Last Updated on September 15, 2022 by Desman Chathuranga
පවතින ආර්ථිකයත් දේශපාලනයත් තබාගනිමින් රටට ඉදිරි ගමනක් නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කළා.‘විකුණන කතාවේ සඟවන ඇත්ත’ ජාතික ජන බලවේගය සම්මන්ත්‍රණයට එක්වෙමින් අනුර කුමාර දිසානයක අවධාරණය කළේ මේ විකිණීම් 2019දී සහ 2020දී ලැබුණු ජනවරමට පටහැණි බවයි.
“මොකක්ද ඒ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි කියන මාතෘකාව අද අලුත් වටයකින් සාකච්ඡාවට ඇවිත් තිබෙනවා. මේ කතිකාව ජනප්‍රිය වෙමින් තිබෙනවා. තෙල් මිල, ගෑස් මිල ඉහළ යනකොට කෙනෙකුට දැනෙනවා මේ ආයතන තමයි අපිව විනාශ කරන්නේ කියලා. ඒ නිසා මේ ආයතන විකුණා දමන්න ඕනෑ යන අදහස යම් ප්‍රමාණයකට මතුවෙමින් තිබෙනවා. අපි පළමු බැලුවොත් මේ ආණ්ඩුවට ලැබුණු ජනවරම මොකක්ද? හම්බන්තොට වරාය විකුණන වෙලාවේදී මහින්ද රාජපක්ෂ පවසා සිටියා, “මෛත්‍රීපාල – රනිල් හවුල් ආණ්ඩුව විකුණන ඒවා ගන්නේ බලාගෙනයි. අපි ආවාම ඒවා ආපහු ගන්නවා. හම්බන්තොට වරාය නැවත පවරා ගන්නවා” කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී, පළමු සංචාරය ගියේ ඉන්දියාවට. එහිදී ප්‍රකාශ කර සිටියා, ‘හම්බන්තොට වරාය විකිණීම පිළිබඳ ගිවිසුම නැවත සමාලෝචනයට ලක්කරන බව’. රාජපක්ෂ ආණ්ඩුවේ ජනවරමේ සංයුතිය වුණේ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමයි. ඒ ජනවරමට ප්‍රතිපක්ෂව සිටියේ රනිල් වික්‍රමසිංහ. රනිල්ගේ ජනවරමට ලැබුණේ ජාතික ලැයිස්තුවෙන් එකම මන්ත්‍රී ධුරයක් පමණයි. ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ නායක ලෙස ඉදිරිපත් වූවත් ඔහුව තෝරා ගැනුණේ නැහැ. මේ වන විට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද රනිල්ගේ න්‍යාය පත්‍රය රාජපක්ෂ කඳවුරේ න්‍යාය පත්‍රය බවට පත්කර ගෙන තිබෙනවා. මේ විකිණීමේ කතාව එක් පැත්තකින් 2019දී සහ 2020දී ලැබුණු ජනවරමට පටහැණියි.”
“මේ විකිණීම පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක් පුරා විවිධ පැතිවලින් එනවා. ගොඩක් ආයතන වික්කා. විජේපාල මෙන්ඩිස් ඇමතිව සිටි කාලයේ 1987 පමණ අපේ පේෂකර්මාන්ත ශාලා විකුණා දැමුණා. ඔහුගෙන් තමයි රාජ්‍ය දේපළ විකිණීම ආරම්භ කළේ. රට තුළ අවශ්‍ය වෙන රෙදිවලින් විශාල පංගුවක් අපි නියෝජනය කරමින් තිබුණා. තුල්හිරිය, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ රෙදි ජනපද තිබුණා. මේවා වසර 35ක අතීතයක ආරම්භයක් නිසා තාක්ෂණය පහළ මට්ටමකත් ගුණාත්මකභාවයෙහිත් අඩුවක් තිබුණා. මේ විකිණීම නිසා පරිහරණය සඳහා අවශ්‍ය රෙදි විශාල පංගුවක් ආනයනය කරන්න සිදුවුණා. මත්තේඩගාඩ වැහුණා, පූගොඩ පාළුවට ගියා. වේයන්ගොඩ පාළුවට ගියා. ඊළඟ විකිණීම සිදුවුණේ වතුවලයි. රාජ්‍ය වතු අත්හැරියා. අවසානයේ එහි ප්‍රතිඵලයක් ලෙස ඒවායේ වැඩ කරන සේවකයෙකුට රුපියල් 1000ක වැටුපක් දෙන්න බැහැ කියනවා. ඒ පෞද්ගලීකරණයෙන් අත්පත් කරගත් දියුණුව කුමක්ද? සේවකයෝ රුපියල් 1000ක වැටුපක් ඉල්ලීම නිසා හාම්පුතාලා නඩුවක් දැම්මා. එයින් ජනතාවට ලැබුණ ප්‍රතිලාභය කුමක්ද? අපේ කඩදාසි කර්මාන්ත ශාලාව දියුණුවෙමින් තිබුණා. වාලච්චේන, යුද්ධය හේතුකොටගෙන කඩා වැටුණත් ඇඹිලිපිටියේ කඩදාසි කම්හල පවත්වාගෙන යමින් තිබුණා. එය විකුණා දැමුණා. අද රට තුළ අභ්‍යාස පොත් නැති බවටත් ප්‍රශ්න පත්‍රයක්, පත්තරයක් මුද්‍රණය කර ගැනීම අසීරු බවටත් විශාල අඳෝනාවක් නැගෙමින් තිබෙනවා. වරක මෙය නැවත පවරා ගත්තත් නැවතත් විකුණුවා. සමහර ඉඩම් සහ මැෂින් බැංකුවට උකස් කොට ආයෝජකයින් පැනලා ගියා. එම විකිණීමෙන් ලැබූ ප්‍රතිඵලය කුමක්ද? කන්තලේ සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලා විකුණුවා. කන්තලේ අක්කර 23,000ක් හා පැල තවාන අක්කර 3000කට ආසන්නව තිබුණා. ඒ සඳහා ගැලපෙන කර්මාන්ත පද්ධතියක් තිබුණා. විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල භූමි ප්‍රමාණයක් පාළුවට ගොස් තිබෙනවා. හිඟුරාන සීනි කම්හල මෑතකදී ආරම්භ කළා. වැලිසර කිරිපිටි කර්මාන්ත ශාලාව විකුණුවා. තුනී ලෑලි සංස්ථාවක් තිබුණා. අද එයත් අපට අහිමි වෙලා තිබෙනවා. දංකොටුවේ පොසිලේන්, පිළියන්දල පෝසිලේන් කර්මාන්ත ශාලා පාළුවට ගොස් තිබෙනවා.”
“පෞද්ගලීකරණය වෙනුවෙන් මාවතක් තිබෙන අය පළමුව කළ යුත්තේ පෞද්ගලීකරණය කරන ලද ආයතනවල ශේෂ පත්‍රයක් ඉදිරිපත් කිරීමයි. ඔවුන් ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමේ යහපත් බව නිතර ප්‍රකාශ කරනවා. ටෙලිකොම් පෞද්ගලීකරණයයි, ටෙලිකොම් තාක්ෂණයයි එකට දියුණු වුණේ. මොබයිල් තාක්ෂණය පෞද්ගලීකරණය සමග ලෝකයේ එකට ගැටගැසී තිබෙනවා. 1990දී මාස දෙකක් පමණ ඇප්ලිකේෂේන් එකක් පුරවා පෝලිමේ ඉන්න ඕනෑ තමයි. ඒ අවදියේ තිබුණේ වයර්වලින් සන්නිවේදනය ලබාගන්නා තාක්ෂණයයි. වයර්ලස් තාක්ෂණය එනවිට අපි ඒ ආයතන විකුණලා. එය තාක්ෂණ දියුණුවේ ප්‍රතිඵලයක් මිසක් පෞද්ගලීකරණයේ ප්‍රතිඵලයක් නොමෙයි. රාජ්‍ය ආයතන පමණක් තිබුණා නම් හොඳයි කියා අපි ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් මේ පෞද්ගලීකරණය තමයි ආර්ථිකය සංවර්ධනය කරන මාවතේ දීප්තිමත්ම මාවත ලෙස හුවා දක්වන්න උත්සාහ ගන්නවා. එය බොරුවක්.”
“ජනතාව පීඩාවට පත්වෙන කොට ඔවුන් තුළ මතයක් ගොඩනැගෙනවා මේවා විකුණුවත් කමක් නැහැ කියලා. ඒ වගේම මතයක් ගොඩනැගෙනවා රාජ්‍ය ආයතන අකාර්යක්ෂමයි, ඒ නිසා විකුණා දැමිය යුතුයි කියලා. අකාර්යක්ෂමභාවය අපත් පිළිගන්නවා. එහෙත් කළ යුත්තේ විකිණීමද? ඉඩම් නඩුවක් විසඳන්න වසර 20කට වඩා කාලයක් ගත වෙනවා. ඒ තර්කය අනුව අධිකරණ පද්ධතිය අකාර්යක්ෂමයි. පොලීසිය අකාර්යක්ෂමයි. රජයේ අනිකුත් ආයතනත් අකාර්යක්ෂමයි. අකාර්යක්ෂම සියලුම ආයතන අපි විකුණා දැමිය යුතුද? මේ අකාර්යක්ෂමතාවය තිබෙන්නේ ආයතන රජය සතුද, පෞද්ගලික අංශයේද යන්න මත නොමෙයි. මෙතන තිබෙන්නේ සමාජ ආර්ථික ගැටලුවක්. අප විසඳිය යුත්තේ එයයි.”
“රාජ්‍ය ආයතන විශාල පාඩුවක් ලබනවා, ඒවා භාණ්ඩාගාරයට විශාල බරක් බවට තවත් යෝජනාවක් එනවා. ඒ නිසා මේ ආයතන විකුණා දැමිය යුතුයි යන මතයක් ගොඩනඟනවා. මේ වන විට මහ බැංකුවත් පාඩුයි. කැබිනට් මණ්ඩලයත් පාඩුයි. පාඩු ලබන ආයතන විකුණා දැමිය යුතු නම් මේ ආයතනත් විකුණා දැමිය යුතුයි. නමුත් මේ විකුණා දමන්න සූදානම් වන්නේ පාඩු ලබන ආයතන පමණද? මේ වන විට ලාභ ලබමින් තිබෙන ටෙලිකොම් ආයතනයේ ආණ්ඩුව සතුව 51%ක් තිබෙනවා. දැන් මේ 51% විකුණන්න යෝජනා කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමට යෝජනා වෙලා තිබෙනවා. 2003 සිට 2021 දක්වා සෑම වසරකම ආණ්ඩුවට බදු ගෙවා තිබෙනවා. ඒ වගේම කොටස් හිමියන්ට ලාභාංශ ගෙවා තිබෙනවා. 2021 වසරේ එය මිලියන 1700ක බදු ආණ්ඩුවට ගෙවා තිබෙනවා. ලාභාංශ ලෙස 1500ක් ගෙවා තිබෙනවා. මේ අනුව බදු හා ලාභාංශ ලෙස මිලියන 3200ක් භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා. එසේනම් මේ ලාභ ලබන ආයතන විකුණන්නේ ඇයි?”
“එයාර් ලංකා සමාගම සතුව එයාර් ලයින්, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්, කේටරින් සේවාව යනුවෙන් ආයතන තුනක් තිබෙනවා. නිමල් සිරිපාල පසුගිය දිනවල කියා සිටියේ කේටරින් සේවාව විකිණිය යුතු බවයි. 2011 සිට 2021 දක්වා වසර 11ක ගිණුම් වාර්තාවලට අනුව 2020 හා 2021 හැරුණු විට අනිකුත් සෑම වර්ෂයකම කේටරින් ලාභ ලබා තිබෙනවා. (2020-2021 වසරවලට කොවිඩ් තත්වය බලපා තිබෙනවා) එය 2021 – 2022 වර්ෂයේ මිලියන 2796ක් ලාභ ලබා තිබෙනවා. 2019 – 2020 වසරේ මිලියන 4760ක් ලාභ ලබා තිබෙනවා. පාඩු ආයතන විකුණන්නේ නම් ලාභ ලබන කේටරින් විකිණිය යුතු වන්නේ ඇයි? ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් 2021 වසරේ මිලියන 5009ක් ලාභයි. එසේ නම් ලාභ ලබන ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් විකුණන්නේ ඇයි? එයාර් ලයින් එක පාඩුයි. මේ පාඩුව සිදුවන්නේ කෙසේද? ජාත්‍යන්තර බැඳුම්කර ලෙස ඩොලර් මිලියන 175ක ණයක් අරගෙන තිබෙනවා. ලංකා බැංකුවෙන් ඩොලර් මිලියන 80ක ණයක් ලබාගෙන තිබෙනවා. මහජන බැංකුවෙන් ඩොලර් මිලියන 466ක ණයක් අරගෙන තිබෙනවා. ඛනිජ තෙල්, එයාර් පෝර්ට් හා ගුවන් යානා හිඟ බදු මේ සියල්ලම සඳහා රුපියල් බිලියන 401ක ණයක් ගෙවන්න තිබෙනවා. මේ ගෙවීමට ණයක් ඇති එයාර් ලයින් එක කිසිවෙක් මිලදී ගන්නේ නැහැ. ආණ්ඩුව උත්සාහ ගන්නේ මෙම ණය භාණ්ඩාගාරය බාරගෙන ණය සීරෝ කර විකුණන්නයි.”
එසේනම් මේ විකිණීම් කුමක් සඳහාද?
“එකක් ඔවුන් නියෝජනය කරන ආර්ථික උපායමාර්ගය ක්‍රියාවට නැංවීම සඳහායි. අනික් හේතුව ඩොලර් හිඟකමයි. 1980 සිට රටට අවශ්‍ය ඩොලර් ඉපයීමට අප අසමත් වී තිබෙනවා. අපට ආනයනය හා ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 14,800ක් අවශ්‍යයි. මීට පෙර අපි මේ හිඟය පියවූයේ ණයක් ගැනීමෙන් සහ විකුණා මුදල් ලබාගැනීමෙන්. 2020 වන විට ණය ලබාගැනීමට නොහැකි වීම නිසා ප්‍රශ්නයක් ලෙස අර්බුදය පැනනැගී ආවා. මේ මොහොතේ ඇති වී තිබෙන විදෙස් සංචිත හිඟය පියවා ගැනීම සඳහා විකිණීම සඳහා සූදානම් වෙනවා. තුන්වන හේතුව තමයි මොවුන්ගේ විකිණීමට ඇති කැමැත්ත. විකිණීම බිස්නස් එකක්. හිඟුරාන සීනි කම්හල විකුණන කොට අක්කර 7000ක උක් වගාවක් තිබුණා. අක්කර 300ක පැල තවානක් තිබුණා. කර්මාන්ත ශාලා තිබුණා. ගබඩාවේ සීනි තිබුණා. කම්හල සතුව මිලියන 70ක ස්ථාවර තැන්පතුවක් බැංකුවේ තිබුණා. ඒ මොහොතේ ගබඩාවේ තිබුණු සීනිවල වටිනාකමටත් වඩා අඩුවෙන් හිඟුරාන සීනි කම්හල විකුණුවා. මේ සෑම විකිණීමකටම ඔවුන්ට ලැබෙන කොමිස් මුදලත් හේතුවෙනවා. කුමන හේතු ඉදිරිපත් කළත් මේවා සම්පත් විකිණීමට සැඟවුණු හේතු ලෙස බලපා තිබෙනවා.”
“එසේනම් දැන් අප කළ යුත්තේ මොකක්ද? දොඩම් ගොඩ බදාගත්තා වගේ සියල්ල ආණ්ඩුව බදාගත යුතුද? ආණ්ඩුව සමාජය පිළිබඳ වගකීම බාරගත යුතුයි. එක භාණ්ඩ හා සේවා සාධාරණ මිලකටත්, ගුණාත්මකභාවයෙනුත්, සුලභවත්, ලබාදීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. පෞද්ගලික සමාගමක් සමාජ වගකීම දරන්නේ නැහැ. ජනතාව වෙත ඇතිවන පීඩනයන් වෙළඳපොළේ සමහර ක්ෂේත්‍ර නියාමනය මගින් අපට පාලනය කළ හැකියි. පාරිභෝගික අධිකාරිය, මහජන උපයෝගිතා කොමිසම නියාමන ආයතනයන්. තවත් සමහර ක්ෂේත්‍රවලට සමුපකාර ජාල මගින් ක්‍රියාත්මක විය හැකියි. ඉන්දියාවේ ගුජරාට්වල තිබෙන ‘අමුල්’ කිරි කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ සමුපකාර ක්‍රමය පදනම්ව. ‘ඇන්කර්’ හදන නිව්සීලන්තයේ ‘ෆොන්ටේරා’ කර්මාන්ත ශාලාව සමුපකාර ක්‍රමයක් මගින් ගොඩනැගුණු ආයතනයක්. සමුපකාර සංකල්පය වෙළඳපොළ හැසිරවීමේ ඉතා හොඳ පාලන ක්‍රමයක්. ලෝකයේ බොහෝ තැන්වල සමුපකාර ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. එය අප පිළිගත යුතුයි.”
“ප්‍රධාන සහල් සැපයුම්කරුවන් වෙළඳපොළ සඳහා අවශ්‍ය සහල්වලින් සපයන්නේ 23%යි. ලංකාවට දිනක පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 65ක්. අරලිය සහල් දවසකට සපයන්නේ කිලෝ ලක්ෂ 04යි. 77%ක් තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් අතේ. ප්‍රධාන සැපයුම්කරුවන් අඩු ප්‍රමාණයක් සැපයූවත්, ඔවුන්ට සහල් සහ වී වෙළඳපොළ හැසිරවීමට හැකියාව ලැබී තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ, නියමිත ප්‍රමාණයන් අඛණ්ඩව සැපයීමේ හැකියාව තිබීම, සන්නාමයක් තිබීම සහ ගුණාත්මකභාවයක් තිබීම නිසයි. ඒ නිසා සහල් සහ වී වෙළඳපොළේ අධිකාරිත්වයක් හිමිකර ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. අප කළ යුත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ප්‍රාග්ධනය, තාක්ෂණය ලබාදී, සමිති ජාලයක් මගින් සංවිධානය කර, එක බ්‍රෑන්ඩ් එකකින්, එක කොලිටියකින්, අඛණ්ඩව වෙළඳපොළට සහල් එවීමට කටයුතු සලසා දීමයි. එවිට මේ අධිකාරිය බිඳින්න පුළුවන්.”
“තුන්වෙනුව නිදහස් වෙළඳපොළ ඇති කිරීමෙන් හා සිව්වනුව ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් මැදිහත් විය හැකියි. අපේ ජාතික ආර්ථික උපායමාර්ගයට අනුරූපීව ආණ්ඩුව හසුරුවනවා. රටේ ආර්ථික මර්මස්ථාන රජය සතු විය යුතුයි. රජය දේශපාලන මැදිහත්වීම කිරීම නතර කළ යුතුයි. අපි එය කරනවා. කරලත් තිබෙනවා. මම කෘෂිකර්ම ඇමති අවදියේ ලක් පොහොර සභාපති ලෙස පත් කළේ දක්ෂ, පළපුරුද්ද සහිත ව්‍යාපාරික දැනුමක් ඇති දේශපාලනයෙන් තොර කෙනෙක්. කොමර්ෂල් පොහොර එකේ, මිල්කෝ ආයතනයේ, කෘෂි රක්ෂණ මණ්ඩලයේ, ජල සම්පත් මණ්ඩලයේ, එන්.එල්.ඩී. ආයතනයේ සභාපතිවරුන් ලෙස පත්කළේ දේශපාලනයෙන් තොර දක්ෂ පුද්ගලයන්. මිල්කෝ ආයතනය ලාභ ලැබුවා පමණක් නොවෙයි, කිරි ලබාදුන් ගොවීන්ට පළමු වරට ලාභාංශ පවා ගෙව්වා. සේවක පඩි වැඩි කළා. මේ සෑම ආයතනයක්ම තිබුණාට වඩා කාර්යක්ෂමව පවත්වාගෙන ගියා.”
“මේ ආයතනවල දේශපාලන මැදිහත්වීම්වලින් ඉවත් කරන්න පියවර ගන්න ඕනෙ. ඊළඟට මේවායේ සිදුවන වංචා-දූෂණ ඉවත් කළ යුතුයි. විෂයයන් පිළිබඳ අවබෝධයක් සහිත තම දැනුම උපයෝගී කරගෙන අලුත් දෙයක් කළ හැකි අය සේවය සඳහා යොදවා ගන්නේ නම්, සේවකයා ඊට අනුරූපී ලෙස වැඩ කරනවා. එවිට වංචා – දූෂණ නවත්වන්න හැකියාව ලැබෙනවා. දැන් මේ ආයතන සේවකයන්ගෙන් පුරවලා. විදුලි බල මණ්ඩලයේ 25,624ක් සේවකයන්. පෙට්ට්‍රොලියම් එකේ 2300ක විතර සේවක සංඛ්‍යාවක්. ෂධක් එකේ 164යි. එක් එක් ආයතන අමාත්‍යවරු තම ආයතනවලට හිතුමතේ දේශපාලන පත්වීම් ලබාදීමෙන් මේ සේවක සංඛ්‍යා වැඩිවී තිබෙනවා. විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව වැඩි වී ඇති අතර, අධ්‍යයන කාර්ය මණ්ඩලය අඩු වී තිබෙනවා. රාජ්‍ය සේවයේ පහළ සේවක සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. රාජ්‍ය සේවය කඩා වැටෙන්නේ එතනින්. ආසියාවේ ඉතාමත් හොඳ රාජ්‍ය සේවයක් අප සතුව තිබුණා. එය සම්පූර්ණයෙන්ම විනාශ කළේ දේශපාලන මැදිහත්වීමෙනුයි.”
“විදුලි බල මණ්ඩලය විකිණීමේ සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. මෙහි ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. එකක් ජනනය. දෙක සම්ප්‍රේෂණය, තුන බෙදාහැරීම. ජනනය ආකාර තුනක් තිබෙනවා. ජල විදුලි බලාගාර, නොරොච්චෝලේ වැනි විදුලි බල මණ්ඩලය සතු බලාගාර තිබෙනවා. යුගදනවි බලාගාරය සතුව භාණ්ඩාගාරය සතු කොටස් තිබෙනවා. විදුලි බල මණ්ඩලයේත් එල්.ටී.එල්. එකෙත් කොටස් තිබෙනවා. මේ අතර පෞද්ගලික බලාගාරත් තිබෙනවා. ඔවුන්ගේ ජනන ඒකක වෙනුවෙන් ස්ථාවර ගාස්තුවක් අප ගෙවනවා. ඊට අමතරව පාවිච්චි කළොත් වැඩියෙන් ගෙවනවා.”
“මහවැලි ජල විදුලි බලාගාරවල ඒකකයක් නිපදවන්න රුපියල් 2.54ක් වියදම් වෙනවා. ලක්ෂපාන බලාගාරයේ ඒකකයක් හදන්න වියදම් වන්නේ 1.58යි. සමනල බලාගාරයෙන් විදුලි ඒකකයක් හදන්න යන්නේ 3.13යි. ජල විදුලි ඒකකයක් නිපදවන්න යන සාමාන්‍ය වියදම රු. 2.35යි. ජනනය කිරීම පාඩු ලබන්නේ නැහැ. මේ ජනනය කිරීම විකිණීමටත්, මෙම ආයතන පෞද්ගලීකරණය කරන්නත් උත්සාහ ගැනෙමින් තිබෙනවා. මන්නාරමේ මෙගාවොට් 100ක විදුලි බලාගාරයක් අප සතුව තිබෙනවා. අපේ කොස්ට් එක ඩොලර් ශත 3.5යි. ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙගාවොට් 500ක බලාගාරයක් අදානිට දීමට සූදානම් වෙනවා. අවුරුද්දකට ඩොලර් මිලියන 151ක්. මේ ගිවිසුම ගහන්නේ අවුරුදු 30කට. ඩොලර් බිලියන 4ක් අවුරුදු 30 ඇතුළත ඔහු ගෙනියනවා.ආර්ථිකයටත්, ජනතාවටත් මේ විකිණීම බලපාන්නේ කෙසේද යන්න සොයා බැලීමටත් සේවක සංඛ්‍යාව කාර්යක්ෂම කරවීම සඳහාත්, සමහර ව්‍යාපෘති පමාවීම වැළැක්වීම සඳහාත් ජනතා ඉල්ලීම් අඩාලවීම වැළැක්වීම සඳහාත් අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතුයි.”
පාඩුව සිදුවන්නේ කොතනද?
“තෙල් සංස්ථාව තෙල් ගෙන්වනවා. පෞද්ගලික සමාගමක් ගබඩා කරනවා සහ බෙදා හැරීම කරනවා. මෙතන පාඩුව සිදුවන්නේ කොතනද? රජය තෙල් සහනාධාරයක් දීමට තීරණය කිරීමත් එහි බර තෙල් සංස්ථාවට පැටවීමෙන් තෙල් සංස්ථාව පාඩු ලබනවා. ජනතාවට සහනාධාර දිය යුතුයි. එහි බර භාණ්ඩාගාරය දැරිය යුතුයි. රජයේ ආයතන තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය නොගෙවා තිබීමත් පාඩුවක්ව තිබෙනවා. උදාහරණයක් ලෙස එයාර් ලංකා සමාගම තෙල් සංස්ථාවට බිලියන 25.6ක්, විදුලි බල මණ්ඩලය බිලියන 47ක්, පුද්ගලික විදුලි බලාගාර බිලියන 6.7ක්, ත්‍රිවිධ හමුදාව මිලියන 820ක් තෙල් සංස්ථාවට ණයයි. තෙල් සංස්ථාවට එම මුදල් බැංකුවෙන් ලබාගැනීමට සිදුවීමත් ඒ සඳහා පොලිය ගෙවීමට සිදුවීමත් නිසාත් පාඩුව වැඩිවී තිබෙනවා. දැන් රුපියල් ට්‍රිලියනයක් ණය වෙලා තිබෙනවා. තෙල් සංස්ථාවේ පාඩුවට රුපියල කඩා වැටීමත් බලපා තිබෙනවා. මේ ආයතන නිසි කලමණාකරණයක් නොවීමත්, සේවක සංඛ්‍යාව වැඩිවීමත් දේශපාලන අත පෙවීමත් මේ පාඩුවට හේතුවී තිබෙනවා. පිරිපහදුව ආරම්භ කළේ 1969දීයි. නිසි කළමනාකරණයක් නොමැති වීමෙන් එය පාඩු ලබන තත්වයක් ඇතිවී තිබෙනවා.”
“ආර්ථිකයේ ර්මස්ථාන නියාමනය කර පවත්වාගෙන යා නොහැකියි. බලශක්ති ක්ෂේත්‍රය රජය සතුව තබාගත යුතුයි. මූල්‍ය වෙළඳපොළ තරගකාරිත්වයකින් පවත්වගෙන යා යුතුයි. මූල්‍ය වෙළඳපොළ රජය පාලනය කළ යුතුයි. බහුජාතික සමාගම් කිහිපයකට රටේ ආර්ථික තීරණ ගැනීමේ බලයත්, මූල්‍ය තීරණය ගැනීමේ බලයත්, දේශපාලන තීරණ ගැනීමේ බලයත් ආණ්ඩුව හැසිරවීමේ බලයත් ලබාදීමේ සැලසුමක් සකස් වෙමින් තිබෙනවා. අප එය පරාජය කළ යුතුයි. මූල්‍ය වෙළඳපොළ රජය පාලනය කළ යුතුයි. නියාමනය, තරගකාරිත්වය, වෙළඳපොළට මැදිහත්වීමෙන් රජයේ ආර්ථික පංගුව රජය ආරක්ෂා කරගත යුතුයි. වත්මන් ආර්ථික ප්‍රතිපත්ති තබාගෙන රටක් ගොඩනැංවිය නොහැකියි. පවතින ආර්ථික උපායමාර්ගත් මේ දේශපාලන ගමන්මඟත් තබාගෙන තවදුරටත් ඉදිරියට යා නොහැකියි. මේ ගමන් මඟ වෙනස් කළ යුතුයි.”
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?