counter hit xanga
October 21, 2021

Port City කෙටුම්පතට ජනමත විචාරණයක් ඉල්ලයි!

Last Updated on April 18, 2021 by Panduka Herath

පෝට් සිටි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අනිවාර්යයෙන්ම අවශ්‍යය බව නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (18) පැවැති මාධ්‍ය හමුවක එක්වෙමින් වටගල මහතා සදහන් කළේ නීතිපතිවරයාගේ මතය සැමවිටම නිවැරදි නොවන බවයි.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වු නීතිඥ සුනිල් වටගල මහතා…

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය හැටියට මෙයට පෙර ජාතික වැදගත්කමක් තිබෙන ගැටලු වගේම නීතියේ ආධිපත්‍යය පිළිබඳව කරුණු මතුවන අවස්ථාවලදී මේ රටේ ජනතාව දැනුවත් කර තිබෙනවා. ඒ වගේම කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් මේ මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කෙරී තිබෙනවා. එය අපේ රටේ නීතියේ පරමාධිපත්‍යයට කොපමණ බලපෑම් කර තිබෙනවාද, එය රටේ භූ දේශපාලනයට අදාළ වන ආකාරය පැහැදිලි කළ යුතුව තිබෙනවා.

ආණ්ඩුව පැත්තෙන් මේක හංගලා ගැහුවේ. පාර්ලිමේන්තුවේ සභාගත කළේ අප්‍රේල් 08වැනි බ්‍රහස්පතින්දා. ඊට පහුවැනිදා වැඩ කරන දවසක් බව ඇත්ත. නමුත් අපි කාටවත් දවසක් තුළ මේ පනත ඇස ගැසෙන්නේ නැහැ. අඩුම තරමේ මේක ගැන අවධානය යොමුවුණේ 12වැනි සඳුදා. සඳුදා දවසත් රජයේ නිවාඩු දිනයක් බවට ආණ්ඩුව පත්කළා. ඒ අනුව දින 05ක නිවාඩුවකට පසුව ඊළඟ 15වැනිදා උදා වෙනවා. වැඩකරන එකම දවස හැටියට මේ පනත් කෙටුම්පත පිළිබඳව අධිකරණයට යා හැකිව තිබුණේ මේ දවසේදි විතරයි. ඒ එක දවසෙදී පෙත්සම් 14ක් සියලු නීතිඥ ප්‍රජාවගේ ධෛර්යමත්භාවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. අපි මේ ගත කරන මොහොතත් අධිකරණයේ නිවාඩු දවසක්. හෙට දවසේ(19) පහළ උසාවි කටයුතු ආරම්භ කළත් ඉහළ උසාවි කටයුතු ආරම්භ කෙරෙන්නේ 24වැනිදා. උසාවියේ නිවාඩුව අල්ලලා තමයි මේ පනත එළිදැක්වූයේ.

මෙතැන තිබෙන නිමිත්ත ලංකා රාජ්‍ය සතුව තිබෙන භූමියක් සම්බන්ධයෙන් යෝජිත පනතක වගන්තිවල සමස්ථ අර්ථය සලකා බලන්න ඕනෑ. මේ වගන්ති අයත් කොමිෂන් සභාව පිහිටවූවාම කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් කමිටුව, රාජ්‍ය විගණනය යන කිසිවකට යටත් වෙන්නේ නැහැ. 07 දෙනෙකුට නොවැඩි 05දෙනෙකුට නොඅඩු කොමිෂන් සභාවක් ජනාධිපතිවරයා විසින් පත්කර මෙහි කටයුතු පවත්වාගෙන යනවා. මෙය පාර්ලිමේන්තුවට වගකියන්නේ නැහැ කියන එක මෙයින් පැහැදිලි වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 05වැනිව වගන්තියේ ශ්‍රී ලංකාව අර්ථ නිරූපනය කර තිබෙනවා. “ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත්‍රික්ක 24කින්ද, දේශ සීමා ජල තීරයකින්ද සමන්විත වන්නේය” කියලා සඳහන් වෙනවා. අක්කර 1,115ක බිම්කඩ මේ යෝජිත පනතේ 52 සහ 53 වගන්තිවලට අදාළව මෙරට ක්‍රියාත්මක පනත් 15කින් නිදහස් කර තිබෙනවා.

ඒ වගේම යෝජිත පනතේ 73 වගන්තියට අදාලව පනත් 07කින් නිදහස් කර තිබෙනවා. ලංකාවේ නීතිය මේ බිම්කඩට අදාල වෙන්නේ නැත්නම් එතැන තියෙන්නේ වෙනත් රාජ්‍යයක කොළනියක්. මේ බිම්කඩ නිර්මාණය කළේ ලංකාවේ ගල්, පස්, අපේ මුහුදේ වැලි එකතු කිරීමෙන්. හැබැයි ඒ බිම්කඩට අපේ රටේ නීතියෙන් නිදහස් කර දෙනවා. මොන්ටෙවිඩියෝ සම්මුතියට අදාලව වෙනම රාජ්‍යයක් පිහිටුවීමට අදාල මූලික කොන්දේසි 04ක් තියෙනවා. නිශ්චිත ජනගහනයක් ඉන්න ඕනෑ. යෝජිත කොමිෂන් සභා පනත යටතේ වාසික හා අනේවාසික කියලා නිශ්චිත කර තියෙනවා. නිර්වාසිකයෙකුගේ මාස 06ක පැවැත්මෙන් මෙහි වාසිකයෙක් වෙන්න පුළුවන්. නිශ්චිත ජනගහනයක් නිර්මාණය වෙන්නේ එහෙමයි. ඊළඟට වෙනම පාලනයක් ජනාධිපතිවරයා විසින් නම් කළ කොමිසමකින් සිදු කෙරෙනවා. අක්කර 1,115ක නිශ්චිත භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ භූමියේ පාලකයන්ට විදේශ රාජ්‍යයන් එක්ක ගනුදෙනු කිරීමේ අයිතික් ලබාදී තිබෙනවා. මේ නිසා මොන්ටෙවිඩියෝ සම්මුතියේ මූලික කොන්දේසි 04ම සම්පූර්ණ වෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා නීතිපතිවරයාගේ ලිපියක් පෙන්වමින් මෙය නීත්‍යානුකූල පනතක් බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. මේ රටේ ජනතාව නොමග යවන්න එපා කියලා අපි ඇමතිවරයාට කියනවා. මේ රටේ නීතිපතිවරයා කියන්නේ රජයට උපදෙස් දෙන නීතිඥ මහත්තයෙක් විතරයි. මේ නීතිඥ මහත්තයා දීපු උපදෙස් කීයක් වැරදිලා තියෙනවාද? 2018 ඔක්තෝබර් 26වැනිදා නීතිවිරෝධී විදිහට මහින්ද රාජපක්‍ෂ මහත්තයා අග්‍රාමාත්‍යවරයා හැටියට දිවුරුම් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සම්බන්ධ නඩුව විභාග කර සියලුම විනිසුරුවරුන් එය වැරදයි කියලා තීන්දුව දුන්නා. ඒ වගේම 2003 ජල කළමණාකරණ පනත හරියි කියලා නීතිපතිවරය කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය වැරදියි කිව්වා. රක්‍ෂණ සංස්ථාව විකිණීම හරියි කියල දීපු නීතිපති උපදෙස් වැරදියි කියලා අධිකරණය කිව්වා. මේ වගේ උදාහරණ රැසක් තිබෙනවා, නීතිපතිවරයාගේ මතය වැරදියි කියන්න. ඒ නිසා ජනතාව නොමග යවන ප්‍රකාශ කරන්න එපා කියලා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා අපි කියනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් අනුව සලකා බැලිය හැක්කේ ව්‍යවස්ථාව සමග ගැටෙනවාද, නැද්ද කියන එක විතරයි. හැබැයි මේ රටේ භූ දේශපාලනය සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් මතුවී තිබෙනවා. චීනයට පෝට් සිටිය දෙන්න යනකොට ඉන්දියාව කච්චතිව් දූපත අල්ලන්න සූදානම් වෙනවා. අනික් පැත්තෙන් මේ බිම්කඩ තුළ මුදල් විශුද්ධිකරණයට පාර කැපෙනවා. ඒ නිසා මෙය නීතිමය ලියවිල්ලක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ජනතාවගේ පරමාධිපත්‍ය බලයටත් එරෙහිව යාමක් බව අපි දකිනවා. ඒ සම්බන්ධ තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය ගනීවි. මෙවැනි හිතුවක්කාරී අනපනත් ගෙනා හැම අවස්ථාවකම ඒවා අකුළා ගන්න ආණ්ඩුවට සිද්ද වුණා. ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරු ධූරයෙන් නෙරපා හැරි වෙලාවේ නීතිඥයෝ හැටියට අපි ඉදිරිපත් වුණා. පුරවැසියෝ හැටියට ජනතාවත් ඊට සම්බන්ධ වුණා. පාරේ සටනක් කරලා හරි අවසානයේ ජයග්‍රහණය කරන්න අපිට හැකි වුණා. මේ පනත් කෙටුම්පතේ අනීතිකභාවය ගැන ජනතාව දැනුවත් කරලා අපට හැකි හැම ශක්තියක්ම යොදවලා කටයුතු කරන්න ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ හැටියට අපි ක්‍රියා කරන බව අවධාරණය කරනවා. පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව මේ කෙටුම්පත අධ්‍යනයනය කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය ආණ්ඩු සමයේ 3135/13 දරන 2019 අගෝස්තු 05 නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් බිම්කඩක් බව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. හැබැයි මේ පනතේ උපලේඛනයට අනුව නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහනගර සභාව ඉවත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර හදාරන ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.