counter hit xanga
March 28, 2023

පොලිස් රාජ්‍යයක් බවට පත්වූ ආසියාවේ ආශ්චර්යය

Last Updated on October 17, 2022 by Lankae Cast

1948 අප නිදහස ලැබූ දා සිට දශක හතකට වැඩි කාලයක් පුරා තමන්ව වැරදි ලෙස මාරුවෙන් මාරුවට පාලනය කළ දුෂිත පාලන ඉදිරියේ ජනතාව සිට්න්නේ බිහිරන් අන්ධයන් සහ ගොළුවන් ලෙසිනි. පාලකයන් රට සූරා කන තත්වය මෑත කලීනව වඩාත් දරුණු වී ඇත. බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සහ ආත්මාර්ථකාමී සහ අවස්ථාවාදී දේශපාලනඥයන් විසින් නීතිය නින්චිත ලෙස අපයෝජනය කිරීම ආදිය නිසා මෙම වසරෙහි ‘ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයකි’ යැයි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත් කරන තරමට තත්වය දුක්ඛිත වී ඇත.

මේ පසුබිම තුළ අද ශ්‍රී ලංකාව සිටින්නේ ඓතිහාසික සටනක සන්ධිස්ථානයකය. මෙම සටන හෙවත් අරගලය වනාහී අත්තනෝමතික ප්‍රජාතන්ත්‍රවාදයක් විසින් ව්‍යවස්ථාපිත ජනතා පරමාධිපත්‍යය අභියෝගයට ලක් කරමින් සිටින ජනතා විප්ලවයකි. ආර්ථික වශයෙන් පීඩිත වී සිටින ජනතාවට විසඳුම් දෙනවා වෙනුවට ඔවුන්ව පාලන ආචාර ධර්මවලට එරෙහිව කුරිරු ලෙසින් මර්ධනය කිරීමටම රජය පිඹුරුපත් සකස් කරමින් සිටියි. මෙයින් සිදු වන්නේ විරෝධතා සහ මහජන අතෘප්තිය වඩාත් බුර බුරා නැගීම බව පාලකයන්ට නොතේරීම සැබෑ කරුමයකි.

මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම පුරවැසියන්ගේ කණස්සල්ලට හේතුවක් වන අතර එජා මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානයටද මෙය යොමු වී තිබේ.

මෙම ලිපිය උත්සාහ කරන්නේ සාමාන්‍යයෙන් නීත්‍යානුකූල වන නීතිමය ක්‍රියාවලියක් එයට සදාචාරාත්මක නීත්‍යානුකූල භාවය නොමැති වන ආකාරයෙන් අවභාවිත කළ හැක්කේ කෙසේද යන්න පැහැදිලි කිරීමටය.

ඉහත මාතෘකාවේ සඳහන් වන 1947 වසර මහජන ආරක්ෂක ආඥාපනත සහ 1979 වසර අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත් විවාද සමයෙහි හිටපු හිටපු අග්‍රාමාත්‍ය දහනායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි සිදු කළ අදහස් දැක්වීම මෙනෙහි කිරීම මෙම මොහොතෙහි ප්‍රයෝජනවත් වනු ඇතැයි මා සිතමි.

හිට්ලර් සහ මුලෝසිනි මෙය නීත්‍යාකූලව කළහ

‘මෙම පනත පහත්ම සහ කැතම නීතිය ලෙස ඉතිහාස ගත වනු ඇත… මුසෝලිනි යටතේ ඉතාලියේද නාසි ජර්මනියේද පැවති නීති හා මෙය බෙහෙවින්ම සමානය. යම් රටක කම්කරු පන්තියට පැනවිය හැකි ඉතාම නින්දිත, කුරිරුම, වනචාරිම නීතිය ලෙස මම මෙය හඳුන්වමි… මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන යටතේ සිවිල් නිදහස සම්පූර්ණයෙන්ම සහ සියයට සියයක් විනාශ කිරීමක් සිදුවී ඇත… මා පවසන්නේ මෙම පනතට කිසිම ශිෂ්ට සමාජයක් එකඟ නොවිය යුතු යනුවෙනි’ (1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සහ අන්තර්ගතය පිළිබඳ පරාවර්තී අභ්‍යන්තරික දෘෂ්ටිකෝණය, නිහාල් ජයවික්‍රම).

දහනායක මහතා විසින් නාසි ජර්මනිය සහ මුසෝලිනි විෂයයෙහි කර ඇති සඳහන සන්දර්භකරණය කිරීම අවශ්‍ය වෙයි.

අද ජනාධිපති අද රනිල් වික්‍රමසිංහ තම ප්‍රජාතාන්ත්‍රි විරෝධී ක්‍රියා සාධාරණීකරණය කරන්නේ නීතිය පිටුපස සැඟවෙමිනි. සෑම දෙයක්ම ඔහු කරන්නේ නීතියට ආනුකූලව යන තර්කය ඔහු නිතර ඉදිරිපත් කරයි. අත්අඩංගුවට ගැනීම්, සිරගත කිරීම්, සාමකාමි විරෝධතා මැඬලීම, අහිම්සාවාදි අරගලකරුවන්ට පහර දීම සහ නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ උද්දච්ඡ කම ආදිය ගත් කළ රනිල්ගේ තර්කය අනුව ඒවායෙහි නීති විරෝධී කිසිවක් නැත.

හිට්ලර් සහ මුසෝලිනි ද ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියාවල යෙදුනේ මෙසේ තර්ක කරමිනි. ඒ සමූළ ඝාතකයන් දෙදෙනා එදා කළ සියලු සැහැසි ක්‍රියා ඔවුන්ගේ අර්ත කථන අනුව නීත්‍යානුකූලය. යුදෙව්වන්, රුමේනියානු අභිකුණ්ඨිකයන් (ජිප්සීන්), ස්ලාව් ජාතිකයන් සහ අනෙකුත් සුළු ජාතීන්ට එරෙහිව මෙම කුරිරු පාලකයන් දෙනො එදා මුදා හැරි නොමිනිස් ක්‍රියා සඳහා අවශ්‍ය නීතිද ඔවුන් සම්මත කරගත්හ.

එහෙයින් ඔවුන්ට ඒ මොහොතේ ඔවුන්ගේම භෞමික සීමා තුල නීතියේ ආරක්ෂාව ලැබුනු බව සැබෑය. මෙම යක්ෂයන් දෙපළ ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියා සඳහා ස්වකීය බලය යොදා නීතිය හීලෑ කර ගත්තද නීතියේ මුවාවෙන් මේ මරුවන් දෙදෙනා කළ දේවලට ජගත් සම්මත නීතිය තුල පිළිගැනීමක් නැති බව පසුව නියුරම්බර්ග් නඩු විභාගවල තීන්දු ලොවට පෙන්වා දුන්නේය.

ආසියාවේ ආශ්චර්ය පොලිස් රාජ්‍යයක් බවට පත් වෙයි

නිදහස ලැබු පසු ශ්‍රී ලාංකිකයන් වැඩියෙන්ම වාසය කර ඇත්තේ හදිසි නීතිය යටතේය. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට පෙරද හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අවස්ථා කිහිපයක් තිබේ. 1971 වසරෙන් පසු හදිසි නීතිය ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයේ නිත්‍ය අංගයක් බවටම පත් විය. හදිසි නීතිය එක දිගටම පැවතී වකවානුව ලෙසින් 1983 සිට 2011 සඳහන් කළ හැකිය. මෙම වසර අතර කෙටි විරාම තිබුනි. ඉන්පසු 2018 මාර්තු මාසයේ දිගනු-සිංහල මුස්ලිම් කෝලාහලයේදී හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදි. ගෝඨාභය ජනාධිපති ධූර සමයෙහි සහ වත්මන් ජනාධිපතිවරයා යටතේ මහජන ආරක්‍ෂක පනත කීප වතාවක්ම වලංගු කර අවලංගු කරන ලද අතර මෙසේ කළ වාර ගණන ගිණිය නොහැති තරමට අධිකය. මෙසේ වුයේ විධායකයට පවරා ඇති බලතල හෑල්ලුවට ගැනීමේ ප්‍රතිඵලයක් නිසා යැයි නොකියා බැරිය.

මෙම තත්ත්වයන් යටතේ, වර්තමානයේ සේම, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ප්‍රතිවිපාකවල බියෙන් තොරව සහ අත්තනෝමතික ලෙස ක්‍රියා කරනු දැකිය හැකි විය. අවාසනාවකට මෙන් නිලධාරි මර්දන හමුවේ තම නිදහස සහ අයිතිවාසිකමේ ආවේගය අකමැත්තෙන් හෝ යටපත් කර ගැනීමට අසරණ ලක්වැසියන් සිදු විය. මෙවිට නියමිත මෙලෙසින් සම්මත ක්‍රියාපටිපාටිවලට පටහැනිව අත්අඩංගුවට ගැනීම් සිදු වූ අවස්ථා බොහෝය. අරගලකරුවන් බොහෝ දෙනෙකු පොලිසිය හදිසියේ රාත්‍රි කාලයේ තම නිවෙස්වලට කඩා වැදී තමන්ව අත්අඩංගුවට ගනු ඇතැයි යන බිය නිසා තම නිවෙස්වල නිදා නොගන්නා බවද වාර්තා වී ඇත. සිවිල් ඇඳුමින් සැරසුණු සහ කිසිදු හැඳුනුම්පතක් නොමැති පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව පසු ගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයද සිය කණස්සල්ල නිල වශයෙන් පළ කළේය. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් හඳුනා ගත නොහැකි වාහනවලින් රැගෙන ගොස් පැය කිහිපයක් හෙළි නොකළ ස්ථානවල රඳවා ඇති බවටද චෝදනා එල්ල වී ඇත. මෙවන් අවස්ථාවලදී අත්අඩංගුවට ගත් බවට කිසිදු නිල දැනුම් දීමක් ඥාතීන්ට හෝ මිතුරන්ට නිකුත් කර නොමැති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන්ව රඳවා ඇති ස්ථාන පිළිබඳව ඥාතීන්ට, මිතුරන්ට හෝ නීතිඥවරුන්ට පවා දැනුම් දීම නිලධාරින් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

හමුදාව යොදා සිවිල් වැසියන් බිය ගැන්වීම

එපමණක් නොව සිවිල් වැසියන්ට පොලිස් බලතල පෙන්වීම සඳහා හමුදාව එවු වර ගණන්ද බොහෝ වාර්තා වී ඇත. මෙය කරන ලද්දේ මහජන අරාක්‍ෂා පනතේ මුවාවෙනි. සියල්ල සිදු කරනු ලබන්නේ නීතියට අනුවය’ යැයි’ ජනාධිපති වික්‍රමසිංහ කීවද එහි නියම නීත්‍යානුකූලභාවය ගැන ඔහුගේ නිහැඬියාව කන් බිහිරි කරන තරම්ය. මා කියන මේ නියම නීත්‍යානුකූලභාවය පිළිබඳ යම් වැටහීමක් පහත නිරීක්‍ෂණවලින් පාඨකයාට ලැබෙනු ඇතැයි විශ්වාස කරමි:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද වාර්තාවක සාමකාමී රැස්වීම් සහ එක්වීමේ අයිතිය පිළිබඳ එජා විශේෂ නියෝජිත ක්ලෙමන්ට් එන් වුල් අදහස් දක්වන විටිසාමකාමී අරගල මර්දනය කිරීම සඳහා හමුදාව යෙදවීමේ සහ මිලිටරි ආකාරයේ උපක්‍රම භාවිතා කිරීමේ ප්‍රවණතාව දැඩි ලෙස හෙළා දකින’ බව ඔහු පවසා ඇත. මෙම ප්‍රවේශය මහජන ප්‍රචණ්ඩත්වය සහ නොසන්සුන්තාවය තවත් උත්සන්න කර මානව හිමිකම් අවභාවිතාව වැඩි කිරීමට තුඩු දිය හැකි බවටද ඔහු අනතුරු අඟවයි.

‘පොදු රීතියක් ලෙසින් දේශපාලන රැස්වීම් පාලනය කිරීමට හමුදා යෙදවීමෙන් රජය වැළකිය යුතුය. එය හමුදාවට පැවරුනු රාජකාරියක්ද නොවේ. රැස්වීම්වලට ආරක්‍ෂාව දීම හෝ නොසන්සුන්තා සමනය කිරීමේ පුහුණුව හමුදාවට ලබා දෙන්නේ නැත. ඒ සඳහා වන (කඳුලු ගෑස්, වේවැල් පළිහ, රබර් බැටන් වැනි) සැහැල්ලු ආම්පන්නද හමුදාවට ලබා දී නැත. පොදුවේ යම් තැනකට හමුදාව ගෙන ඒම සාමකාමී ලෙස රැස්වීමේ මානව අයිතිය උල්ලංඝණය කර ජනතාව බිය ගන්වා ත්‍රාසය මුසු තත්වයක් නිර්මාණය කරනු ඇත.

වෙනස් වන්න නැත්නම් විනාශ වන්න

මහජන ආරක්‍ෂා පනත යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය යැයි හෝ ප්‍රායා්ගික යැයි හැගෙන පරිදි හදිසි රෙගුලාසි පැනවීමට ඔහුට හැකිය. ජනාධිපතිරයාට පැවරී ඇති බලතලවලට අගතියක් අදහස් නොකර පහත පියවර ජනාධිපතිවාරයාට නිර්දේශ කළ හැකිය:

■ පුද්ගලයින් රඳවා තබා ගැනීම
■ යම් දේපළක හෝ කටයුත්තක අයිතිය ගැනීම හෝ එහි පාලනය අතට ගැනීම
■ ඉඩම් නොවන දේපළක් අත්පත් කර ගැනීම
■ සෝදිසි වරෙන්තුවක් නොමැතිව යම් පරීශ්‍රයකට ඇතුල් වී සෝදිසි කිරීම
■ යම් නීතියක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම
■ රෙගුලාසියේ ප්‍රතිපාදනවලට අනුව වරදකරුවන් අත්අඩංගුවට ගෙන දඬුවම් පැනවීම

ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදයකට අයත් පුරවැසියන් වශයෙන්, අපගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීම, සංරක්‍ෂණය කිරීම පුරවැසි සැමගේ පරම අයිතියකි. මේ සඳහා සියල්ලටම ප්‍රථම මෙම අයිතිවාසිකම් මොනවාදැයි දැනගත යුතුය. සමාජ, නෛතික හා දේශපාලන පරිවර්තනයක් ගෙන ඒම සඳහා සියලු ජනතාව එක්විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම මොහොතේ ජනතාව උදක් අපේක්‍ෂා කරන්නේ ආණ්ඩු ක්‍රමයේ සිස්ටම් චේන්ජ් එක් හෙවත් ක්‍රමවේදයේ වෙනසකි. දැන් නම් මිනිසුන්ට රට බංකලොත් කිරීමෙන් පසුවත් නොනවතින පාලකයන් යැයි කියා ගන්නා මෙම දුෂිත නරුමයන්ව හොඳටම එපා වෙලාය.

ජනතාවට මෙම මොහොතෙහි විකල්ප දෙකක් ඇත. එකක් නම් මෙම කාලකණ්ණි තත්ත්වයෙන් මිදී යුක්තිගරුක, නීතියේ ආධිපත්‍යය ඇති, සාමකාමී, සමෘද්ධිමත් සහ සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් ගොඩනැගීම සඳහා බාධක නොතකා සහ නොකඩවා ඉදිරියට යාමය.

අනෙක නම් අපගේ ඉදිරි දශක කිහිපය කාලකණ්ණි එකක් වනු දැක බකංනිලාගෙන සිටීමය.
මෙම දෙවන විකල්පය හෙවත්, හොරකම, දූෂණය, ඥාති සංග්‍රහය, නාස්තිය සහ වංචාව ආදියෙන් ඉහ වහා ගිය දුර්දාන්ත ආධිපත්‍යයට අනුබල හා ඉඩ දී නිවටයන් ලෙසින් සිටීම මෙන්ම මූලික මානව හිමිකම් මර්දනය කිරීමට ඉඩ දීම සහ නීතියේ මුවාවෙන් සාමකාමී අරගල මර්දනය කිරීම ඉදිරියේ නින්දිත ලෙස හිස නමා සිටීම අප තෝරා ගත්තොත් අපගේ අනාගත පරම්පරාව අපගේ සොහොන්වලටත් හෙණ ඉල්ලා ශාප කරනු නියතය.

නීතිඥ මාස් එල් යුසුෆ් විසිනි

(මෙම ලිපියේ කතුවරයාට මහ බ්‍රිතාන්‍යය  එල් එල් බී ගෞරව උපාධියක් හිමි වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යවල පුද්ගලික ජනාධිපති දෙපාර්තමේන්තුවේ උපදේශකයෙකු ලෙසද ඔහු කලක් සේවය කළේය. ඔහු සමග ctcolumn@yahoo.com යන විද්‍යුත් ලිපියෙන් සම්බන්ධ විය හැකිය)