counter hit xanga
March 28, 2023

ජුලි 22: ආදරේ, කැපකිරීම් ගැන වැඩියෙන්ම දැනුන දවසක් – ලහිරු වීරසේකර

Last Updated on December 27, 2022 by Lankae Cast

මේ අවුරුද්දේ ජුලි 22 කියන්නේ හමුදාව සහ හමුදාව එක්ක ආපු මැර කල්ලි බිම දාගෙන අපිට ගහපු දවස.

ඒ දවස ජීවිත කාලෙම මතක හිටින්නේ ගුටිකාපු හින්දා නෙවෙයි. ආදරේ, කැපකිරීම් ගැන වැඩියෙන්ම දැනුන දවසක් නිසා.

එදා ඇටැක් එකක් එනවා කියලා එහෙන් මෙහෙන් ආරංචි ආවා. ඒක දැන දැන එතන නතර වෙන්න තීරණය කරපු ධෛර්ය සම්පන්න මිනිස්සු නිසා මමත් බොහෝ දෙනෙකුත් අද මේ සටහන වෙනුවෙන් ඉතිරි වෙලා ඉන්නවා.

අවසාන වතාවට අපි හිටියේ ලේකම් කාර්යාලේ පුස්තකාලේ. අනිත් අත්පත් කරගත්ත තැන් අතැරලා තිබුනේ. පහුවෙනිදා එතනිනුත් ඉවත් වෙන බව ප්‍රසිද්ධ කරලා තිබුනේ. ඒ තියෙද්දි දහස් ගානක හමුදා බලඇනියක් ගෝල් ෆේස් භූමියට කඩා වැදුනා. මාස ගානක් අපි ජීවත් වුනු, කාපු බීපු, වැටිලා හිටපු වතුර ටික බීපු තැන් සට සට ගාලා කුඩු වෙන්න ගත්තා. “මල්ලි ඔය පැත්තට එන්න වෙයි ද?” ඒ බොපෙගේ කෝල් එක. ඔව් අනිවාර්යෙන් කියලා අපි ගෝඨා ගෝ ගම පැත්තට යද්දි. අපි අතේ මුකුත් නෑ කියද්දි බිම දාගෙන අපිට ගැහුවේ හමුදාවෙන්. එදා මාට පාරවල් වදින එක නැවැත්තුවේ ශක්ති, දේවින්ද, සංක , කෝෂිලා . උන් ඒ නිසා ගුටි කෑවා.

බාලදක්ෂ මාවත ගාවට එනකොට මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුන වෙලාවේ හිටපු බෝපගේ නැවත ඉන්නවා කෑ ගහමින් (මම බෝපේ අයියා ආපහු එහෙම දැක්කේ වසන්තට 12 වෙනිදා ඇප ලැබුනේ නැති වෙලාවේ)

රන්දිමාල්, රුක්ෂාන් මාව ඇදගෙන ගිහින් යකෝ පස්සට පලයන්, මෙන්න මේකව අරන් පලයන් කියලා කුණුහරප දෙක තුනකුත් මට කියලා තමා මාව අරන් ගියේ. අන්තිමට බොපේ රන්දිමාල් දෙන්නම අත්අඩංගුවට පත් වුනා.

ගෝඨා ගෝ ගම ඇතුලේ මාව අහුවුනේ පුදුම සෙට් එකකට. කුඩාරමක් අස්සට දාගෙන කිසි කෙනෙකුට එන්න දේනනේ නැතුව මට බෙහෙත් දැම්මා, කොල්ලො කෙල්ලො ටිකක් මාව මෙතනින් එලියට අරන් යන්න සැලසුම් කතා කලේ උන් පිටවෙන විදියක් ගැන කිසිම විදියකට නොහිතා.

අදත් ඒ සමහර අය ගැන මම දන්නේ නෑ. ඒ පැය කීපයේ වුන දේවල් පොතක් ලියන්න තරම්.

මේ අපිලිවෙල සටහන තියන්නේ මේන්න මේ අවසානය කියන්න ඕන නිසා. එදා මම ඇතුලු සමහරුන්ගේ ජීවිතය බේරුනේ අපි සමහර වෙලාවට වචනයක් වත් කතා නොකරපු හැබැයි ආමි එකෙන් ඇවිත් ගහනවා කියද්දිත් හෙල්ලුනේ නැති මිනිස්සු නිසා. අරගලය ඕනද, මේවා කරන්න පුලුවන්ද? , මොකට මෙහෙම ජීවත් වෙනවද? කියලා හිතෙන වැටෙන හැම වෙලාවෙම මට 22 මතක් වෙනවා. නොදන්නා මිනිස්සුට පුලුවන් නම් තමන්ගේ ජීවිතේ පැත්තක තියලා තව එකෙක් රකින්න , ආය මොනවද කරන්න බැ⁣රි. ඒ නිසා එදාත් දුන්න පාඩම මේක කල යුතුමයි කියන එක.

ඒ නිසා මම උඹලා සේරම අදත් බොහෝම තදින් වැලද ගන්නවා.

ලහිරු වීරසේකර (දෙසැම්බර් 22 වෙනි දින ෆේස්බුක් ජාලයේ තැබූ සටහනක්)