Last Updated on February 25, 2023 by Lankae Cast
මම තවම යාපනේ.
අද මං ගිය කෝවිල ගැන කථාව ඔබ විශ්වාස කරන එකක් නැහැ. ඒක එහෙම නොවුනොත් තමා පුදුමේ. මමත් එතැනට යනතුරු මගේ මිතුරාගේ කථාව විශ්වාස කළේ නැහැ. ඒ වුනාට ගියාට පස්සෙයි දැනගත්තේ මම වැරදියි කියලා. මේ කෝවිලේ නම සෙල්ව සනිධි මුරුගන් කෝවිල. මේ කෝවිල තියෙන්නේ වැල්වැටිතුරෙයි, තොන්ඩමනාරු ගමේ. ඒක කතරගම දේවාල භූමිය තරම් විසාල ඉඩමක්. කෝවිල පිටිපස්සේ තොන්ඩමනාරු කලපුව. කෝවිල කැප කරලා තියෙන්නේ කතරගම දෙවි හාමුදුරුවන්ට. අද සිකුරාදා කෙම්මුර දවසක් නිසා සෙනග ටිකක් වැඩියි. ඒ වුනාට ඒක එකිනෙකා තෙරපෙන තරමේ සෙනගක් නෙවෙයි. ඇඟේ නොගෑවී ඉන්න පුළුවන් තරමට දෙතුන් සීයක් සෙනග. ඒ වුනාට සඳුදා දවස්වලට මීට වඩා සෙනගත් ඉන්නවලු.
මේ කෝවිලට එන බහුතරය බැඳපු ජෝඩු. දරුවන් හම්බවෙන්න කල් ගිය අය. අනිත් අය අළුත උපන් දරුවන් දෙවියන්ට කැප කරන්න පැමිණි පිරිස. මා ඇතුළු වැඩිහිටියන් ද විශාල ප්‍රමාණයක් එහි හිටියා. පිරිසක් කෝවිල වටා පැදකුණු කරනවා. තවත් පිරිසක් ප්‍රධාන දේව මණ්ඩපය පිටුපස බෝ ගහ යට මුරුගන් දෙවියන්ට ප්‍රශංසා කරන කවි ගායනා කරනවා. ඒ බෝධිය වටේට වෛවාරන්න පාට රෙදිවල ඔතාපු පඬුරු ගැටගහලා. දහස් ගනනක්. පහල අතුවල ලී වලින් හදාපු පුංචි තොටිලි එල්ලලා. සිය ගනනක්. හරීම ලස්සනයි. ඒ තොටිලිවලින් අපේ දූ පුතුන්ගේ අහිංසක ප්රාර්ථනාවල සුවඳ විහිදෙනවා. ඒ ඉසව්ව පිරිලා ඉතිරෙන්නේ අපේ දරුවන්ගේ විශ්වාස, අපේ දරුවන්ගේ ඇදහිලි, අපේ දරුවන් කිරිකැටියෙක් බලාපොරොත්තුවෙන් මුදාහල සුන්දර බලාපොරොත්තු වලින්. එතැනදි දැනෙන විශ්ව ශක්තිය හරීම බලවත්. ඒක නොලියාම බැහැ. ඒක ඉතිං ගිහිල්ලම අත්දකින්න ඕනේ.
මුරුගන් දෙවියන්ට අළුත් බලාපොරොත්තුවක් වෙනුවෙන් බාරයක් වෙන්න මේ කෝවිලට යන තරුණ පුතාලා හැමෝම කෝවිල් භූමියේම ස්ථාපිත පුංචි බාබර් සාප්පුවෙන් කොණ්ඬේ බූ ගාගන්නවා. ඒක ටිකක් මිලක් අධික බාබර් සාප්පුවක්. කොණ්ඬේ කපාගන්න එක්දාස් පන්සීයක් වැයවෙනවා. ඒ නිසා තමන්ට පුළුවනී පුංචි ක්ලිපර් එකක් අරං යන්න. කෝවිල් භූමියේදිම තමන්ගේ කොණ්ඩය කපන එක චාරිත්‍රයක්. ඊට පස්සේ පිරිසිඳු කලපු වතුරේ එබිලා ස්නානය කරනවා. ඒකට අකමැති අයට බාල්දියෙන් වතුර ඇදලා නාගන්න පහසුකම තියෙනවා. අනතුරුව පොල් ගහනවා. මේ කොණ්ඩය කැපීමෙනුත්, පොල් ගැසීමෙනුත් අදහස් කරන්නේ තමන්ගේ මානය දෙවියන් ඉදිරියේ බිඳ හෙලනවා කියන එක. අනතුරුවයි තොටිලක් බෝ ගසේ එල්ලන්නේ.
කථාවේ ඔබ විශ්වාස නොකරන කොටස එළඹෙන්නේ ඉන් අනතුරුව. මෙසේ බාරවෙන තරුණ දරුවන්ට කෝවිල් භූමියේදීම ලිංගිකව හැසිරීමේ පහසුකම තියෙනවා. කෝවිල් කාර්යාලයට තමන්ගේ තොරතුරු දැනුම් දුන්නම ඉතා පිරිසිඳු ඇතිරිලි සහිත කාමරයක් ඔබට ලැබෙනවා. ඒ සඳහා කිසිම අයකිරීමක් නැහැ. කාමරය නොමිලේ. ඔබ තන්ත්ර යෝග පිළිබඳව අසා ඇත්නම් මේ සිරිත පිළිබඳව මවිතයට පත්වෙන්නේ නැහැ. ඉතා සුපිරිසිඳු සිතින් ප්‍රගුණ කරන තන්ත්ර යෝගයක් පමණයි මේ ඔබ මවිතයට පත්කරවන සිරිත. යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්ර පිළිබඳව විමසිලිමත් අයෙකුට මේ සිරිත අරුමයක් වෙන්නේ නැහැ. කෝවිලේ භාරකාර මණ්ඩලය මේ කටයුත්ත හඳුන්වන්නේ ‘හනිමූන්’ සිරිත කියලා. මා එහි කැන්දාගෙන ගිය මගේ මිතුරා මට කිව්වේ ’අපේ අක්කාගේ පුතාට බැඳලා අව්රුදු දාසයක් යනකල් ළමයි නැහැ. මේ කෝවිලට බාරයක් වුනාට පස්සේ තමයි දරුවෙක් හම්බවුනේ.
අනේ කරුණාවෙන් කියන්නේ. දැන් මේක ලිව්වා කියලා මාව මරාගෙන බෙදාගෙන කන්න ලෑස්ති වෙන්න එපා. මේ තොරතුරැ ලිවීමෙන් අදහස් වෙන්නෑ මම මේ ඇදහිලි සහ විශ්වාස සියයට සියයක් පිළිගන්නවා කියලා. මම ලිව්වේ මම අහපු සහ අත්වින්ද මගේ අත්දැකීම පමණයි හොඳේ.
වැඩි විස්තර අවශ්‍ය අයට ගූගල් කරලා මේ කෝවිල ගැන ඇති තරම් විස්තර හොයාගන්න පුළුවනී.
–Vishnu Vàsu (Simple Simon)
More Stories
මඳ කිපුනු තනි අලියා වට කරගත් සුඳු අලි රෑන
ජගත්කරණය වූ දඹදෙනියේ බයියා
එක්ව ගැලවෙමුද වෙන්ව වැනසෙමුද ? – රංජිත් හේනායකආරච්චි