counter hit xanga
June 26, 2022

චීනයේ ණය උගුල ගැන වි‍ශේෂඥ උපදෙස් දෙන ඇමරිකාව ද වැඩි පුරම ණය චීනයට … චීන ණය ගැන ඇත්ත කතාව

Last Updated on April 19, 2021 by Panduka Herath

ජාත්‍යන්තර මාධ්‍යයේ ආධිපත්‍යය දරණ අධිරාජ්‍යවාදී කඳවුර සහ එයට මානසිකව වහල්ව සිටින බොහෝ දේශීය ජනමාධ්‍ය චීනය පිළිබඳ ගොඩනගා ඇති ප්‍රතිරූපය සමාන කර ඇත්තේ පොලී මුදලාලි කෙනෙකුටය. මෙම මාධ්‍ය විසින් පමණක් නොව බොහෝ විද්වතුන් ද ජනතාවට කියා සිටින්නේ චීනය, වෙනත් දුප්පත් රටවලට ණය දීමෙන් “ණය උගුලක“ සිර කිරීමට තැත් කරන බවයි. ප්‍රතිලාභ එතරම් නැති, එහෙත් මිල අධික යටිතල පහසුකම් ගොඩනැගීමට ශ්‍රී ලංකාව වැනි රටවල් පොළඹවා, ඉන්පසු එම රටවල් ණය බරින් මිරිකන චීනය, රටවල්වල විවිධ වත්කම් තමන් සතු කර ගැනීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කරන බව බොහෝ අයගේ මතයයි. චීනය පිළිබඳ මෙම මතය තවත් ශක්තිමත් වී ඇත්තේ කොරෝනා වෛරසය මැඩලීම සඳහා තව තවත් ණය ගොඩ ගැසෙන ගෝලීය ආර්ථික පසුබිමකය. මෙලෙස චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තරණය වි‍ශේෂයෙන්ම චීනයේ එක් – තීරණයක් – එක් – මාවතක් (BELT AND ROAD INITIATIVE) ව්‍යාපෘතිය බොහෝ විද්වතුන් සහ මාධ්‍යය දකින්නේ හුදෙක් භූ දේශපාලනික සැලැස්මක් ලෙස නොව, භයානක ආයුධයක් ලෙසිනි. චීනයෙන් ණය ගන්නා රටවල් දැනට සමාන කර ඇත්තේ මාෆියාවෙන් ණයට ගන්නා සූදුවක් ලෙසයි.

චීනයේ ණය උගුල් රාජ්‍යතාන්ත්‍රිකභාවය

ජාත්‍යන්තර භූමිකාවේ මේ සඳහා දී ඇති ප්‍රධානතම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායයි. හම්බන්තොට පිළිබඳ කතාවේ හැටියට, වාණිජමය වශයෙන් සාර්ථක වීමේ කිසිදු හේතුවක් නොතිබූ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් යටකිරීමට චීන බැංකුවල සරණ පැතීමට ශ්‍රී ලංකා රජයට සිදුවූ බවයි. එමෙන්ම චීන ණය සහයෝගීතාවේ දැඩි කොන්දේසි නිසාත්, වරාය ඉදිකිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු ආදායම ඉතා අඩු ප්‍රමාණයක් නිසාත්, අවසානයේ චීනයට ගෙවිය යුතු ණය පියවීම සඳහාත් හම්බන්තොට වරාය පාලනය චීන සමාගමකට භාර දීමට රජයට සිදුවුණු බවත් කතාවෙන් කියැවේ. හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුරකාලයේදී හම්බන්තොට වරාය පිළිබද අවධානය යොමු කළ එවකට උප ජනාධිපති මයික් පෙන්ස් මෙය හැදින්වූයේ චීනයේ ණය උගුල් රාජ්‍යතාන්ත්‍රිකභාවය (Debt- Trap Diplomacy) ලෙසයි. බොහෝ මාධ්‍ය සහ විශ්ලේෂකයින් චීනයෙන් ගන්නා ණය සහ ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සබඳතා නිරීක්ෂණය කරන්නේ චීනය ලෝක බලවතකු ලෙස ආසියානු කලාපයේ තම බලය තහවුරු කරගැනීමට උත්සහ කරන දේශපාලන – ආර්ථික සන්දර්භයක් තුළය. එහෙත් යමෙක් ශ්‍රී ලංකා – චීන සබඳතා, ශ්‍රී ලංකාවේ කෝණයෙන් බලන්නේ කලාතුරකිනි. චීනයේ මූල්‍ය ආධාර ලබා ගැනීම ශ්‍රී ලංකාවේ කෝණයෙන් බැලූකල අපට හේතූන් කිහිපයක් පෙනේ. රටතුළ පැන නැගුණු දේශපාලන සහ ආර්ථික අවශ්‍යතා සපුරාලීම, ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා අවශ්‍ය මුදල් සොයා ගැනීම, සහ කලාපයේ භූදේශපාලනිකව සිදුවෙන වෙනස්වීම්වලට උපායශීලීව හැඩ ගැසීමයි.

ක්‍රි.පූ. 8 වැනි සියවසේ ඇරඹී ශ්‍රී ලංකාව සහ චීන ආගමික සහ දේශපාලනික සබඳතා

ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සබඳතා සන්දර්භගත කිරීම සඳහා රටවල් දෙක අතර ඓතිහාසිකව ගොඩනැගී ඇති සබඳතා අවබෝධ කරගැනීම වැදගත්ය. මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි ඇතුළු අනෙකුත් ඉතිහාසඥයින් සහ පුරාවිද්‍යාඥයින්ගේ පර්යේෂවලින් පෙන්වන්නේ ශ්‍රී ලංකාව සහ චීනය අතර ආගමික සහ දේශපාලනික සබඳතා ආරම්භ වන්නේ ක්‍රි.පූ. 8 වැනි සියවසේ බවයි. ඉන්පසු අන්තර්ජාතික වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් බට පත්වූ ශ්‍රී ලංකා දිවයිනත් චීනයත් අතර වෙළඳ සම්බන්ධතා ක්‍රි.ව. 5 වැනි සියවසෙන් ආරම්භවන බව ඉතිහාසඥයන්ගේ මතයයි. කෙසේ වෙතත්, යටත් විජිත පාලනයෙන් මිදුනු පසු චීන -ශ්‍රී ලංකා සබඳතා ආර්ම්භ වන්නේ 1950 දශකයේදීය. රටවල් දෙක අතර දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිතවීමට පෙර ඇතිවූයේ ආර්ථික අවශ්‍යතා මත පදනම් වූ වි‍ශේෂ සම්බන්ධතාවයකි. එනම් 1952 චීන – ශ්‍රී ලංකා, සහල් සහ රබර් හුවමාරු කරගැනීමේ ආර්ථික ගිවිසුමයි. මෙම ගිවිසුම කොමියුනිස්ට් නොවන රටක් මහජන චීන සමූහාණ්ඩුව සමඟ අත්සන් කළ පළමු ආර්ථික ගිවිසුමයි. මෙය තවත් වශේෂ වන්නේ එවකට ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය හිතෛශී රජය මගින් කොමියුනිස්ට් චීනය සමඟ ගනුදෙනු කිරීමට ගත් තීරණයක් වන බැවිනි. චීන – ශ්‍රී ලංකා සහල් – රබර් ගිවිසුම පිළිබඳව කෙටියෙන් සඳහන් කිරීම මෙහිදී වැදගත්ය.

රබර් වෙනුවට සහල්

1952 වර්ෂය ශ්‍රී ලංකාවට ඉතා අවාසනාවන්ත වසරක් ලෙස ඉතිහාසයට නැගෙන්නේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ හදිසි අභාවය නිසා පමණක් නොවේ. එවකට රජය විසින් සෑම වැඩිහිටි පුද්ගලයකුටම සහල් සහන මිළට ලබාදීමට බැඳී සිටිය ද ලෝක වෙළඳපලේ සහල් හිඟයක් විය. ලෝක වෙළඳපලේ සහල් මිල 1951 සිට 1952 දක්වා කාලය තුළ 38%කින් ඉහළ ගියේය. මෙනිසා ශ්‍රී ලංකාවට වැඩි මිලට සහල් මිලදී ගැනීමට සිදුවූයේ ඇමරිකාවෙන් සහ ඉක්වදෝරයෙන්ය. එහෙත් මේ වන විට කොරියානු යුද්ධයත් සමඟ ලෝකයේ සිදුවූ ආර්ථික පසුබෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයනවල ආදායම විශාල ලෙස පහත වැටී රට විදේශ විනිමය අර්බුධයකට මුහුණ දෙමින් තිබුණි. වි‍ශේෂයෙන් ඇමරිකාව විසින් මිලදී ගත් රබර් ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් 1951 සිට 1952 දක්වා ශ්‍රී ලංකාවේ අපනයනවල ආදායම 23%කින් අඩු විණි. මෙම ගෝලීය සාධක නිසා ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දීමට සිදු විය. ජනතාව සඳහා ප්‍රමාණවත් සහල් සොයා ගැනීමට නොහැකි වූ අතර රටට විදේශ විනිමය උපයාගැනීමට රබර් අපනයනය සඳහා වාසිදායක වෙළඳපොලක් නොතිබුණි. එවකට ශ්‍රී ලංකාවේ වාණිජ කටයුතු පිළිබඳව ඇමතිවරයා වූ ආර්.ජී. සේනානායක මහතා ශ්‍රී ලංකාවේ රබර් වෙනුවට චීනයේ සහල් හුවමාරු කරගැනීමට සූදානම් බව සොයාගත්තේය. මෙයට පාදක වූ කාරණයක් වූයේ ඇමරිකාව විසින් මලයාව වැනි රටවලට චීනයට රබර් අලෙවිය තහනම් කිරීමයි. මෙවැනි පසුබිමක චීනයට රබර් අවශ්‍ය වූයේ, ශ්‍රී ලංකාවට සහල් අවශ්‍ය වූ තරම් අර්බුදකාරී අවස්ථාවේදීය.

එක් – තීරණයක් එක් මාවතක්

මේ අනුව නූතන අවධියේදී ශ්‍රී ලංකා – චීන සබඳතා ආරම්භ වීම සඳහා හේතු වූයේ දේශීය අවශ්‍යතා සපුරාලීමේ ශ්‍රී ලංකාවේ මූලික පරමාර්ථයයි. මෙලෙස 1970 දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සම්මන්ත්‍රණ පහසුකම් අවශ්‍යවූ අවස්ථාවේ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමට සහයෝගය දැක්වූයේද චීන රජයයි. 1990 දශකයේ මැද භාගයේ සිට වර්තමානය දක්වා චීන සහ ලාංකික පුද්ගලික ව්‍යාපාර අතර සබඳතා ද වර්ධනය වී තිබේ. 2014 දී චීනයේ එක් – තීරණයක් එක් මාවතක් ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව දායක වූයේද රට තුළ පැන නැගුණු ආර්ථික සහ දේශපාලන අවශ්‍යතා සපුරාලීමට ය. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව චීනය කෙරෙහි ඇති විදේශ ප්‍රතිපත්තිය බාහිර බලපෑම් මත පමණක් නොව දේශීය යථාර්ථයන් මත බවත් හැඟේ.

දේශීය වශයෙන් පැන නැගුණු අර්බුද සහ ගැටළුවලට අමතරව, ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසාත් ශ්‍රී ලංකා රජය නොයෙක් අවස්ථාවලදී චීනයේ සහය පැතූ බව මතක තබා ගත යුතුය.

ශ්‍රී ලංකා රජය 1983 සිට 2009 දක්වා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරන යුධ කාලයේදී රටේ සංචාරක කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දුන්නේය. එවකට දිවයිනේ තිබූ සමාජ – දේශපාලන අස්ථාවරත්වය උග්‍ර කරමින් එල්.ටී.ටී.ඊ ය 1995 ඔක්තෝබර් මාසයේදී කොලොන්නාව තෙල් ගබඩාවට, 1998 ජනවාරියේ මහ බැංකුවට සහ 2001 ජූලි මාසයේදී ජාත්‍යන්තර ගුවන්තොටුපොලට එල්ල කළ ප්‍රහාර නිසා රටේ සංචාරක කර්මාන්තය කඩා වැටුණි. යුද්ධ හේතුවෙන් ඇති වූ ආර්ථික අස්ථාවරත්වය මගහරවා ගැනීමට උත්සාහයක් ලෙස 2002දී ශ්‍රී ලංකාව චීනය සමඟ ගිවිසුමක් ඇති කරගත් අතර ශ්‍රී ලංකාව නිල සංචාරක ගමනාන්තයක් ලෙස චීන රජය අනුමත කළේය.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු චීන ජාතිකයන් 40 බැගින් වූ සංචාරක කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවට යාමට අවසර දුන්නේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක සමාගම්වලට අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන් චීනයේ පැවැත්වීමට චීන රජය ඉඩ දුන්නේය. ඒ අනුව, මහ බැංකු වාර්තාව සඳහන් කරන පරිදි 2002 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් 17% කින් ඉහළ ගියේය. මීට අමතරව එම වකවානුවේදී රටේ අයවැය ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් යොමු වූයේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහාය. මෙනිසා රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීම රජයට අභියෝගයක් විය. එමෙන්ම රටේ ප්‍රධාන යටිතල ව්‍යුහය කොටි සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක් ද විය. එනිසා පුද්ධය අවසන් වූවාත් සමඟම යටිතල ව්‍යුහය සංවර්ධනය කිරීමට සහ යුද්ධයෙන් විනාශ වුණු දේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකාව සහාය පැතුවේ චීනයෙන්ය. මෙම කාලයේදී ගොඩනැගුණු මහත් ආන්දෝලනයකට තුඩු දුන් යටිතල ව්‍යුහ සංවර්ධන ව්‍යාපෘතියක් වන්නේ හම්බන්තොට වරායයි. ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ පිහිටි හම්බන්තොට ඉතා කාර්ය බහුල වූ ඉන්දියන් සාගර නැව් මාර්ගයට නාවික සැතපුම් කිහිපයක් නුදුරින් පිහිටා තිබේ. ලෝකයේ සාගර මගින් සිදුවන වෙළදාමෙන් 80%ක් සිදුවන්නේ මෙම නැව් මාර්ග ඔස්සේය.

හම්බන්තොට වරාය හදන්න ආ කැනඩාව

හම්බන්තොට වරායක් ඉදිකිරීම සඳහා ප්‍රථමයෙන්ම උනන්දුවක් දැක්වූයේ චීනය නොව කැනඩාවයි. 2002 වසරේදී කැනේඩියානු ඉංජිනේරු සමාගමක් වන එස්.එන්.සී-ලැවලින් (SNC – Lavalin) සමාගම ලවා ශඛ්‍යතා අධ්‍යයනයක් කරවූයේ කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (CIDA) යි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කැනේඩියානු සමාගමක් අතර හවුල් ගිවිසුමක් මාර්ගයෙන් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැනඩාව දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලනික විචල්‍යතාවයන් හේතුවෙනි. එහෙත් හම්බන්තොට වරායක් ඉදි කිරීමේ සැළසුම් යළි කරලියට පැමිණියේ 2005 වසරේ ජනාධිපති මහින්ද රාජපකෂ මහතා බලයට පත්වීමත් සමගය. 2004 සුනාමි ව්‍යසනයෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටිතල ව්‍යුහය සංවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවයක් විය.

2006 ඩෙන්මාර්කයේ ඉංජිනේරු සමාගමක් වන රැම්බෝල් (Ramboll) විසින් කළ ශඛ්‍යතා වාර්තාව කැනේඩියානු ශඛ්‍යතා වාර්තාවට වෙනස් නොවිණි. මෙය රැගෙන ශ්‍රී ලංකා රජය ප්‍රථමයෙන් සහනයක් පැතුවේ ඇමරිකාවෙන් සහ ඉන්දියාවෙන්ය. මෙම රටවල් දෙකම ශ්‍රී ලංකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. එවිට ශ්‍රී ලංකා රජයේ සහායට ඉදිරිපත් වූයේ චයිනා හාබර් ගෘප් (China Harbor Group) නමැති චීන රජයට අයත් සමාගමයි. ඉදි කිරීම් කටයුතු සඳහා අරමුදල් සැපයුවේ චීනයේ එක්සිම් බැංකුවයි. (Exim Bank) මෙම ගිවිසුම සිදුවූයේ චීන ජනපති ෂී ජින්පින් (Xi Jinping) මුල පිරූ එක් තීරණයක් එක් මාවතක් ව්‍යාපෘතිය හඳුන්වාදීමට වසර 6කට පෙරය. එවිට එක්සිම් බැංකුව විසින් වරායේ පළවැනි අදියර ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 307 ක ණයක් ලබා දුන්නේ, වසර 15ක් ඇතුළත ගෙවා දැමීමටය. එක්සිම් බැංකුව විසින් 6.3%ක ස්ථිර පොලී අනුපාතයක් අය කරන ලදී. හම්බන්තොට වරායේ පළවැනි අදියර වසර තුනකින් අවසන් විය. රැම්බෝල් ශඛ්‍යතා අධ්‍යනයට අනුව නිර්දේශ කළේ පළමුවැනි අදියරෙන් පසුව වරායෙන් ආදායම් ඉපයීමේ කටයුතු ආරම්භ කළ යුතු බවයි. එහෙත් දේශපාලන හේතූන් මත නොඉවසිලිමත් වූ ශ්‍රී ලංකා රජය, වරායේ දෙවැනි අදියරත් ඉදි කිරීමට කටයුතු කළේය. මේ සඳහා චීනයෙන් තවත් විශාල (ඩොලර් මිලියන 757) ණයක් ගත් රජය, 2014 වන විට වරායෙන් කිසිදු ලාභයක් උපයා නොතිබුණි. එනිසා 2014 දී හම්බන්තොට වරාය ඒකාබද්ධව සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමට චයිනා හාබර් (China Harbor) සහ චයිනා මර්චන්ට් (China Merchants) සමාගම් සමඟ 35 අවුරුදු ගිවිසුමක් අත්සන් කිරීමට රජය සූදානම් වූ අවධියේදී ආණ්ඩු මාරුවකට මුල පිරිණි.

ගිනි පොලී මුදලාලියකු වු චීනය

2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ දැඩි ආන්දෝලනයකට ලක් වූ හම්බන්තොට වරායේ ප්‍රධාන ආඛ්‍යානය වූයේ බටහිර අධිරාජ්‍යවාදී කඳවුරු විසින් ගොතන චීනයේ ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය යි. එම ආඛ්‍යානය මගින් සමාජගත කරන්නේ චීනය ගිනි පොලී මුදලාලියකු බවත්, ශ්‍රී ලංකාව වැනි රටවල අනුවණ ක්‍රියාවන් නිසා ඔවුන් චීනයේ ණය උගුලට ගොදුරු වී ඇති බවත්ය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ඇමරිකානු තානාපතිනියගේ බොහෝමයක් සම්මුඛ සාකච්ඡාවලදී ද මෙම ගෙතූ කතාව ඉස්මතු වේ. කෙසේ වෙතත්, සමීපව බැලූ විට තත්ත්වය මෙතරම් සරළ නොවේ. චීනයේ අනුග්‍රහයෙන් ඉදිකරන යටිතල ව්‍යුහ ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලබන්නේ චීන සමාගම් පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල ද චීන සමාගම් සමඟ හවුල් වී බොහෝ ඉදිකිරීම් සමාගම් කටයුතු කරති.

චීන ණය උගුලේ පැටලුන ඇමරිකාව

චීනයේ ණය උගුල පිළිබඳව ශ්‍රී ලංකාවට වි‍ශේෂඥ උපදෙස් දෙන ඇමරිකාව ද වැඩි පුරම ණය වී ඇත්තේ චීනයට යි. එනිසා චීනය බලහත්කාරයෙන් ණය දී රටවල් තම ග්‍රහණයට ලක් කරගන්නවා යැයි සමාජගත කර ඇති කථාවට ශක්තිමත් ආනුභාවික පදනමක් නොමැත. ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල් ජාතික ආර්ථික සහ සංවර්ධන අවශ්‍යතාවයන් මත චීනයෙන් ණය ගෙන තිබේ. ඉදිරියේද එය සිදුවනු ඇත. එසේ චීනයෙන් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා ණය ගෙවීමට අපහසු වීම රටේ ජාතික ආර්ථිකයේ කාලයක් තිස්සේ ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් මිස එයට චීනය පලි නැත. ශ්‍රී ලංකාව ණය උගුලක හිරවී සිටින්නේ මන්ද යැයි නැගෙන ප්‍රශ්නයට පිළිතුරක් වෙනත් ලිපියකින් ඉදිරිපත් කිරීම වඩාත් සුදුසුය. එහෙත් හම්බන්තොට වරාය පිළිබඳ ඇතිවූ ආන්දෝලනයත්, චීනය මුළු ලෝකයේ පොලී මුදලාලි යැයි ප්‍රචලිත වී ඇති ආඛ්‍යානයෙන් අනාවරණය වෙන්නේ ලෝකයේ ශීඝ්‍රයෙන් වෙනස්වන බලතුලනයයි.

Belt and Road Initiative -BRI

ගෝලීය බලතුලනය වෙනස් වෙමින් ඇති බවට අප ඉදිරියේ ඇති ප්‍රධානතම උදාහරණය වන්නේ විසිවන සියවසේ ආසියාව, අප්‍රිකාව හා යුරෝපය පුරා ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් නිර්මාණය වන චීනයේ නව සේද මාවත දැවැන්ත ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය හරහා නව හා පැරණි සංවර්ධන ව්‍යාපෘතීන් ඒකාබද්ධ කරන අතර මෘදු සහ දැඩි යටිතල පහසුකම් ද සංස්කෘතික සබඳතා ද ශක්තිමත් කිරීමට කටයුතු කරයි. යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා දැනට නිල වශයෙන් රටවල් 66ක් සහභාගීවන අතර ඒ සඳහා මූල්‍ය පහසුකම් සපයන්නේ චීනයයි. සහභාගි වන බොහෝ රටවල් මෙම BRI ව්‍යාපෘතිය දකින්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඔවුනොවුන්ගේ දේශීය ආර්ථිකය නංවාලීමේ අවස්ථාවක් ලෙසයි. ලෝකයේ බොහෝ බලවත් රටවල් තමන්ගේ භූ ආර්ථික දැක්ම සහ ප්‍රතිපත්තිවල වැදගත් අංගයක් ලෙස අවධානය යොමු කරමින් සිටින්නේ ආසියාව වෙතටයි. එනිසා එම රටවලට BRI ව්‍යාපෘතිය බෙහෙවින් වැදගත් වේ.

යුරෝපා සංගමයේ වැදගත් ආර්ථික ප්‍රතිපත්තියක් වන්නේ අන්තර් යුරෝපීය ප්‍රවාහන ජාලය (Trans – European Transport Network) ආසියානු රටවල් සමග සම්බන්ධවන කොරිඩෝ නවයයි. යුරෝපා – චීන සම්බන්ධතා වේදිකාව (Eu – China Connectivity Platform) මගින් ද සේද මාවත (BRI) සහ අන්තර් – යුරෝපීය ප්‍රවාහන ජාලය ශක්තිමත් කරයි. යුරේසියානු ආර්ථික සංගමයට (Eurasian Economic Union) නායකත්වය දෙන්නේ රුසියාවයි. මෙමගින් කසකස්ථානය, බෙලාරුස් සහ ආමේනියාවේ ආර්ථික ඒකාබද්ධ කරයි. BRI මෙම කණ්ඩායටම වැදගත් වන්නේ යුරේසියාවේ පිහිටි ස්වභාවික ගෑස් නල මාර්ග චීනයට ප්‍රවාහනය කිරීම නිසාය. ආසියාන් (ASEAN) සංවිධානයට සම්බන්ධ රටවල් 10යේ භූ-ආර්ථික අරමුණ වන්නේ 2025 මාස්ටර් ප්ලෑන් එකයි. එමගින් ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සමුද්‍රීය ආර්ථික කොරිඩෝව, අධිවේගී මාර්ග සහ වරාය ඔස්සේ මීකොං කලාපයත්, සිංගප්පුරුවත්, චීනයේ කුන්මින් (Kunming) නගරයත් සම්බන්ධ කීරීමට පියවර ගෙන ඇත. මෙම මාස්ටර් ප්ලෑන් එකත් සමග BRI ද සම්බන්ධ වී තිබේ. බටහිර අධිරාජ්‍යවාදී කඳවුරට සමීප ජපානයද සමුද්‍රීය හා භූ-කොරිඩෝ තුළින් අග්නිදිග ආසියාවට සම්බන්ධ වීමට උත්සහ දරණ බවක් පෙනේ. මධ්‍යම ආසියාවේ රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමටත් ජපානය කටයුතු කරමින් සිටී. නැගෙනහිර සහ බටහිර අතර පාලමක් බවට පරිවර්තනය වීමට වෙර දරන ඉරානයට ද BRI වි‍ශේෂ ව්‍යාපෘතියකි. පර්සියානු ගල්ෆ් කලාපය සහ මධ්‍යම ආසියාවේ භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් ඇති අශ්ගබාත් ගිවිසුම ද BRI සමඟ සම්බන්ධ වී තිබේ.

චීන – ඉන්දියානු එදිරිවාදිකම් සමනයට

ආසියානු කලාපයේ චීනයේ ප්‍රතිවාදියා ලෙස සිටින ඉන්දියාව වැඩි අවධානයක් යොමු කරන්නේ තම රට අභ්‍යන්තරයේ සංවර්ධන කටයුතු වෙතයි. එහෙත් මෑතක සිට ආසියානු කලාපයේ ඉරානය, මියන්මාරය සහ තායිලන්තය සමග වි‍ශේෂ ආර්ථික සහ සංවර්ධන ව්‍යාපෘතීන් ඉන්දියාව විසින් ආරම්භ කොට ඇත. චීනයේ BRI ව්‍යාපෘතිය ඉන්දියාව විසින් තවම අනුමත නොකළද මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වීමට ඉඩ ඇත්තේ මෙම රටවල් දෙක අතර සහයෝගීතාව ආසියාවේ ශක්තිය බවට පරිවර්තනය වන නිසාය. චීන – ඉන්දියානු එදිරිවාදිකම් සමනය වන බවට ලකුණු පහළ වී ඇත. චීනයේ ආයෝජන යෝජනා 45කට අනුමැතිය දීමට ඉන්දීය රජය තීරණයක් ගත්තේ මේ සතියේදීය. මෙයින් එක් දැවැන්ත ව්‍යාපෘතියක් වන්නේ ග්‍රේට් වෝල් මෝටර් (Great Wall Motor) සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන ව්‍යාපෘතියයි. ග්‍රේට් වෝල් සමාගම ඩොලර් බිලියන 1ක් ආයෝජනය සඳහා සැලසුම් කර ඇති අතර ඉන්දියාව තුළ විද්‍යුත් වාහන නිෂ්පාදනය කිරීමටත් මෝටර් රථ අලෙවි කිරීමටත් අදහස් කොට ඇත.

මෙම උදාහරණ සහ BRI ව්‍යාපෘතියේ විවිධ පැතිකඩ ඉදිරිපත් කළ මෙම ලිපියේ අරමුණ වූයේ චීනය පිළිබඳව අධිරාජ්‍යවාදී කඳවුර විසින් සමාජගත කර ඇති ඒක පාර්ශවීය ආඛ්‍යානය පිළිබඳ විචාරාත්මක කෝණයකින් බැලීමයි. ශ්‍රී ලංකාව ස්වකීය දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා චීනයේ සහාය පැතූ බවට ඉතිහාසයේ සහ වර්තමානයේ ඕනෑ තරම් සාක්ෂි තිබේ. ඉදිරි අනාගතයේදී ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය සම්බන්ධ කරමින් ගොඩනැගෙන BRI ව්‍යාපෘති උදාහරණයෙන් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාව චීනය සමඟ මෙන්ම ඉන්දියාව සමග ද මිත්‍රශීලී ලෙස කටයුතු කළයුතු බවයි. චීනයත් සමඟ කටයුතු කිරීම සාපේක්ෂව ලෙහෙසි වන්නේ එරට ඉන්දියාව මෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන සහ සමාජීය කටයුතුවලට මැදිහත් නොවන නිසාය. එහෙත් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත ඩිජිටල් RMB මුදල් මාධ්‍යය හේතුවෙන් ඇමරිකානු ඩොලරයේ ආධිපත්‍ය දුර්වල වීමටත් ඒනිසා ඉන්දියාව කෙමෙන් චීනයට ළංවීමටත් ඉඩ ඇත. එවැනි අවස්ථාවක් එළ‍ඹෙන විට චීනය හා ඉන්දියාව සමඟ මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනැගීම නුවණට හුරුවේ.

-ආචාර්ය වගීෂා ගුණසේකර-