Last Updated on November 18, 2022 by Lankae Cast
පොලිස් කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සහ හිරිහැර කිරීම පිළිබඳ චෝදනා ලබා සිටින පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තුට එරෙහිව වහාම නීතිමය සහ විනය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් අද කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපස නිහඬ විරෝධතාවක් පැවතිණ.
පොලිස් පරීක්ෂක පින්තු දිගටම සේවයේ යෙදී සිටියදී සාධාරණ විමර්ශනයක් පැවැත්වෙන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන විරෝධතාකරුවෝ, ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ජනතාව හමුවේ හෙළිකරන මෙන් ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
එහිදී මාධ්‍ය ඇමතූ මානව හිමිකම් ක්‍රියාකාරිනී ජයනි අබේසේකර, සිය ඉහළ නිලධාරියාගෙන් අතවරයක් වූයේ නැතැයි පවසමින් පොලිස් කාන්තාවන් සමාජය ඉදිරියේ විහිළුවකට ලක් නොවිය යුතු බව පෙන්වා දුන්නාය. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරියන් ඒ සම්බන්ධයෙන් ගන්න පියවර කවරක් දැයි තමන් බලා සිටින බව ද ඇය කියා සිටියාය. නීතිවේදීන් සහ සිවිල් ක්‍රියාධරයින් ද එහිදී අදහස් දැක්වූහ.
විරෝධය අවස්ථාවේ කලාකාරිනි නයදරා ගිම්හානි තිරිමාන්න ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම (Performance Arts) ප්‍රබල අවධානයට ලක්විය.


විරෝධතාකරුවන් පොලිස්පතිවරයා වෙත භාර දුන් සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
සී. ඩී. වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01
පානදුර පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට විරුද්ධව වහාම විනය සහ නීති ක්‍රියාමාර්ග ගතයුතු බව අවධාරණය කිරීම
මහත්මයාණනි,
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය නොවැම්බර් 12 වැනිදා කළුතර ප්‍රදේශයෙන් ආරම්භ වූ “අරගලයේ අම්මාවරුන්ගේ පාගමන” පානදුරට ළඟා වූ පසුව, එයට බාධා කරමින් පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු කටයුතු කළ ආකාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී බව මුලින්ම ප්‍රකාශ කළ යුතුය.
මෙම විරෝධතාවට එක්වු නිරූ ඩැනියෙල් සහ ප්‍රියන්ති ප්‍රනාන්දු ඇතුලු 5 දෙනෙකු පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගයන්ත මාරපන ඔබ ඉදිරියේදීම විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් ට පෙන්වා දුන් බව අපි දනිමු. මෙවැනි අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ගරු අධිකරණය ලබාදී ඇති නඩු තීන්දු ගැනද ඔබ නොදන්නවා විය නොහැකිය. ඒ අවස්ථාවේ පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක (HQI) චාමින්ද පින්තුගේ හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 05 දෙනාට අමතරව ඔබගේ යටතේ සේවය කරන පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙක් ද බරපතළ හිංසනයකට ලක්වී ඇත.
ඒ අවස්ථාවේ දී, දුලංගා (11884 ක.පො.කො) සහ පියුමි (12215 ක.පො.කො) යන පානදුර පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා හට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා තදින් බැන වදිමින්, ඔවුන් බෙල්ලෙන් අල්ලා පොලිස් ජීප් රථය දෙසට තල්ලුකරන ආකාරය දැක්වෙන වීඩියෝව මේ වනවිට රට පුරා දහස් ගණන් ජනතාව නරඹා ඇති අතර, තවදුරටත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී. වගකිව යුතු ආයතන ප්‍රධානියෙක් ලෙස ඔබ ද එම වීඩියෝවන් නරඹන්නට ඇතැයි අපි සිතමු. එබැවින් අප ඔබගෙන් ප්‍රශ්න කරන්නේ, එසේ කාන්තාවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තුට එරෙහිව ගනු ලබන විනය සහ නීතිමය ක්‍රියාමාර්ග කවරක් ද යන්න හෙළි කරන ලෙසයි.
ඔබ යටතේ සේවය කරන කාන්තාවන් පිරිසකට ඔබ ආයතනයේම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් හිරිහැර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානියා ලෙස ඔබ වහා මැදිහත්වී අදාළ නිළධාරීන් වෙත උපදෙස් ලබා දිය යුතුය. එහෙත් එසේ කරනු වෙනුවට හිංසනයට ලක්වූ පොලිස් නිළධාරිනියන් දෙදෙනා රාජකාරි පැහැර හැරියා යැයි සඳහන් කරමින් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
නීතිය සැමට සාධාරණව බලාත්මක කිරීමේ මූලික වගකීම දරණ පොලීසිය තුළ දී සැකකරුවන් ඝාතනයට ලක්වීම සහ සැකකරුවන් හිංසනයට ලක්වීම, ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියට ඇත්තේ අඳුරු ඉතිහාසයක් බව ඔබ හොඳින් දන්නා බව අපි සිතමු. කන්දෙකැටිය පොලිස් හිංසනය නිසා සඳුන් මාලිංග ඝාතනයට ලක්වීම, පෑලියගොඩ පොලීසියේදී චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි ඝාතනයට ලක්වීම, පයාගල පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරුව ලසන්ත ජගත් කුමාර ඝාතනය වීම, 2009 දී අඟුලාන පොලීසිය තුළ දී සිදුවූ ද්විත්ව මිනිස් ඝාතනය ආදී පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ මිනිසුන් පිළිබඳව ඔබ ඔබට මතක ඇතැයි ද අපි සිතමු.
පොලිස් කාන්තාවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිසිය පැවසුවත්, අප ඉහත පෙන්වා දුන් පරිදි ප්‍රචණ්ඩත්වය ගැන කුප්‍රකට ආයතනයක් තුළ, චුදිත නිලධාරියා ස්ථාන මාරුවකින් පවා තොරව තවමත් සේවයේ යෙදී සිටියදී ඉහළ නිලධාරියාට එරෙහිව කාන්තාවන් සාක්ෂි දෙන්නේ කෙසේ දැයි අපි ඔබෙන් ප්‍රශ්න කරන්නෙමු.
අඳුරු ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා පොලීසිය වර්තමානයේදී ඔබේ නායකත්වය යටතේ පෙරටත් වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධීව, මානව විරෝධීව සහ නීතියට පිටින් හැසිරෙමින් සිටියි. ඔබ පොලිස්පති ධුරය දරන මේ සමයේ නීතිය රකින්නට සිටින පොලීසිය මෙවැනි හැසිරීමක් පෙන්වීම පිළිබඳව ඔබ කණගාටුවට සහ ලැජ්ජාවට පත්විය යුතුය.
එබැවින් අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ වහාම මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා මැදිහත් වෙන ලෙසය. එහි ප්‍රථම පියවර සේ සලකා වහා මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු ගේ වැඩ තහනම් කරන ලෙසත්, ඔහුට එරෙහිව නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ද ගන්නා ලෙසත් අපි බලකර කියා සිටිමු.
ස්තූතියි
සංවිධායක කමිටුව වෙනුවෙන්: ෂෙහාන් මාලක ගමගේ, ජයනි අබේසේකර, පූජ්‍ය බුදුගල ජිනවංස හිමි, කේ. සංජීව, තමාරා දයානි, ගරු ක්‍රිශාන්ති බැසිල් කන්‍යා සොයුරිය, සරෝජ් පතිරණ, නීතිඥ මනෝජ් නානායක්කාර, ගරු ජුලියන් පැට්‍රික් පියතුමා
පිටපත් : මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්
සභාපති ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාව
සභාපති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
සභාපති ශ්‍රී ලංකා නීතීඥ සංගමය
(සේයා රූ: අජිත් සෙනෙවිරත්න)


More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?