. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය කර සිටියා.

පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඔස්සේ අත්තනෝමතික ලෙස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වී ඇති අතර ඒවායෙන් ලැබිය යුතු රුපියල් බිලියන ගණනක මුදල් මේ දක්වා ඉංජිනේරු සංස්ථාවට අය වී නොමැති බව මෙහිදී අණාවරණය විය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිකිරීම් සඳහා ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබාගත් බවත් මෙතෙක් ඒ සඳහාවත් ගෙවීම් කර නැති බවත් ඉංජිනේරු සංස්ථා නිලධාරියෙක් මෙහි දී හෙළි කළේය. යහපාලන රජය සුදුසුකම් රහිත පත්වීම් සහ උසස්වීම් ලබාදීම හේතුවෙන් රජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළ මේ වනවිට සේවක අර්බුධයක් ද මතුව ඇති බව එම නිලධාරීන් පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ධුර කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් යහපාලන රජය විසින් නවතා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම සංවර්ධන කටයුතු ඇණහිට ඉංජිනේරු සංස්ථාව කබලෙන් ලිපට ඇද වැටුණේ බවයි නිලධාරින් පෙන්වා දුන්නේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය කිරීමේ දී මෙතෙක් ඇණහිට තිබෙන ව්‍යාපෘති ආරම්භ කිරීමට සාකච්ඡා මාර්ගයෙන් පොදු තීන්දුවක් ගන්නා ලෙසත්, ඊට අවශ්‍ය මූල්‍ය සහය ලබා දීම පිළිබඳව අදාළ අංශ දැනුවත් කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහි දී දැනුම් දුන්නා.

අග්‍රාමාත්‍යවරයා සමග පැවැති හමුවෙන් පසුව ඒකාබද්ධ වෘත්තිය සමිති මධ්‍යස්ථානය ජාතික සංවිධායක ප්‍රේමලාල් පෙරේරා මහතා කියා සිටියේ

“ඉතාමත් වාසනාවන්ත කාලයක් ඉංජිනේරු සංස්ථාවට උදාවන බවයි අද සාකච්ඡාවෙන් පෙනී යන්නෙ. දැනට පවතින ණය මුදල් ගෙවා ගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් සාකච්ඡා වුණා. දැන් අපට තිබෙන්නෙ සාමූහික වගකීමක්. අපිව එදා වැඩ බිමෙන් අයින් කරපු යහ පාලනය මරු පාලනයක් කළා. එක රාජ්‍ය ආයතනයක් ඔවුන්ගෙන් බේරුණේ නැහැ. සංස්ථා, මණ්ඩල නැති කරා. රාජ්‍ය ආයතන ටික කන්න බැරි නිසා දුර්වල කරා. අපි මේක දැක්කා. අපි බලා සිටියා ජාතික සම්පත් එළියට ගන්න පුළුවන් මෙවැනි නායකත්වයක් එනකම්. ඒ නිසා අපි කවදත් ආදරය කරන ජන නායකතුමා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමායි. අපි මේ සාකච්ඡාවෙන් පස්සෙ හෙට ඉඳන්ම වැඩබිමෙන් වැඩබිමට අපි යනවා”

මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සංවර්ධන හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කිරීති රංජිත් අබේසිරිවර්ධන, ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සභාපති නිතීඥ රත්නසිරි කළුපහන මහත්වරු ඇතුළු රාජ්‍ය ආතයන ප්‍රධානීන් සහ ඉංජිනේරු සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජනය කරමින් නිලධාරී පිරිසක් එක්ව සිටියහ.