counter hit xanga
October 22, 2021

තුන්වෙනි රැල්ලත් සාර්ථකව මැඩලනවා!

Government expects to vaccinate the entire population from Covid-19 by the end of 2021 to early 2022

Last Updated on June 10, 2021 by Panduka Herath

පළමු සහ දෙවන කොවිඞ් රැල්ල අපි සාර්ථකව මැඩ පැවැත්වූවා සේම තුන්වෙනි රැල්ලත් සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවනු ඇති බව විශ්වාසය කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානි, යුද හමුදාධිපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ශ‍්‍රී ලංකා ආයෝජන සංසදයේ වාර්ෂික සැසිවාරයේ Sri Lanka Investment Forum (SLIF) දෙවැනි දිනයට ආරාධිත දේශකයා ලෙස Online එක්වෙමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ COVID-19 එන්නත 2022 වර්ෂය ආරම්භ වනවිට රටේ සමස්ත ජනතාවට ලබාදීමට හැකි වනු ඇති බවයි.

එහිදි අදහස් දැක්වු ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා …

අපි සැවොම දන්නවා, COVID-19 වසංගතය මුළු ලෝකයෙම ජිවිතවලට තර්ජනයක් වෙලා තියෙනවා. එමගින් සමාජ ආර්ථික තත්ත්වයන් බලවත් ලෙස පසුබෑමකට පත් වෙලා තියෙනවා. අතීතයේ කිසිම දිනෙක නොවූ පරිදි මිනිසාගේ ජීවිත ආරක්‍ෂාව බලපාලා තියෙනවා.

මා විසින් මූලිකත්වය ගෙන ක‍්‍රියාකරන ‘කොවිඞ්-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය ජනාධිපතිතුමන් විසින් පත්කරනු ලැබූ ජාතික ආයතනයක්. එය මෙම කාර්යයේදී මුලිකත්වය ගෙන කටයුතු කරන මධ්‍යස්ථානයක්. මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය හා වෛද්‍ය බලධාරීන්, හමුදා සාමාජිකයින්, නීති ක‍්‍රියාවේ යොදන බලධාරීන්, ආර්ථික විශේෂඥයින්, ආපදා කළමනාකරණ නිලධාරීන්, පරිපාලන නිලධාරීන් මෙන්ම සාමාජයේ ඉහළ බුද්ධිමත් හා උගතුන්ගෙන් සමන්විතයි.

මීට අමතරව, ජනාධිපතිතුමන් විසින් ජනාධිපති කාර්යසාධක බළකායක් ස්ථාපිත කරලා තියෙනවා. ඉන් ආර්ථික පුනර්ජීවනය ඇති කර දුප්පත්කම නැති කිරීම තුළින් ආර්ථික හා සමාජීය සංවර්ධනයක් ඇති සමාජයක් ගොඩනැගීම සඳහා පියවර ගන්නවා.

COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් වෛද්‍ය යටිතල පහසුකම්, ප‍්‍රදේශ හුදෙකලා කිරීම්, සංචරණ සීමා පැනවීම්, මහජනයාගේ රැකියාවන් කරගෙන යාම සඳහා පහසුකම් සැපයීම පිළිබඳව ඉතා දැඩි සැලකිල්ලට භාජනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර ක‍්‍රියාවට නැංවීම සිදුකරනවා. එමෙන්ම ‘කොවිඞ්-19’ තොරතුරු යාවත්කාලින කරනවා.

ඒ අනුව ජනාධිපතිවරයා හා රජය මගින් ගන්නා තීරණ තීන්දු බිම් මට්ටමේ සිට ක‍්‍රියාවට නැංවීම සිදු කරනවා. ඒ නිසා මම කැමැතියි කියන්නට මේ සියලූ‍ම ප‍්‍රයත්නයන් ඉතා විස්තරාත්මකව ගැඹුරින් අධ්‍යයනයකට ලක් කර මේ ඒකාබද්ධ වූ කණ්ඩායමට ඒවා ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් හා සහයෝගය රජයේ ඉහළම බලධාරින් විසින් ලබාදෙනු ලබනවා.

මෙම කොවිඞ්-19 පාලනය කිරීම සඳහා වූ උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීමේදී දුරස්ථභාවය, යහපත් සෞඛ්‍ය පුරුදුවලට අනුගතවීම, ආශ‍්‍රිතයන් සොයා ගැනීම, හුදෙකලා කිරීම සහ නිරෝධායනය කිරීම වැනි ක‍්‍රියා සමාජයට හඳුන්වාදී එය ක‍්‍රියාත්මක කරනවා.

හමුදාව, ජාතික බුද්ධි සේවය උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගත්තා. එමගින් ආශ‍්‍රිතයන් සොයා ගැනීම හා ඔවුන් නිරෝධායනය සඳහා යෙදවීමට සෞඛ්‍ය අංශ මගින් අධීක්‍ෂණය හා රෝගීන් ඉවත් කිරීමට මහත් පිටුවහලක් වුණා. මෙහිදී ආරක්‍ෂක අංශ මගින් නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම හා නඩත්තු කිරීම, එමෙන්ම ආරක්ෂාව හා වෛද්‍ය ආධාර ලබාදීම හා නිරෝධායන මධ්‍යස්ථාන දිවයින පුරා ක‍්‍රියාත්මක කිරීම සිදුවුණා.

රෝගය පැතිරීම වැළැක්වීම ආසාදිත පුද්ගලයින් ආසාදනය නොවූ පුද්ගලයින් හා මිශ‍්‍රවිම හා සමාජයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා ආසාදිතයින් හුදෙකලා කරන ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කිරීමට සිදුවුණා. මේ සඳහා යුද්ධ හමුදාව අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමටත් ඒවා නඩත්තු කරගෙන යාම සඳහාත් සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව සෞඛ්‍ය බලධාරීන්ට සහ ඒ අංශවලට උපකාර වුණා.

එන්නත්කරණ වැඩසටහනේ රජයේ ප‍්‍රධාන අභිප‍්‍රායවන්නේ මෙරට සියලූ‍ම ජනතාවට එන්නත් ලබාදීමයි. එහිදී සුවිශේෂී අවධානයක් යොමු කරන්නේ වෛරසය දැඩි ලෙස පැතිරී ඇති ප‍්‍රදේශවල මහජනයාට එන්නත් ලබාදීමටයි.

මෙහිදී මෙම එන්නත් කඩිනමින් මෙන්ම ප‍්‍රමාණවත් අන්දමින් ලබා ගැනීමටත් මුල් අවධියේම හැකිවීම රජය වෙනත් රාජ්‍යයන් හා පවත්වාගෙන යන සුහදශීලි හා විශ්වාසනීය රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස බව සඳහන් කරන්න කැමතියි. එමෙන්ම ඉදිරි දිනයන්හිදී ද එන්නත් තොග අපිට ලැබීමට නියමිතයි.

මෙමගින් අපි විශ්වාස කරනවා අපේ රටේ සියලූ‍ම ජනතාව ‘කොවිඞ්-19’ එන්නත 2022 වර්ෂය අවසන් වනවිට ලබාදීමට හැකි වේ යැයි කියා. අපි සාර්ථකව පළමු සහ දෙවන කොවිඞ් රැල්ල මැ`ඩ පැවැත්වූවා වාගේම අපට විශ්වාසයි අපට තුන්වෙනි රැල්ලත් සාර්ථකව මැඩ පැවැත්වීමට හැකි වේයැයි කියා.

මෙම සැසිවාරයට Online ක‍්‍රමවේද ඔස්සේ රටවල් 65කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ සම්බන්ධ වූහ.