counter hit xanga
March 26, 2023

නව මාවතකට පිවිසීමට ඇති සූදානම පිළිබඳ පළමු ඇඟවීම – ජෙහාන් පෙරේරා

Last Updated on October 4, 2022 by Lankae Cast

වැඩි කලක් ගතවන්නට ප්‍රථමයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන විරෝධතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී, ආණ්ඩුවේ මර්දන ප්‍රතිපත්තියට තිරිංග දමන බවක් පෙනෙන්නට තිබේ. කොළඹ ප්‍රධාන ප්‍රදේශ කිහිපයක් අධි ආරක්‍ෂිත කලාප බවට පත්කිරීමේ ගැසට් නිවේදනයට මුලින් අත්සන් කිරීමට ඔහු ගත් තීරණය රජයේම මානව හිමිකම් කොමිසම ඇතුළු මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් විය. ආරක්‍ෂක අංශය විසින් ගනුලැබ ඇති බව පෙනෙන මෙම තීරණයෙන් තමන්ටද හානියක් වන බවට ව්‍යාපාරික ක්ෂේත්‍රයද මැසිවිලි නගනු ලැබීය. අධි ආරක්ෂක කලාප ප්‍රකාශයට පත්කිරීමේදී පැවැති සැක සහිත නෛතික පදනම අනුව, අධි ආරක්‍ෂිත කලාප අවලංගු කිරීම ප්‍රායෝගිකබව පෙනෙන්නට තිබේ. නව රෙගුලාසිවල අරමුණට කිසිසේත්ම නොගැලපෙන, රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂිත කලාප පිහිටුවීමට කටයුතු කර තිබිණි.

යුද සමයේදී රටේ උතුර නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක වූ අධි ආරක්‍ෂිත කලාප සංකල්පය හේතුවෙන්, විශේෂ අවසරයකින් තොරව මාර්ග දෙපස වාහන ගාල් කිරීමට පවා අපහසු විය. එම කලාප හේතුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කර ඇති අයිතීන් කඩ කළ බවට එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුද පවරා තිබිණි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගැන ජනාධිපතිවරයා ද දැන සිටින්නට ඇත. මෙම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට රටවල් 26ක් පමණ එකඟ වී ඇති අතර ඉන් 10ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සාමාජිකයෝ වෙති. මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය අන්තර්ජාතික අනුකම්පාව සහ සහයෝගය අවම කිරීම වැනි, හානියෙන් ඉහළ ප්‍රතිවිපාක ගෙන දිය හැකි ආකාරයෙන්, අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් හුදෙකලා වී ඇත.

විරෝධතා ව්‍යාපාරය මැඩපැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ආරක්ෂක අංශ භාවිත කිරීමට ඉක්මනින්ම යොමුවීම පුදුමයට කරුණක් වූයේ, ඔහුගේ අතීත වාර්තාවන්ට අනුව, ඔහු මහජන උද්ඝෝෂණ සමඟ කටයුතු කිරීම සඳහා වඩාත් සියුම් ප්‍රවේශයකින් කටයුතු කර ඇති බැවිනි. අධි ආරක්‍ෂිත කලාප අවලංගු කිරීමේ තීරණයේ පසු විපරමක් ලෙස, විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම ගැන ජනාධිපතිවරයා සලකා බැලිය යුතුය. මේ දක්වා රජයේ ප්‍රවේශය වී ඇත්තේ, වැඩවර්ජන ක්‍රියාමාර්ග සහ වීදිවල අවුල්සහගත තත්වයන් හරහා ආර්ථිකය අස්ථාවර කරනු ඇතැයි යන සාධාරණීකරණය මත සිටිමින්, විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීම කෙරෙහිය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය තුළ, මර්දන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අසීරුය. මැතිවරණයකට යෑමට මැලිවන ආණ්ඩුවක් ආරක්ෂක හමුදාව තම ‘මුක්කුව’ කර නොගත යුතුය. ජනාධිපතිවරයා විසින් කොළඹ අධිආරක්ෂිත කලාප ඉවත් කර ගැනීම මෙම යථාර්ථය පිළිගැනීමක් ලෙස වටහා ගත හැකිය.

සමාව ප්‍රකාශයට පත්කිරීම

ශ්‍රී ලංකාවට අවශ්‍ය අන්තර්ජාතික ආධාර ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමේ සහ දේශපාලන කරුණු ඉදිරිපත් කිරීමේ කාර්යයට වඩාත්ම සුදුසු වන්නේ ජනාධිපතිවරයා බවට සාමාන්‍ය පිළිගැනීමක් තිබේ. ඔහු මෑත කාලීනව විදේශ රටවල කළ සංචාරවලදී ලෝකයේ ඉහළ පෙළේ නායකයන් හමුවී ඔහුගේ සලකුණ තබන්නට ඇත. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ශ්‍රී ලාංකීය ජනතාව තුළ සිය සලකුණ තැබීම ද වැදගත් ය. ඔහුට ඡන්දය නොදුන් ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුය. පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිධූරයට තේරී පත්වීමෙන් අනතුරුව ඔහු ශක්තිමත් වී ඇත. එහිදී විරෝධතා ව්‍යාපාරයේ මූලයන් ආමන්ත්‍රණය කිරීම සඳහා වඩාත් සාධනීය ක්‍රියාකාරී භූමිකාවක් ඔහු විසින් ඉටුකළ යුතු අතර, අරගලයේදී ප්‍රකාශ කෙරුණු කරුණු පහසුවෙන් ප්‍රතික්ෂේප නොකළ යුතුය. ආර්ථික අර්බුදයේ භයංකර බලපෑම ප්‍රජාවේ දුප්පත්ම ජන කොටස්වලට සෘජුව බලපාන ආකාරය සම්බන්ධයෙන් රජය කුමක් කරන්නේදැයි යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතී.

විරෝධතා ව්‍යාපාරයේ සාමාජිකයන් වීම නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයන් නීතියේ දැඩි හස්තයට යටත් නොවිය යුතු බවට සමාජයේ පුළුල් අදහසක් පවතී. වර්තමානය වන විට ජිනීවාවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද පවතින ගැටලුවල බරපතළකම පිළිගැනීම රජයේ ප්‍රකාශකයෝ ප්‍රතික්ෂේප කරති. අනුප්‍රාප්තික ආණ්ඩු, ජිනීවාහිදී මෙන්ම රට තුළදීද යුද සමයේදී සිදු වූ බවට පැවසෙන සිදුවීම් ප්‍රතික්ෂේප කළේය. ජනවාර්ගික ප්‍රජාවන් එකිනෙකාට එරෙහි වූ වාර්ගික ගැටුමේ ස්වභාවය හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් බහුතරයක් යුද කාල සීමාවන් අමතක කරමින් ඉදිරියට යෑමට සූදානම්ව සිටියහ. කෙසේ වෙතත්, ආර්ථික අර්බුදයෙන් දුප්පතුන්ට ඇති වන බලපෑම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපත්තියක් සඳහා ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රජාවකින් සමාන සහයෝගයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. එවැනි ප්‍රතිපත්තියක්, අරගලය උච්ඡතම කාලයේ සිදු වූවාක් මෙන් බහුතර ජනතාවක් ආණ්ඩුවට එරෙහි වීමකින් අවසන් වනු ඇත.

විරෝධතා ව්‍යාපාරයේ කොටස්කරුවන් වීම නිසා චූදිතයන් සහ අත්අඩංගුවේ පසුවන සියලු දෙනාට පොදු සමාවක් ප්‍රකාශ කිරීම, මෙම අත්අඩංගුවට ගැනීම් පිළිබඳව අන්තර්ජාතිකව සහ ජාතික වශයෙන් මානව හිමිකම් කණ්ඩායම් හා සාමාන්‍ය ජනතාව අතර ඇති කරන විරෝධාකල්ප තත්වය ගැන සලකා බැලීමේදී, ඒ අනුව සිදුකරන පසු විපරම් රාජ්‍ය පාලනයේ පියවරක් වනු ඇත. විරෝධතා ව්‍යාපාරයේ කොටස්කරුවන් වූ ඇතැමුන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කර ඇත්තේ, ඔවුන් ප්‍රචණ්ඩත්වයේ නිරත වූ හෝ ඊට අනුබල දුන් පුද්ගලයන්ය යන පදනම මතය. තවත් සමහරුන්ට චෝදනා එල්ල වන්නේ, ජනාධිපතිවරයාගේ පවුලේ පුස්තකාලය සහ වටිනා කලා කෘති අඩංගු වූ ඔහුගේම පාරම්පරික නිවස ඇතුළු රජයේ අමාත්‍යවරුන්ගේ නිවාස ගිනි තැබූ බවටයි. ඇතැමුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණය හමුවේ චෝදනා ගොනුකිරිමකින් තොරවය.

ප්‍රජාවන් එකට බැඳීමේදී උදාරත්වය, සංවේදනය සහ සාධාරණත්වය යන හැඟීම් ඉතා ප්‍රබල වේ. ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙකේදී සහ ජනවාර්ගික යුද්ධයේ දීර්ඝ කාලසීමාව තුළ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ තමන්ගේ වාසස්ථාන අහිමි වූ අනෙකුත් සියලුදෙනා සමඟ සිය හැඟීම් බෙදාගැනීමට ජනාධිපතිවරයාට මෙය සුදුසු අවස්ථාවකි. නිවාස අහිමි වූ ආණ්ඩුවේ සාමාජිකයින්ට වන්දි ලබාදීමට රජය සැලසුම් කරමින් සිටියි. ඒ ආකාරයෙන්ම, රජයේ අසාර්ථකත්වය නිසා ජීවිත අහිමි වූවන්ට, මෑතකාලීනව දිගු පෝලිම්වල සිටියදී මිය ගිය අයට හෝ තමන්ට ලැබුණු බාල ගෑස් සිලින්ඩර පිපිරී හානියට පත් අයට වන්දි ගෙවීමට ද අවශ්‍ය වේ.

සත්‍යය පිළිගන්න

මේ වන විට ළමුන්ට බලපාන මන්දපෝෂණයේ හා දුර්වල වර්ධනයේ ප්‍රමාණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුළු අන්තර්ජාතික සංවිධාන විසින් කරන ලද අධ්‍යයනයන්හි සත්‍යතාව පිළිගනිම රජය ප්‍රතික්ෂේප කර ඇත. ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද ඉන්ධන සහ අනෙකුත් විශාල ප්‍රමාණයේ කොන්ත්‍රාත්තු සපයා ගැනීමේදී සිදුවන දූෂණ පිළිබඳ චෝදනාවල සත්‍යතාව ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. මෙම ගැටළු සමනය කිරීම සඳහා ඒවි හැසිරීමක් දායක වන්නේ අල්ප වශයෙනි. සාමාන්‍ය තත්ත්වය පිළිබඳ හැඟීමක් ඇති කළ හැකි පෙට්‍රල්, ඩීසල්, ගෘහස්ථ ගෑස් සහ විදුලිය සාධාරණ ආකාරයෙන් සැපයීම යථා තත්ත්වයට පත් කර ඇති බව රජය පෙන්වා දෙන නමුත්, මෙම භාණ්ඩ මිලදීගත හැක්කේ ඒ වෙනුවෙන් ඉහළ මිල ගණන් දැරීමට හැකියාව පවතින පුද්ගලයන්ට පමණි. සෑම ජනකොටසක් අතරම බර සමාන ලෙස බෙදාහැරීමට තමන් අසමත් බව පිළිගැනීම රජය ප්‍රතික්ෂේප කරයි. එහෙත් ස්ථාවර දේශපාලන පරිසරයක් තුළ රාජ්‍ය පාලනය පවත්වාගෙන යෑමට නම් රජයට මේ සෑම පාර්ශ්වයකම සහාය අවශ්‍ය වේ.

පවතින ප්‍රශ්න ප්‍රතික්ෂේප කිරීම වෙනුවට රජය කළ යුතුව ඇත්තේ ඒවායේ පැවැත්ම පිළිගෙන, ඒවාට විසඳුම් සෙවීමට පියවර ගැනීමයි. මෙය රට තුළ පවතින ප්‍රශ්න දෙකටම අදාළ වන අතර, ඒවා අන්තර්ජාතික වශයෙන් සාකච්ඡාවට ලක්වෙමින් පවතී. අදාළ ප්‍රතික්ෂේප කිරීම්වලින් ජිනීවාහි කිසිදු වෙනස්කමක් සිදුනොවන බව රජය අවබෝධ කරගත යුතුය. ශ්‍රී ලංකාවට ජිනීවාහිදී යෝජනා නවයකට මුහුණ දීමට සිදුව ඇති අතර, ඒ සෑම එකකටම ප්‍රතිචාර දැක්වීම වඩාත් අපහසුව ඇත්තේ එබැවිනි. මේ සතිය අගදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත නව යෝජනාව මගින්, දැනටමත් පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය වෙනුවෙන් වැඩි සහයෝගයක් ඉල්ලා සිටින අතර, එමගින් ලෝකයේ ඕනෑම තැනකදී ශ්‍රී ලංකාවේ දේශපාලන සහ හමුදා නායකයන් විසින් සිදු කරන ලද අපරාධ සඳහා විශ්වීය නීති පද්ධතිය ක්‍රියාත්මක කරන රටවලට වැඩි සහයෝගයක් ලබා දෙනු ඇත.

රජය අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම භාවිත කළ යුතුය. දැන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතත් සමඟ අන්තර්ජාතික ප්‍රජාවගේ ඇස් ශ්‍රී ලංකාව දෙසට යොමු වී තිබේ. නුදුරේදීම ඡන්ද විමසීමට නියමිත යෝජනාවේ කෙටුම්පත වෙනස් කිරීමට ප්‍රමාද වැඩි වුවද, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සහාය පළකරන රටවල් අතර හොඳ හිත නැවත ඇති කිරීමට රජයට තවමත් උත්සාහ කළ හැකිය. විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූවන් සඳහා පොදු සමාවක් ලබා දීමෙන්, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාවේ උත්සාහයන්ට අවනත වීමට රජය කැමැත්තෙන් සිටින බවට ධනාත්මක සංඥාවක් ලබා දිය හැකිය. අතීත උල්ලංඝනයන් රජය විසින් පිළිගන්නා බව හැඟවෙන ආකාරයෙන්, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක කොටසක් ලෙස, සමාව ලබාදීමේ හැකියාව පවතින බව ප්‍රදර්ශනය කළහොත්, කනගාටුව ප්‍රකාශ කිරීම සහ වගවීම පිළිබඳ හැඟීමක් පවතින බව රජයට ප්‍රදර්ශනය කළහැකි වනු ඇත.

-ජෙහාන් පෙරේරා, විධායක අධ්‍යක්ෂ, ජාතික සාම මණ්ඩලය