counter hit xanga
October 1, 2022

අද ලංකාව බංකොලොත්, හිඟන රටක්!

Last Updated on September 22, 2022 by Panduka Herath

අද ලංකාව බංකොලොත්, හිඟන රටකි. හිඟන්නන්ට උණු බත් නොලැබෙයි. ඒ නිසා අපටද උණු බත් බලාපොරොත්තු විය නොහැකිය. ජනපතිගේ, අගමැතිගේ, ඇමැතිවරුන්ගේ සිට හිඟන්නන් දක්වා රටේ සිටින සියලු දෙනා තම තමන්ගේ මට්ටම් අනුව තම තමන් විඳින සැප සම්පත් අනුව මහා කැපකිරීම් කළ යුත්තේ එබැවින් බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සදහන් කරන්නේ.ලංකාදීප පුවත්පතේ මතවාද විශේෂාංගය යටතේ ගුණසිංහ හේරත් සමග සිදුකරන ලද සාකච්ඡාවකදි ඔහු මේ බව අවධාරණය කර සිටියා.

“මැති ඇමැතිවරුන් හිඟන ජනතාවගේ මිල මුදලින් සැප සම්පත් විඳිමින් තව දුරටත් ඒ ජනතාවගේම පටි තද කිරීම අමනුෂ්‍ය පිළිවෙතකි. අමනුෂ්‍ය ක්‍රියාදාමයකි. එබැවින් ලොකු අය ලොකු කැපකිරීම් කළ යුතුය. එසේ නොවුණොත් රට දැනට වඩා ගිනි ගොඩක වැටෙනු වැළැක්විය නොහැකිය.”

ආර්ථිකය:අනාගතය අවදානම්

ලංකාව සතු විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයට ආණ්ඩුව සැරසෙයි. හෙට එනම් 2022 සැප්තැම්බර් 23 වැනිදා ලංකා ආණ්ඩුවත් ආණ්ඩුව විසින් පත්කරන ලද උපදේශකයන් දෙදෙනාත් ලංකාවේ ණය හිමියන් සමග ප්‍රථම සාකච්ඡාව ඇරඹීමට නියමිතය. මේ ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. විජේවර්ධන මහතා ප්‍රවීණ සහ ප්‍රායෝගික ආර්ථික විශ්ලේෂකයකු ලෙස ප්‍රකටය. මේ ඒ මහතාගේ හඬයි.

ලංකා ආණ්ඩුව සහ ආණ්ඩුව විසින් පත්කරන ලද විදේශීය නියෝජිතයන් දෙදෙනා ලංකාවේ ණය හිමියන් සමග ප්‍රථම සාකච්ඡාව ආරම්භ කරන්නේ හෙට එනම් 2022 සැප්තැම්බර් 23 වැනිදාය. ලංකාව සතු ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලංකා ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන්නේ කෙබඳු යෝජනාවලියක්ද යන්න දැනගන්නට ලැබෙන්නේ ඒ සාකච්ඡාවේ දීය. ඒ නිසා ආණ්ඩුවේ යෝජනා මොනවාද කියා අපි තවමත් නොදනිමු.

ලංකාව සතු සමස්ත ණය මුදලින් සියයට 30‌ සිට සීයට 50 අතර ප්‍රමාණයක් කපා හරින්නැයි ආණ්ඩුව ඉල්ලා සිටිනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය. එය හඳුන්වන්නේ ‘හෙයා කට්’ නමිනි. එහි තේරුම යම් ප්‍රතිශතයකින් ණය කපාහැරීමය. ගෙවිය යුතුව තිබෙන පොලී ප්‍රමාණයෙන් යම් කොටසක් කපා හරින්නැයි ඉල්ලා සිටිනු ඇතැයිද අපේක්‍ෂා කළ හැකිය. එසේම ණය ආපසු ගෙවීමේ කාලපරිච්ඡේදය කල් දමා ගැනීමේ යෝජනාවක් ද ඉදිරිපත් වීමට ඉඩ තිබේ. ඒ සියල්ල දැනගත්තාට පසුව පමණක් ණය හිමියන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි අපට දැනගන්නට ලැබෙයි.

එතෙක් ලංකාව මුහුණ දී සිටින්නේ ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකටය. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සමස්ත ප්‍රතිවිපාකය කුමක්දැයි තක්සේරු කරගැනීමේ අසීරුතාවක් පවතී. ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ලංකා ආණ්ඩුව ඉදිරිපත් කරන යෝජනා මොනවාද, ණය හිමියන් ඒ යෝජනා සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර මොනවාද යන්න දැන ගැනීමෙන් පසුව පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිවිපාක මොනවාද කියා අපට දැනගන්නට ලැබෙයි. ඒ නිසා දැන්ම අවසාන නිගමනයකට එළඹිය නොහැකිය. ඒ නිසා මේ කරන විග්‍රහය ඒ කොන්දේසියට යටත් වෙයි.

විදෙස් ණය ගෙවීම සම්බන්ධයෙන් ලංකාව දැන් සිටින්නේ අස්ථිර තත්ත්වයකය. ලංකාව දැන් සිටින්නේ ණය ගෙවීම සඳහාවත් නැවත ණයක් ලබාගත නොහැකි තත්ත්වයකය. ලංකාව මේ තත්ත්වයට පත්වුණේ 2021 වසරේදීය. ඒ අවස්ථාවේදීම අප අවශ්‍ය පිළියම් කළා නම් අද මුහුණ දී සිටින බැරෑරුම් තත්ත්වයට මුහුණ දීමට අපට සිදු නොවෙයි. ඒ අවස්ථාවේදී එනම් 2021 පැවැති ආණ්ඩුව තීරණය කළේ ලංකාව සතු විදේශ වත්කම්වලින් ණය ගෙවන බවටය.ඒ නිසා 2019 දෙසැම්බරයේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 7,600 ක් වූ අපේ විදේශ වත්කම් ප්‍රමාණය ක්‍රමයෙන් පිරිහී 2022 මාර්තු අග වනවිට ලංකාවට පාවිච්චි කළ හැකි විදේශ වත්කම් ප්‍රමාණය බින්දුව බවට පත්විය.

එසේ වූ නිසා 2022 අප්‍රේල් 12වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඒකාබද්ධව මුදල් ඇමැතිගේ අනුමැතිය යටතේ ප්‍රකාශයක් නිකුත් කළා අපට මතකය. ඒ ප්‍රකාශයෙන් කියැවුණේ එතෙක් ලංකාව වාණිජ මට්ටමෙන් සහ ද්වීපාර්ශ්වීය වශයෙන් ගෙන තිබෙන විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ණය ගෙවීම කල්දමන බවය. ඒ හැර වෙනත් විකල්පයක් රජයට නොතිබිණි. තිබුණු එකම විකල්පය ණය පැහැර හැරීමය. පැහැර හැරීම වෙනුවට ලංකාව කළේ ණය ගෙවීම කල් දමන බව ණය හිමියන්ට දැනුම් දී ණය ගෙවීම අත්හිටුවන බව ප්‍රකාශයට පත් කිරීමය. ඒ නිසා ණය ගෙවීම පැහැර හැරියාය කියන ‘කළු ලපය’ ඇති නොවිණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහන ණයක් ලබාගැනීමට ලංකාව අයදුම් කළේ මේ තත්ත්වය මතය. එහිදී ලංකාව ඉල්ලූ මුදල දෙන බවත් මුල්‍ය අරමුදල නොකියයි. මුල්‍ය අරමුදලේ ක්ෂණිකව ණය ලබාදීමේ පිළිවෙත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබෙන මුල්‍ය අරමුදල සතු කොටස් ප්‍රමාණයෙන් සියයට 100‌ ක ණයක් ලබා ගත හැකිය. මුල්‍ය අරමුදල සතු ඒ කොටස් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 800 ක් පමණ වෙයි. ඒ නිසා මිලියන 800 ක් ලබාගැනීමේ අයදුම් පත්‍රයක් ලංකාවෙන් මුල්‍ය අරමුදලට දී තිබිණි. ඊට අමතරව විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 3,200 ක් අයදුම් කර තිබිණි. එවිට ලංකාව මුල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබු මුළු ණය මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 4000 කි. එහෙත් ලංකාවට මූල්‍ය අරමුදලෙන් වහාම ලබාගත හැකි වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 1200 කි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි මට්ටමේ සම්මුතියේදී ක්‍ෂණික ණය ලබාගැනීම පිළිබඳ පහසුකම අත්හැරියේය. විස්තීර්ණ ණයවලිනුත් මිලියන 3,200 ක් වෙනුවට මිලියන 2,900 ක් දීමට එකඟවී සිටියි. ඒ මිලියන 2,900 ලැබෙන්නේද අවුරුදු හතරකදී වාරික වශයෙනි. ඒ අනුව අවුරුද්දකට අපට ලැබෙන්නේ ඩොලර් මිලියන 800 කට අඩු ගණනකි. එය ලැබෙන්නේ ද අනුමැතිය ලැබුණොත් පමණකි.

අප ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 6000 ක් පමණ වෙයි. එහෙත් ලැබෙන්නේ 800 කට අඩු ගණනකි. ඒ නිසා වෙනත් පාර්ශ්වවලින් අනිවාර්යයෙන්ම ක්ෂණිකව ණය ලබාගැනීමට සිදුවෙයි. ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් එකඟවී සිටින්නේ ඩොලර් මිලියන 2000 ක ණයක් ලබාදීමටය. ඒ ක්ෂණික සහන ණයක් වශයෙනි. ඒ ණය මුදල ලැබුණත් රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවෙයි. එයින් අදහස් වන්නේ ලංකාව මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව නොවන අනෙකුත් අයට ගෙවිය යුතු ණය ගෙවීමටත් ආහාර, තෙල්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය තරම් විදේශ මුදල් නොලැබෙන බවය. ඒ නිසා ආහාර, ඖෂධ, ඛනිජ තෙල් යනාදිය තව දුරටත් හිඟ විය හැකිය. එසේම එල්.පී. ගෑස් සහ කර්මාන්ත පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය යෙදවුම් සහ අමුද්‍රව්‍යද හිඟවීමේ අවදානමක් පවතී.

ආනයන පාලනය සඳහා ලංකාව දැඩි නීති රීති සමුදායක් දැනටත් හඳුන්වා දී තිබේ. ඒ නීතිරීති තවදුරටත් පවත්වාගෙන යාමට ද සිදුවෙයි. ඒ නිසා සමස්ත ලාංකිකයන්ටම ඉදිරියේදී තවත් බරපතළ කැපකිරීම් කිරීමට සිදුවෙයි. රටින් ගෙන්වන බඩු පරිභෝජනය අත්හැර දමා දේශීය වශයෙන් නිපදවන භාණ්ඩවලටම හුරුවීමට ලාංකිකයන්ට සිදුවනු ද නියතය. රටට අවශ්‍ය තරමට විදේශ විනිමය හිඟවනවිට උදාවිය හැක්කේ එවැනි තත්ත්වයකි. එසේ වීම වැළැක්විය හැකි ක්‍රමයක් පෙනෙන මානයක නොපෙනෙයි.

ලංකාව චීනයෙන් ගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය එකඟ නොවුණොත් චීනයට දෙන සහනම තමන්ටද දෙන්නැයි අනෙකුත් ණය හිමියන් ද කියා සිටිනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය. එසේ වුවහොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අතර මඟ නතර කිරීමට සිදු වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් දීමට එකඟ වී සිටින ණය මුදල ලබාගැනීමටද අපට නොහැකි වෙයි. එය එසේ වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මුල්‍ය අරමුදලට පිළිගත හැකි ක්‍රියාවලියකට ලංකාව අවතීර්ණ විය යුතු බවට කොන්දේසියක් පවතින බැවිනි. දැනට පවතින තත්ත්වය යටතේ ලංකාව තමන්ගෙන් ගෙන තිබෙන මුළු ණය මුදලෙන් කොටසක් කපා හැරීමට තමන් එකඟ බවක් චීනය නොපවසයි. පෙරේදා එනම් 2022 සැප්තැම්බර් 20 වැනිදා චීනය කෙබඳු ස්ථාවරයක් ගනීද යන්න ගැන අපූරු තොරතුරක් වාර්තා විය.

ඉක්වදෝරය නමැති රට චීනයෙන් ගෙන තිබෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 3,200 ක ණය මුදලක් කපා හැරීම වෙනුවට චීනය එකඟ වී සිටින්නේ ණය ගෙවීමට දෙන කාලය කල් දැමීමටය. නැතහොත් කාලය දිගුකර දීමටය. එය වුණේ පෙරේදා (20) ය. චීනය ලංකාව සම්බන්ධයෙන්ද එවැනි තීරණයක් ගතහොත් ලංකාවේ අනෙකුත් ණය හිමියන්ද ඒ තීරණය ම ගැනීමට තිබෙන ඉඩ වැඩිය. එනම් තමන් දුන් ණය කපාහැරීමට ලංකාවේ අනෙකුත් ණය හිමියන්ද එකඟ නොවීමට ඉඩ තිබේ.

ඒ තත්ත්වය මත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලියම කඩාවැටෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපහසුතා රැසකට මුහුණ දීමට ලාංකිකයන්ට සිදුවනු නියතය. ඒ සියල්ල තීන්දු වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය ගන්නා ස්ථාවරය මතය. චීනයේ ප්‍රතිචාරය අනුවය. ලංකාව සතු විදෙස් ණයවලින් සියයට 44 ක් ගෙන තිබෙන්නේ චීනයෙනි. ඒ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 4,200 කි.

ඒ මුදලින් යම් කොටසක් කපා හැරීමට චීනය එකඟ නොවුණොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලියම ඇනහිටීමේ අවදානමක් පවතියි. එසේ වුවහොත් මූල්‍ය අරමුදලෙන් දීමට එකඟ වී සිටින ඇමෙරිකන් ඩොලර් මිලියන 2,900 ද නොලැබෙයි. මේ තත්ත්වය මත චීනය සමග අප පවත්වන සබඳතා විශාල වශයෙන් වැදගත් වෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අවසාන තීරණය සහ නිගමනය කරන්නා චීනය බව අප අවබෝධ කරගත යුතුය. තේරුම් ගත යුතුය.

චීනය ඉක්වදෝරය සම්බන්ධයෙන් පෙරේදා (20) ගත් තීරණයම ලංකාව සම්බන්ධයෙන්ද ගතහොත් අපට තව තවත් දුක් විඳීමට සිදුවෙයි. ඉක්වදෝරය චීනයෙන් ගෙන තිබෙන ණය මුදලෙන් කොටසක් කපා නොහැර ගෙන තිබෙන ණය ගෙවීමට තවත් කල් දුන්නේය. ඒ නිසා අවුරුද්දකට ගෙවිය යුතු මුදල අඩුවෙයි. ඉක්වදෝරයට බෙදූ හැන්දෙන්ම චීනය ලංකාවටත් බෙදයිද නොබෙදයිද කියන කාරණය තීරණය වන්නේ ලංකාව චීනය සමග පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මතය. ඒ සබඳතාවල ප්‍රබලතා සහ දුබලතා මත ලංකාවේ ඉරණම තීරණය වෙයි.

ලංකාවේ ණය ප්‍රශ්නය භූ දේශපාලන ප්‍රශ්නයක්

ලංකාවේ විදෙස් ණය තවදුරටත් ආර්ථික ප්‍රශ්නයක්ම නොවන බව දැන්වත් තේරුම් ගත යුත්තේ එහෙයිනි. ලංකාවේ ණය ප්‍රශ්නය භූ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව විශේෂයෙන් තේරුම් ගත යුත්තෝ ප්‍රතිපත්ති සම්පාදකයෝය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී අප චීනයට වැඩි ප්‍රමුඛතාවක් දුන්නොත් අසල්වැසි ඉන්දියාවත් ඇමෙරිකාව හා වෙනත් බටහිර රටවලුත් අපෙන් දුරස් වෙයි. අප සමග අමනාප වෙයි. ඒ නිසා ලංකාවේ විදෙස් ණය භූ දේශපාලනික ප්‍රශ්නයක් බවට පත්ව හමාරය. මෙය හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් නොවෙයි. එය භූ දේශපාලනික (Geopolitical) ප්‍රශ්නයකි.

අපේ විදෙස් ණයවලින් සීයට 44 ක් ගෙන තිබෙන්නේ චීනයෙනි. ණය කපාහරින්නැයි අප චීනයෙන් කරන ඉල්ලීමට චීනය එකඟවෙතැයි ඇත්තේ සැකයකි. චීනය මෙතෙක් කිසිදු රටකට එවැනි සහනයක් දී නොමැත. ඔවුන් කිසිදු රටකට එවැනි සහනයක් නොදෙයි. එයට හේතුව චීනය දැනට ඇමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක් පමණ ආසියානු අප්‍රිකානු සහ දකුණු ඇමෙරිකානු රටවලට ණය වශයෙන් දී තිබේ. ඒ ණවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 700 ක් පමණ ණය ගත් රටවලට ගෙවීමට නොහැකිව තිබේ.

චීනය දී තිබෙන ණයවලින් සීයට 30 ක් කපා හැරීමට තීරණය කළහොත් ඇමෙරිකන් ඩොලර් බිලියන 200ක පමණ අලාබයක් විඳීමට චීනයට සිදුවෙයි. තනි රටක් ලෙස ඒ අලාබය දරාගැනීමට චීනයට අපහසුය. චීනය අතිරික්ත ධනයක් තිබෙන රටක් නොවේ. ඔවුන්ගේ විදේශ වත්කම් සියල්ල ආයෝජනය කර තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර්වලය. චීනයේ තිබෙන්නේ අතිරික්ත ධනයක් නොව වෙළෙඳ ගිණුමේ අතිරික්තයකි. අද පවතින ඒ අතිරික්තය භූ දේශපාලන තත්ත්වය මත හෙට ක්‍ෂය විය හැකිය.

ලංකාවේ විදෙස් ණයවලින් සීයට 44 ක් චීනයෙන්ද සීයට 32 ක් ජපානයෙන් ද සීයට 10 ක් පමණ ඉන්දියාවෙන්ද ගෙන තිබේ. ජපානයට හා ඉන්දියාවට ඒ ණයෙන් කොටසක් කපා හැරීමේ හැකියාවක් පවතී. එහෙත් චීනය ලංකාවට සේම තවත් රටවල් රැසකට මහා පරිමාණයෙන් ණය දී තිබෙන නිසා එවැනි අලාබයක් දරාගැනීමට චීනයට නොහැකිය. රටක් තවත් රටකට උදව් කරනවාය කීම බොරුවකි. හැම රටක්ම කරන්නේ තමන්ගේ පෞද්ගලික ළබැදියා මත තමන්ට ලැබෙන ලාබ අලාබ මත තීන්දු ගැනීමය. ඒ නිසා වෙනත් රටවල් අපට උදව්කරයි කියා බලාපොරොත්තු වීම අනුවණය. එබැවින් ලංකාව තව දුරටත් සිටින්නේ බරපතළ අවිනිශ්චිත තත්ත්වයකය. ඒ නිසා ලාංකියන් ලෙස අප අපේ දෙපයින් නැගිටීමට කල්පනා කළ යුතුය.

උත්සාහ සහ කටයුතු කළ යුතුය. එය මා හැමදාම පුන පුනා කියන්නකි. අද ලංකාව බංකොලොත් රටකි. හිඟන රටකි. හිඟන්නන්ට උණු බත් නොලැබෙයි. ඒ නිසා අපටද උණු බත් බලාපොරොත්තු විය නොහැකිය. ජනපතිගේ, අගමැතිගේ, ඇමැතිවරුන්ගේ සිට හිඟන්නන් දක්වා රටේ සිටින සියලු දෙනා තම තමන්ගේ මට්ටම් අනුව තම තමන් විඳින සැප සම්පත් අනුව මහා කැපකිරීම් කළ යුත්තේ එබැවිනි. සාමාන්‍ය ජනතාව ඔවුන් විඳින සැප සම්පත් මත සාමාන්‍ය කැප කිරීමකුත් ඒ හිඟන ජනතාවගේ මිල මුදල් සහ සම්පත්වලින් මහා පරිමාණයෙන් සැප සම්පත් භුක්ති විඳින මැති ඇමැතිවරුන් මහා කැපකිරීමකුත් කළ යුතුය.

මැති ඇමැතිවරුන් හිඟන ජනතාවගේ මිල මුදලින් සැප සම්පත් විඳිමින් තව දුරටත් ඒ ජනතාවගේම පටි තද කිරීම අමනුෂ්‍ය පිළිවෙතකි. අමනුෂ්‍ය ක්‍රියාදාමයකි. එබැවින් ලොකු අය ලොකු කැපකිරීම් කළ යුතුය. එසේ නොවුණොත් රට දැනට වඩා ගිනි ගොඩක වැටෙනු වැළැක්විය නොහැකිය.