counter hit xanga
February 3, 2023

රටේ පාලකයන් අපේ සුන්දර ජීවිත නැති කරලා…

Last Updated on September 8, 2022 by Desman Chathuranga

රටේ පාලකයන් ගන්නා විකෘති ආර්ථික, දේශපාලන, සමාජ තීන්දු, තීරණ නිසා විවිධාකාරයේ සටන් කරන්න ජනතාවට සිදුවී ඇති බවත් විශේෂයෙන්ම අධි උද්ධමනයත් සමග සටන් කරන්න සිදුවීම හේතුවෙන් ජනතාවට සුන්දර ජීවිත අහිමි වි තිබේන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ විධායක සභික රිසානා ෂිමාස් පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදි ඇය මේ බව සදහන් කළා.

“මේ අවස්ථාවේ මා ප්‍රියාදර ශ්‍රී ලාංකිකයන්ට කියන්න තියෙන්නේ දවසින් දවස කතා කරන, වැඩිවන ප්‍රශ්නවලින් අපේ ජීවිතයේ සුන්දරත්වය නැතිවී තිබෙන බවයි. වයස් කාලය, ළමා කාලය සහ තරුණ කාලය කියලා ජීවිතයේ සුන්දරත්වය වෙනස් කරන්න බැහැ. හැම මනුෂ්‍යයකුගේම ජීවිතය සුන්දර වෙන්න ඕනෑ. ශ්‍රී ලාංකිකයින් හැටියට අපේ සුන්දර ජීවිතයට මොකද වුණේ? ළමා කාලයේදී යුද්ධයත් එක්ක ජීවත් වෙන්න වුණා. ඊට පස්සේ ජාතිවාදී බෙදීමක් ආවා. ඊට පස්සේ කොරෝනා සමග ජීවත් වෙන්න සිද්ධ වුණා. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? රටේ පාලකයන් ගන්නා විකෘති ආර්ථික, දේශපාලන, සමාජ තීන්දු, තීරණ නිසා විවිධාකාරයේ සටන් කරන්න ජනතාවට සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම අධි උද්ධමනයත් සමග සටන් කරන්න සිදුවී තිබෙනවා. එතකොට අපේ සුන්දර ජීවිතය කෝ? කවුද ඒක නැති කළේ ? ඒක නැති කළේ රටේ පාලකයන්. බලය ගත්තේ සාධාරණ පාලනයක් ගේනවා කියලා. 56%ක් කාන්තාවන් ඡන්දය පාවිච්චි කරලා පාලකයන් පත්කර ගත්තේ තමන්ගේ පවුල සමග සුන්දර ජීවිතයක් විඳින්න. නමුත් ඒ සියලු දෙනාට ඒ සුන්දරත්වය විඳින්න බැරිවී තිබෙනවා. අරගලය කරන තරුණ ළමයින්ව කුදලාගෙන යනවා. බරපතළ ජීවන අරගලයක යෙදී සිටින කාන්තාවන්ට බැටකමින් හූල්ලමින් දවස ගෙවන්න සිදුවී තිබෙනවා. මේ වගේ පාලනයක් අපට මොකටද? අපි හැමෝම එකතු වී නීතියේ සාධාරණයෙන් යුක්තව, සමාජ සාධාරණත්වයෙන් යුක්තව අපේ කැමැත්ත අනුව ජීවත් වෙන්න ඕනෑ. මේ ආණ්ඩුවට ඡන්දය දුන් හැම කාන්තාවකගේම බලාපොරොත්තුව වුණේ ඒකයි. ඒ නිසා මා දයාබර සහෝදරියන් ගැඹුරින් හිතන්න කියලා ආරාධනා කරනවා.”

“රැකියාවක් කරන කාන්තාවක් ලබා ගන්නා වැටුපෙන් බස් ගාස්තු ගෙවීම, කෑම වේල සකස්කර ගැනීම, ඇඳුම් පැළඳුම් ලබා ගැනීම කරගත නොහැකියි. අපිට ඉතුරු වෙන්නේ මොනවාද? කුඩා කාලයේ ඉගෙන ගත් දරිද්‍රතාවයේ විෂම චක්‍රයට නැවත නැවත ගොදුරු වෙනවා. මෙයින් මිදෙන්න පොඩි කැපකිරීමක් කරමු. ඒ සඳහා ඔබ වෙනස් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වෙනසේ ප්‍රතිඵල ඔබේ දරුවන්ටත් ලබා දෙන්න. ඔබේ ජීවිතයත් සුන්දර කර ගන්න. මේ රට සුන්දරයි. අපේ ජීවිත සුන්දර කර ගන්න අවස්ථාවන් අවශ්‍යයි. ආණ්ඩුවල බලයේ ඉන්න අය තමන්ගේ සහ තමන්ගේ පවුල්වල ගජ මිත්‍රයන්ගේ වාසිය තකා දේශපාලන තීන්දු-තීරණ අරගෙන රටේ සුවහසක් ජනතාව විඳවීමට හෙළා තිබෙනවා නම් මෙවැනි පාලනයක් අපට අවශ්‍යද? ආහාරමය අනාරක්‍ෂිත බව, සෞඛ්‍යමය අනාරක්‍ෂිත බව වගේම කුඩා ළමුන්, ගර්භණී මව්වරුන්, වයස්ගත උදවිය පමණක් නොවෙයි තරුණයින් පවා අනාරක්‍ෂිත බවට පත්වී තිබෙනවා. මෙවැනි ජීවිතයක් නොවෙයි ගෞරවනීය මනුෂ්‍ය ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් දේශපාලන තීන්දු-තීරණ ගන්න අපි කල්පනා කළ යුතුයි. හැමදාමත් මේ විදිහට ජීවත් වෙනවාද, නැත්නම් අරගල කරලා අයිතිවාසිකම් ලබාගෙන සියලු ජනතාව මේ තත්වයෙන් මුදා ගන්නවාද? සියලුම ආගම් මධ්‍යස්ථානවලින් මේ ප්‍රශ්නය මතු කරන්න ඕනෑ කියලා මම හිතනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා සියලු පූජකතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් මිනිස්සුන්ට මනුෂ්‍යත්වය නැති තත්වයක් උදා වේවි.”