counter hit xanga

ස්වෛරීභාවය මනින SMS!

Last Updated on April 26, 2021 by Panduka Herath

පෝට් සිටිය ස්වෛරීභාවයට අදාළ වන ආකාරය පසුගියදා පාර්ලිමේන්තුවෙන් අපේ දුරකථනවලට ලැබුණු එස්එම්එස් පණිවිඩයෙන්ම පැහැදිලි වු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඊයේ (25) දින පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරීය සදහන් කළේ SMS පණිවිඩයේ සදහන්ව තිබුනේ පෝට් සිටිය නැරඹීම සඳහා චීන තානාපති කාර්යාලය මගින් යොදාගෙන තිබූ චාරිකාව කල් දමා ඇති බවයි. තානාපති කාර්යාලය එවැනි චාරිකාවක් සූදානම් කර ඇති බව අපි දැන ගත්තේත් එමගින් බවයි.

“පෝට් සිටි ව්‍යාපෘතියට ආරම්භයේ සිටම ජනතාවගේ විරෝධතා එල්ල වුණා. අදටත් එහි පාරිසරික බලපෑම් හේතුවෙන් ධීවරයින් පීඩාවිඳිමින් ඉන්නවා. ඇත්තටම මෙම ව්‍යාපෘතිය මේ වන විට ප්‍රතික්ෂේප වූ සංවර්ධන ආකෘතියේම කොටසක්. මෙයට එරෙහිව නැගුණු විරෝධතා නිසා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව මෙය නතර කරන බවට පොරොන්දු වුවත් ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිය නමින් ඉදිරියට ගෙන ගියා. “

“දැන් මේ විරෝධතා මධ්‍යයේ ඉදිරිපත් කරනු ලබන පෝට් සිටි පනත මගින් විසඳෙන්නේ කාගේ ප්‍රශ්නදැයි බැලිය යුතුයි. මේ වන විට අලි මිනිස් ගැටුම හේතුවෙන් ජනතාව පීඩාවිඳිමන් ඉන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුවට විසඳන ලෙස ඉල්ලා ජනතාව උපවාස කරමින් ඉන්නවා. වස විස නැති ආහාර ලබාගැනීම නොහැකි වීම ඇතුළු ගැටලු ගණනාවකින් ජනතාව පීඩා විඳිමින් ඉන්නවා. විසඳුම් ලැබිය යුත්තේ මෙම ගැටලුවලටයි. මේ කිසිදු ගැටලුවක මෙම පනතින් පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ අනුව ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දෙන්නේ කාගේ ප්‍රශ්න විසඳන්නද කියන එක ඉතාම පැහැදිලියි. සැබැවින්ම ආණ්ඩුව තමන්ගේ සහ තම සමීපතමයින් පිරිසකගේ ගැටලු විසඳා ගැනීමට යනවා.”

“දැන් මෙම පෝට් සිටි භූමිය තුළ අධ්‍යාපනය ලබා දෙන පාසල් උසස් අධ්‍යාපන ආයතන, රෝහල්, විනෝදාස්වාදය ලබාදෙන මධ්‍යස්ථාන ඉදිවෙනවා. මේවායින් පහසුකම් ලැබීමට මේ රටේ පොදු ජනතාවට කිසිදාක හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් පෙළන ප්‍රශ්නවලට විසඳුම් ගෙනෙන්නේ නැහැ. සැබැවින්ම බල අරගලයේ කොටසක් වීම මගින් අමතර ප්‍රශ්න ප්‍රමාණයක් නිර්මාණය වී තත්වය උග්‍ර වනවා පමණයි.”

“සමහරු මෙය චීන කොලනියක් නොවන බව කියනවා. අපට ප්‍රශ්නය ඇත්තේ මෙය චීනද ඇමරිකාවද ඉන්දියාවද කියන එක නෙමෙයි; අපට රට අදාළ නැහැ. දේශපාලන පක්ෂ, ජනතා නියෝජිතයින් ලෙස අප මේ දෙස බලන්නේ මේ ව්‍යාපෘතිය විසින් රටේ ජනතාවට ලබා දෙන්නේ කුමක්ද යන්න අනුවයි. අපට පෙනෙන්නේ මින් කිසිසේත් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳෙන බවයි. ඒ වගේම වසර 05ක කාලයකට බලයට එන ආණ්ඩුවකට මේ කාලයට පමණක් නොව ඉපදීමට සිටින පරම්පරාවලට බලපාන තීරණ ගන්න අයිතියක් නැහැ. මෙම පනත සම්මත කිරීමට පෙර ජනතාවගෙන් නැවත වරක් අනුමැතිය ලබා ගත යුතු යැයි අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. “