Last Updated on February 3, 2023 by Lankae Cast
අද මාමාගේ උපන්දිනය…..
මම මේ ආයෙමත් පොඩි වෙනස්කම් සහිතව පළකරන්නේ ගිය අවුරුද්දේ ඔහු වෙනුවෙන් ලියපු කෙටිම කෙටි සටහන පහලින් පළ කරමින්…..
තවමත් ලංකාවේ දේශපාලනය වෙනුවෙන් – ඔහු විශ්වාස කරන දේ වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කරන ඔහු ගැන මට සතුටුයි.
“මාමා, ලංකාව එහෙම වෙනස් වෙන රටක් නෙමෙයි. තව මිනිස් ජිවිත විනාශ වෙනවා දකින එකට අපේ සමාජය දැන් ඇබ්බැහි වෙලා” කියලා මම කියන අසුබ වාක්‍ය ගණන් නොගෙනම තවමත් කැපවීමෙන් තමන්ට කළ හැකි දේ කරන මාමා මගේ ලෝකයේ වීරයෙක්.
වෙනස් ලංකාවක් නිර්මාණය කරන්න ඔයා අදටත් ගන්න උත්සාහය ගැන ඔයා තුළ තියෙන විශ්වාසය ඔයාව තව බොහෝ කල් ජිවත් වෙන්න ශක්තිය දේවි.
ඒ කොහොම වුණත්, අද මගේ ආදරණිය තාත්තා, මට ඉන්න හොඳම යහළුවාත් මාමායි. සඳලි කියන විදිහට කිව්වොත්, ‘du bist aller bester siya ganzen Welt’: ‘ලෝකයේ ඉන්න හොඳම සීයා’ ඇයට ඉන්න එක ගැන මට ශක්තියක්.
තවත් බොහෝ කල් සතුටින්, ධෛර්යමත්ව, නිරෝගීව ඉන්න මාමා.
මමත් සදලිත් ඔයාට ආදරයත්, ශක්තියත් සමග නිරොගීකම අද දවසේත් වෙනදාට වගේම ප්‍රාර්ථනා කරනවා.
සුබ උපන්දිනයක්!……..

මාමා ගේ 70 වෙනි උපන්දිනය….
සුබ උපන්දිනයක් මගේ ආදරණීය මාමේ!
දේශපාලන සිරකරුවෙක් වෙලා හිටිය මාමා,(රංජිත් හේනායක ආරච්චි) මම පුන්චි කාලයේදි, හිරෙන් පැනලා ඇවිත් සැඟවිලා සිටි කෙනෙක් බව මම දැන ගන්නේ බොහෝ කාලෙකට පස්සේයි. තාත්තාගේ යහලුවන් අතර “බර්ටි මාමා” ඉතාමත් සුවිශේෂී යහලූවෙක් බව විතරක් මම කුඩා අවදියේ අහලා තිබුණා. තාත්තාගේ විවිධ කතා නිසා මගේ හිතේ කොනක මාමා ජීවිතේ පුරාම හිටියා.
මාමා අපේ ගෙදර ඉන්න කාලය ගැන මට තියෙන්නේ, හරි පුංචි මතකයන් කීපයක්.
අක්කාගේ ළදරු පාසලට මාවත් අරන් ගිහින් නැවත අපි එනතුරු බලා ඉන්න මාමා ගැන ඉතිරි වුණ ඡායාවක් වගේ මතකයක් මට අදටත් තියෙනවා.
ඒ කාලයේ තාත්තා විශ්ව විද්‍යාල පාඨමාලාවක් කරන ගමන්ම රැකියාවක් කළ නිසාම වැඩිය ගෙදර නොසිටි බවත්, අපේ සියලුම වගකීම් බර්ටි මාමා විසින් කළ බවත් මගේ ළමාවියේ විසුණු නොවුණු මතක කැබලි අතර අදටත් තියෙන මතක සේයාවක්.
අපි හිටිය ගේ පිහිටා තිබුණේ මැන්ගුස් වත්තක් මැද. අක්කා ළදරු පාසලට යන වෙලාවට අපි දෙදෙනාම ළදරු පාසලට ගෙන යාමත් – නැවත ගෙන ඒමත් ඔහු අතින් සිදුවුණ කාර්යයක්. අපි දෙදෙනා එන තෙක් බොක්කුවක් මත වාඩි වී සිටින ඔහූ පෙන්වා “අර ඉන්නේ මගේ තාත්තා” යැයි මා ළදරු පාසල් ගුරුවරියකට කියූ බවත් මට මතකයි. ඒ දවස්වල මට බෝතලයෙන් කිරි පොවන්නේත් බර්ටි මාමායි.
අක්කාත්, මමත් පහළ ළිඳෙන් නාවා තුවා දෙකකින් ඔතා පැත්තකින් තිබ්බාම, ඔහු නාගෙන එන තෙක් අපි දෙදෙනා හිටගෙන සිටිය යුතුයි. ඒ කාලයේ මට ඒකට හේතුව පැහැදිලි වුණේ නැහැ. පසු කාලයක, ඔහු කියා සිටියේ අපි දෙදෙනා ඔහු නා ගන්නට පෙර නැවත දූවිලි – කුණු තවරා ගන්නා බැවින් එසේ හිටවා තැබූ බවයි. මගෙත් අක්කාගෙත් දඟ වැඩවලට හිටපු ගමන් බර්ටි මාමා දඬුවම් කරන බවත් මට මතකයි. තාත්තාගෙ යහලුවන් මට ඒ දවස්වල කතාකළේ විවිධාකාර නම් වලින් – චීන පෙනුමක් තිබුණා කියූ නිසා, චීන පැටියා, මාඕ සෙතූන් පැටියා වගේම ගොඩාක් අය බට්ටි කියලාත් කතා කළත් මාමා කිව්වේ “ගෙඹි පැටියා” හො “චුටි පැටියා” කියායි. අදටත් සමහර වෙලාවට මට චුටි පැටියා කියන කොට මගේ හිත ඒ ළමා කාලයට දුවගෙන යනවා. දැන්, මගේ සඳලි දුව හුරතල් කරන ගමන් මාමා එයාට කතා කරන්නේ චුටි බබා කියායි.
අප වරදක් කළාම ඉරට්ටක් අරගෙන “වරදක් කලාම මොකද කරන්නේ?” කියලා මගෙන්ම අහන මාමා “දඬුවම් කරන්න ඕනි” කියා මා කී විට අත පාන්නැයි කියා ඉරටුවෙන් හෙමින් ගහන විදිය අදත් මට මතකයි. මාමාගේ දඬුවම් එවැනි ය. මට තව නංගි කෙනෙක් සිටියත් මේ සිදුවීම් වෙනකොට ඉපදී සිටියේ නැති නිසා බාලයා මෙන්ම පොඩි දරුවා වූ මාව අම්මා ගේ ඇතුළෙ ඉඳන් කකුල්වල තබාගෙන නලවන බවත්, මාමා ගෙදර ඉස්සරහ වාඩි වී අම්මා සමග ‘දම්පාටින් ළා සඳ බැසයනවා’ ගීතය ගයන බව මට ඊට පසු කාලයේ කතාවලින් මතකයේ රැඳී ඇත්තේ හරියටම ඒ දවස්වල මතකයක් වාගෙයි. බොහොමයක් රාත්‍රිවල ගෙදර යන එන තාත්තාගෙ යහලුවන් සමග එක්ව බර්ටි මාමා ගීත ගායනා කරන බවත් මට මතකයි. මට ඒ අතරින් හොඳින්ම මතක තියෙන සින්දුව වික්ටර්ගේ “තොටුපළ අයිනේ – කවුද අත වනන්නේ” කියන සින්දුවයි. කාලයක් යනතුරුම මට ඒ සින්දුව අහද්දි ළමා කාලයට සම්බන්ධ කවුරුන් හරි අතවනනවා වගේ දැනෙන්නේ ඒ නිසායි. ඒ මගේ මාමා ඒ අවදියේ අපට ආදරය දුන් විදියෙන් අංශු මාත්‍රයක් විතරයි.
ඒත්, හිටපු ගමන් ඔහු ගැන මතකය මගේ ළමා මනසින් අතුරුදහන් වුණා. ඒ, සිරගතව සිටි රෝහණ විජේවීර බේරාගැනීමට යාපනය හිරගෙදරට පහර දීමට ගොස් සිරගතව සිටි මාමා හිරෙන් පැන විත් අපෙ නිවසේ සැගවි සිටි කාලය අවසන් වූ නිසායි. ඔහු රහසේම රටින් පිට වී ගිය බව මම දැනගත්තේ පසුවයි. අපිට නොකියාම රහසේම පිටව යන්නට මාමා තීරණය කර තිබුණේ, පොඩි දරුවන් වූ අපේ සිත් රිදේ යැයි ඔහු බිය වූ නිසායි. නමුත් කාලයාගේ ඇවෑමෙන් සැඩ ජීවන කුණාටුවලට මැදි වූ අපේ මතකයෙන් මාමා ටිකින් ටික අමතක වී යාම පුදුමයක් නෙවෙයි.
අපි බණ්ඩාරවෙල ජීවිතය ආරම්භ කරන කොටත් මට බර්ටි මාමා ගැන කුඩා මතකයක් පවා ඉතිරිව තිබුණේ දැයි කීම දුෂ්කර දෙයක්. කාලය ගෙවී ගියේ තාත්තාගේත් – අම්මාගේත් ජීවිත වෙනස් කරගෙනයි. අපි ටිකෙන් ටික හොස්ටල් ජීවිතයට හුරු වුණත් තාත්තා ඔහුගේ ජිවිතේ ගැන දේවල් කුඩා දැරිවියක් වුණත් මා එක්ක, මට තේරෙන විදියට නිතර බෙදා ගත් බව මට මතකයි.
තාත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදී ස්ථාවර විවේචනය කරමින් ඔවුන්ට විරුද්ධව වැඩ කරද්දී ඔහුට මරණ තර්ජන ආ හැම විටම ඔහු කියපු එක වාක්‍යක් මගේ මතකයේ හැමදාම පැටලි පැටලි තිබුණා. තාත්තා කිව්වා “මම මැරෙන්න බය නැහැ, මගේ දරුවන් ඌ උඩින් ඇවිත් බලා ගනීවි” වගේ කතාවක්. තාත්තා එහෙම කියන හැම වෙලාවකම මම හිතුවෙ චීන කතාන්දර පොත්වල ඉන්න සුරන්ගනාවක් වගේ කෙනෙක් අහසින් ඇවිත් අක්කාවයි – මාවයි බලාගන්නවා වගේ දෙයක්. මම කිසිම දවසක ඇහුවෙත් නැහැ තාත්තාගෙන් ඒ ගැන. එයා මට හැමදාම කිව්වේ “තාත්තා වගේ වෙන්න කියලා”. ඒ නිසා මම තාත්තා ළඟ හිටියේ චණ්ඩි දුවෙක් වගේ බය නැතිකම හිතට අරන්.
ඒත් අන්තිමේදි මට, මගේ තාත්තා නැති වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය මගේ ළමා කාලය විනාශ කර දැම්මේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය ජවිපෙ සාමාජිකයන්ගේ දරුවන්ගේ ජීවිත සදහටම විනාශ කළා වගේ. නමුත් මට ඒ ගැන නෙමෙයි අද කියන්න ඕනි.
මට අද කියන්න ඕනි, තාත්තාගේ අකල් මරණයෙන් පස්සේ අකාරුණිකකම්වල සැඩ කුණාටුවලට මැදිවුණ අපේ ජීවිත විනාශවෙන්න නොදී අහසින් ඇවිත් අපිව ආරක්ෂා කළ මගේ ආදරණීය බර්ටි මාමා ගැනයි. ජීවිතයට ඉතිරි වුණ එකම මනුෂ්‍යත්වය මම වින්දේ නෑයෙකුට වඩා අපිට ආදරය කළ බර්ටි මාමාගෙන්. ඒ සුන්දර මාමා, තාත්තා නැති වීමෙන් පස්සේ සුන්බුන් වෙන්න තිබුණු මගේ ජීවිතය පරිස්සමින් ගොඩනගපු මාමා, මට නැවත හමුවන්නේ සුරංගනා කතාවක් වගේ නොවුනත් අහම්බයකින්.
තාත්තා නැති වූ ආරංචිය සැළ වූ විගසම සියල්ල අතහැර නැවත ලංකාවට ඇවිත්, තමන්ගේම පරණ සගයන් ඝාතනය කිරීම අරඹා තිබූ ජනතා විමුක්ති පෙරමුණ සමග සටන් කරන්නට මාමාට ඇති වූ ක්ෂණික ආවේගය සමනය කරලා, ඒ තීරණය වෙනස් කරන්න ඔහුගේ හිත හදන්න මැදිහත් වුණේ ඔහුගේ ජර්මානු යහලුවන් සහ විශේෂයෙන්ම ඔහුගෙ එදා තුරුණු පෙම්වතිය සහ අද ඔහුගේ බිරිඳ වූ බබ්සි ඇන්ටිගේ බලපෑම් මගිනුයි.
තාත්තා නැති දා පටන් මාමා අප බලාගන්නැයි කියා අපගේ ‘නිල භාරකරුවන්ට’ විටින් විට මුදල් එව් බව මම ඒ දවස්වලමත් දැනගත්තා.
නමුත් ඒ මාමාට, මම හෝ අක්කා එක්ක කිසිදු සම්බන්ධයක් නැවත ගොඩනැගී තිබුණෙ නැති අවදියක. මට ඔහුගේ ලිපිනය අහම්බයකින් ලැබුණේ ඒ අතරවාරයේදියි. මට තිබු මානසික අවුල් සහගත ළමා අවදියක් නිසාම මම ඔහුට ඉතාම කුඩා ලිපියක් ලියනවා: “මාමා මට මෙහෙ ඉන්න බෑ. පුළුවන් නම් ඔයාලගේ ගෙදර වැඩකාරකමට හරි මාව ගන්න” කියලා. බොහෝ කලක් යනතුරු කිසිදු පිළිතුරක් නොමැතිව මට ඉන්න වුණේ ඔහු ඒ ගෙවල් අත්හැර වෙනත් රටකට ගිහින් තිබූ නිසායි. ඒ ලියුම ඔහු කියවන්නේ මාස 6ට පසුවයි. ඉන්පසු ඔහු ඔහුගේ ලංකාවේ සිටින දුවට දෙන්න කියලා මුදල් එවනවා යාලුවෙක් අතේ. ඒ ගමනෙදි මගේ කම්කටොලු ගැන ඔවුන් මාර්ගයෙන් මාමා දැනගෙන, චන්ද්‍රිකා බලයට පත් වූ සැණින් අපිව බලන්න ඇවිත් අපි දෙන්නාගෙම වගකිම් භාරගෙන, මා නවතා තිබු අධ්‍යාපනය නැවත පටන් ගන්න මාව යොමු කළේ මගේ ආදරණීය මාමායි. මට උසස් පෙළ කරන්න මග පාදා දී මාව යුරොපයට රැගෙන එනතෙක්ම, මගේ මෝඩකම්, මුරණ්ඩුකම් දරාගෙන මාව ගොඩනැගුවෙ මගේ ආදරණීය බර්ටි මාමා. ජීවිතේ මම මේ වෙද්දි යම් තරමක් ගොඩනගාගෙන ඇති නම් එකෙ ගෞරවයේ වැදගත්ම පංගුව අයිති ඔහුට.
මට, ලෝකයට ආදරය කරන්න, ප්‍රශ්න හමුවේ නොසැලී ඉන්න උගන්වන්න බර්ටි මාමා. මගේ හොඳම යාලුවා – මගේ තාත්තා – මගේ අම්මා! මාමා නිසා මගේ සඳලිට දැන් සීයා කෙනෙක් ගැන මතකයක් ඉතිරි වෙනවා. සීයාගේ ආදරය මට වඩා සඳලිට වටින්නේ ඒ නිසායි.
සඳලි මගේ කුසට ඇවිත් බව සඳලිගේ තාත්තා එක්ක මම ඔහුට කියන්න ගිය මොහොත මට මතකයි. මම කිව්වා “මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ මාමා” කියලා. මම හොඳටම ඇඬුවා මට මතකයි. මාමා මට කිව්වා, “කිසි දේකට බය වෙන්න එපා පැටියා. මමයි – බබ්සියි ඔයාට හැමදාම ඉන්නවා. ඔයා මොනයම් තත්ත්වයකට මුහුණ දුන්නත් අපි ඉන්නවා” කියලා. ඒ දෙන ශක්තිය මට නැතිවුණ තාත්තාගේ ආදරය තරම් නිමක් නැති විශාල සාගරයක්. දැං සදලි ට සීයාගේ ආදරය ලෝකයක් තරම් වටින්නේ ඒ නිසායි.
මගේ ආදරණීය මාමා, මාව ගොඩනැගුවට – මාව අත් නෑර මට ලෝකය පෙන්නුවාට, මම ආදරෙයි මේ මුලු විශ්වයටම වඩා.
සඳලිට ආදරණිය සීයා කෙනෙක් දුන්නට මම හැමදාම මාමාට ණයයි.
දේශපාලන සගයන්ට “බර්ටි”ත්, පොදු ලෝකයාට රංජිත් හෙන්නායකආරච්චිත් වුණාට මට ඔයා අදටත් පොඩි පොඩි රණ්ඩු ඇතිකරගන්න, ජීවිතයට පාරක් අහගන්න, ළඟට වෙලා දුකක් කියන්න, මගේ සඳලි දුව එක්ක හැංගි මුත්තන් කරන්න ඉන්න, මාව රැක බලාගත් මගේ මාමා.
හැමදාම, බොහෝ කාලයක් නිදුක්ව – නිරෝගීව ඉන්න. | සුබ උපන්දිනයක් මාමා. ඉක්මනින් වයසට යන්න එපා ඔයා.
මම,
ආදරණිය දුව
රුවන්දි!
–රුවන්දි සිල්වා, බර්ලින්

More Stories
මඳ කිපුනු තනි අලියා වට කරගත් සුඳු අලි රෑන
ජගත්කරණය වූ දඹදෙනියේ බයියා
දරැවන් දෙන අමුතු කෝවිල