counter hit xanga
October 21, 2021

මිත්‍යාව වෙනුවෙන් දොළොස් ලක්ෂයක් බිළිදුන් ලෝක බලවතුන් තිදෙනා!

Last Updated on May 7, 2021 by Panduka Herath

21 වන සියවසේ තුන්වන දශකයේ ලොව පහළ වූ ජනපි‍්‍රයතම ලෝක බලවතුන් තිදෙනාවූ ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදී සහ බ‍්‍රසීලයේ ජායි බොලොස් නෝරෝ මිත්‍යාව උදෙසා සමාජයේ පහළම තලයේ වැඩහිටි ජනතාව දොළොස් ලක්ෂයක් පොදු ජනතාව මේ වන විට බිල්ලට දී තිබේ. Covid -19 නම්වූ වසංගතයෙන් මේ වන විට ලොව පුරා මිය ගිය සංඛ්‍යාව තිස් පන් ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

තිස්පන් ලක්ෂයෙන් විශේෂිතව ඇමෙරිකාව, ඉන්දියාව සහ බ‍්‍රසීලය යන රටවල් තුන පමණක් තෝරා ගත්තේ ලොවේ විශාලතම සංවර්ධිත හෝ නැගෙමින් පවතින ආර්ථිකයින් නිසාම නොව එවැනි රටවල ඡන්දයෙන් බලයට පැමිණී විද්‍යාව වෙනුවට මිත්‍යාව තෝරා ගත් නායකයින් තිදෙනාගේ මිත්‍යාවාදී පාලනය හේතු කොට ගෙන අහිංසක අසරණ වැඩිහිටි ශ‍්‍රමික ජනතාවක් මරණයට පත් කළ හෙයිනි.

මෙම පාලකයින් තිදෙනාම අන්ත ආගම්වාදීන්ය. දෙදෙනෙකු කතෝලික සහ අනෙකා අන්ධ හින්දු භක්තිකයින්ය. තිදෙනාම ධනවාදයේ නව ලිබරල්වාදී කප්පිත්තන්ය. තිදෙනාම විද්‍යාව වෙනුවට මිත්‍යාව අදහන අයයි. දේශපේ‍්‍රමීන් වශයෙන් පෙනී සිටිමින් තම රටේ සෙසු වර්ගවලට, වර්ණවලට, ආගම්වලට අයත් ජනතාව නොතකමින් හා සමාජයෙන් කොන් කරමින් මුදල පසුපස හබාගිය ධනපති පන්තියේ දුෂිතම කල්ලියට අයත් පාලකයින් විය. අධිරාජ්‍යවාදී අරමුණුවලට සෘජුව හෝ වක‍්‍රව කි‍්‍රයා කළ පාලකයින් තිදෙනෙකි. ගෝලීය වසංගතයට ගොදුරු වූ මුඵ ලෝක ජනතාවගෙන් තුනෙන් එකක් අයත් වන්නේ මේ රටවල් තුනටය. තිදෙනාම ගෝලීය දේශපාලනයේ පස මිතුරන්ය.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්

ගරා වැටෙමින් පවතින ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රබලතම මුක්කු තුනයි. ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයෙන් පහවී තවමත් ගතවී දින සියයකි. අධිරාජ්‍යවාදයේ කප්පිත්තා පමණක් නොව ඔහු ලොවේ බලගතුම රාජ්‍යයේ ජනාධිපතිවරයා විය. කොවිඞ් -19 ඔහු නම් කළේ ‘චීන වෛරසයක්’ වශයෙනි. එය ස්වභාව ධර්මයාගේම නිර්මාණයක් බව ඔහු පිළිගත්තේම නැත. සෞඛ්‍ය රෙගුලාසි හාස්‍යයට ලක් කළ රාජ්‍ය නායකයා ඔහු විය.

මුඛාවරණ පැළදීම අවශ්‍ය නැති බව විවෘතව කියා සිටියා පමණක් නොව විද්යුත් ජනමාධ්‍ය ඉදිරියේ එය ඉවත් කර දමනු ප‍්‍රදර්ශනය කළේය. එන්නත් අවශ්‍ය නැතැයි කීමට තරම් අවිද්‍යාත්මික විය.වසංගත මැඩලීමට මූල්‍ය සම්පත් සැපයුවේ නැත. පරිපාලනමය වශයෙන් කිසිදු පියවරක් ගත්තේ ද නැත. වසංගතය පාලනය කිරීමට තැත් කළ තමන්ගේම පක්ෂයේ ආණ්ඩුකාරවරුන් පවා ගැරහීමට ලක් කළේය. මෙක්සිකෝ ජාතිකයින් තම රටට ඇතුල් වීම වළක්වා ලීමට රට වටා මහා ප‍්‍රාකරයක් තැනීමට මුදල් වැය කළේය. කඵ හම ඇති ආසියා-අපි‍්‍රකානු ජාතිකයින් පමණක් නොව ස්පාඤ්ඤ ප‍්‍රභවයෙන් එන ලතින් ඇමෙරිකානුවන්ද නොරුස්සුවේය. චීන ආර්ථිකයට එරෙහිව ගත හැකි සියලූ සම්බාධක තහංචි ගත්තද, ඒවා ආසර්ථක වන විට වියරු වැටී සියලූ ජාත්‍යන්තර ගිවිසුම්වලින්, ආයතනවලින් ඉවත් විය. උග‍්‍ර රුසියන් විරෝධයක් දියත් කළේය. බලයෙන් පහවී සිටියද ඉන් ඉවත් නොවී සිටීමට තම හමුදාව යොදා ගැනීමට තරම් සාහසික විය.

නරේන්ද්‍ර මෝදී

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අවසන් කාලයේ ඔහුගේ මිතුරා වූයේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදීය. එක මල්ලේ පොල් මෙන්ම ඔහු අයත් වූයේ එම මිත්‍යාවාදී කල්ලියටය. කොරෝනා වසංගතය වේගයෙන් පැතිර යාම වළක්වාලීමට ගත යුතු සහ ගත හැකි පියවර ගත්තේ නැත. සෞඛ්‍ය උපදෙස් තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. ප‍්‍රාන්ත පහක මැතිවරණ පැවැත්වූයේ සෞඛ්‍ය උපදෙස් නොතකාය. ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රාන්ත මහ අධිකරණ පවා වසංගතය වළක්වාලීමේ පියවර ගත යුතු බව කියා සිටිද්දි අගමැති නිහ`ඩව සිටියේය. අපේ‍්‍රල් මාසය ඔහු ගත කළේ මැතිවරණ වේදිකාවලය.

‘යමුනා’ නදියේ දිය නෑමෙන් වසංග යෙන් ගැලවිය හැකි බව ඔහුගේ විශ්වාසය විය. මිලියනයක් ජනතාව සම`ග ඔහු යමුනා නදියේ දිය නෑවේ වසංගතයෙන් ගැලවීමට දෙවියන් යදිමිනි. ලොවේ විශාලතම ඖෂධ නිෂ්පාදකයා ඉන්දියාව බවට පුරසාරම් ඇද බෑවේය. ඔහුගේ අරමුණ වූයේ ඖෂධ නිෂ්පාදනයෙන් මුදල් සෙවීම මිස ආරෝග්‍ය ශාලාවලට අවශ්‍ය එන්නත් සැපයීම නොවේ. ලක්ෂ තුන හමාරක් ඉන්දියානුවන් මිය ගියේ ඖෂධ නැතිකම නිසාය. ඔක්සිජන් නැතිකම නිසාය. සෞඛ්‍ය සේවකයින් 900ක් පමණ දැනටමත් මිය ගොස් ඇත. දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකය තම රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීමට අසමත් වූයේ කෙසේද? නොබෝදා පැවති මැතිවරණයෙන් පරාජයට පත්වූ මෝදී පිළිබද එක් විශේෂඥ වෛද්‍යවරයෙකු කියා සිටියේ ‘ඔහුට ස්වාභාව ධර්මයා විසින් දඩුවම් දුන් බවය.’ සැබෑ හේතුව නම් ස්වභාව ධර්මයා නොතකා හැරීම ගැන ජනතාව දඩුවම් දුන් බව අපේ පිළිගැනීමයි.

දෙවියන් විසින් වසංගතයෙන් ජනතාව ගලවා ගනු ඇතැයි මිත්‍යාවාදී මෝදී විශ්වාස කළේය. ලෝකයේ විශාලතම ඖෂධ නිෂ්පාදකයා වන ඉන්දියාව ඖෂධ නිෂ්පාදනය කළේ අපනයනවලින් මුදල් ඉපයීමට පමණක්ද? තම ජනතාව ගලවා ගැනීමට නොවේද? නව ලිබරල්වාදයෙන් මත්වී සිටින නරේන්ද්‍ර මෝදී ජනපි‍්‍රයවාදය හඹා ගියේ බලය සලසා ගැනීමේ අරමුණ ඇතිවය.

ජායි බොලොස්නෝරෝ

බ‍්‍රසීලය, ලතින් ඇමෙරිකාවේ විශාලතම නැගී එන ආර්ථිකයකි. ලෝක බලවතුන් 20 දෙනොගෙන් එක් රටකි. වත්මන් ජනාධිපතිවරයා ජායි බොලොස්නෝරෝ ලෝක ජනමාධ්‍යය විසින් හදුන්වා දෙනු ලැබුවේ ‘ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මල්ලි’ වශයෙනි. එකම අච්චුවේ තවත් නිෂාපාදනයකි. ඔහුගේ පාලනය යටතේ මේ වන විට මිය ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ හතරකි. සෞඛ්‍ය උපදෙස් අනවශ්‍ය යැයි කීමට තරම් ඔහු සාහසික විය. වසංගතය පාලනය කිරීමට කිසිදු නායකත්වයක් නොදුන් ලොවේ එකම නායකයායි කීවොත් නිවැරදිය. ඔහු විශ්වාස කළේද දෙවියන් පමණය. විද්‍යාව නොරුස්සුවේය. මිත්‍යාව වැළද ගත්තේය. එහෙත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ ඔහුද තවත් ලොවේ ජනපි‍්‍රයවාදී නායකයෙකි. ජනතාව මුලා කිරීමට දක්ෂ නායකයෙකු බව නම් ඔප්පු කොට හමාරය. මේ අතර අපි‍්‍රකානු මහද්වීපයේ ටැන්ෂානියා රාජ්‍යයේ අගමැති ලොවේ එතරම් ප‍්‍රසිද්ධ නැතිවුවද අපි‍්‍රකාවේ ජනපි‍්‍රයවාදී නායකයෙක් වූ අගමැති ජෝන් අගුපුලී ජනතාවට කියා සිටියේ ‘තමා තුන්වරක් දෙවියන් යාඥා කරන බවයි.’ වසංගතය ගැන බිය නොවන ලෙස කියා සිටයේය. එහෙත්, ඔහු කොරෝනාවෙන් මිය ගිය පළමු රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසගත විය.

මෙකී කරුණු සැළකර සිටියේ අපේ රටේදි එවැනි මිත්‍යාවාදී දේශපාලඥයින් සිටින බව තේරුම් ගැනීමටය. ආයුර්වේදයවත් අනුමත නොකළ ඊනියා කාලි අම්මා තමාට සැපයූ වට්ටෝරුවක් අනුව නිෂ්පාදනය කළ ‘ධම්මික පැණිය’ පානය කිරීමට පමණක් නොව විද්යුත් මාධ්‍ය හරහා ජනතාවට ප‍්‍රදර්ශනය කිරීමට තරම් මිත්‍යාවාදී වීමට අපේ සෞඛ්‍ය ඇමැතිතුමිය සහ කතානායකතුමාද කටයුතු කළ බවද කිව යුතුය. මිත්‍යාව දේශපාලනයට ඇතුල් වී ඇති මෙවන් තත්ත්වයක් මින් පෙර නුදුටුවෙමු.

-දේශපාලන ලියුම්කරු-